අතරමැදියන් නිසා බඩඉරිඟු කර්මාන්තකරුවන්ට ගැටලු රැසක්

ආනයනය ඉක්මන් කරන්නැයි ඉල්ලීම්
අතරමැදියන් විසින් බඩඉරිඟු තොග රැස්කර වැඩිමිලට අලෙවි කිරීම නිසා සත්ත්ව ආහාර නිෂ්පාදකයන් සහ බඩඉරිඟු ආශ්‍රිත අනෙකුත් කර්මාන්තකරුවන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇත. එම නිසා බඩඉරිඟු ආනයනය කිරීමට ගෙන ඇති තීරණය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඔවූහු ඉල්ලා සිටිති.

ගොවීන් විසින් වගාකරන ලද ඉඩඉරිඟු අස්වැන්න අතරමැදියන් කිහිපදෙනකු විසින් කිලෝවක් රුපියල් 130ක් 140ක් වැනි මිලකට ලබාගෙන මේ වනවිට කිලෝවක් රුපියල් 180කට වැඩි මිලකට අලෙවි කරන බව කර්මාන්තකරුවෝ කියති.

රටේ බඩඉරිඟු අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් ලක්ෂ 07ක් පමණ වුවත් නිෂ්පාදනය වන්නේ ඉන් අඩක් පමණ යැයි ද ඉතිරි අවශ්‍යතාව ආනයනය කරන බවද ඔවූහු පෙන්වා දෙති. වත්මන් රජය බඩඉරිඟු ආනයනය කිරීමට අප්‍රේල් මාසයේ සිට අවස්ථාව ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙන බවත් එය කඩිනම් කරන ලෙසත් ඔවූහු රජයෙන් ඉල්ලා සිටිති.

බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ද කියා සිටියේ බිත්තර සඳහා සියයට 18ක බදු වැඩිකිරීමත්, සත්ත්ව ආහාරවලට ගන්නා බඩඉරිඟු මිල ඉහළ යෑමත් නිසා බිත්තර කර්මාන්තය කරගෙන යා නොහැකි තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි. රටට අවශ්‍ය බඩඉරිඟු වගා කිරීමට නොහැකි නම් රටේ අවශ්‍යතාවට සරිලන ලෙස බඩඉරිඟු ආනයනය කර අවශ්‍ය අයට ඒවා සාධාරණ මිලකට ලබාදිය යුතු බවයි.

බඩඉරිඟු ආශ්‍රිත නිෂ්පාදකයන් ද කියා සිටින්නේ තම කර්මාන්තශාලා පවත්වාගෙන යෑමට අවශ්‍ය බඩඉරිඟු රට තුළ නිෂ්පාදනය කරන තෙක් ඒවා ආනයනය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි. සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු කර්මාන්ත සඳහා යොදාගන්නා බවට ඇතැමුන් චෝදනා කරන බවත්, එසේ චෝදනා නොකර රටේ සියලුම කර්මාන්තශාලා පවත්වාගෙන යාහැකි ආකාරයට බඩඉරිඟු නිෂ්පාදනය කිරීම බලධාරීන්ගේ වගකීමක් බවත් කර්මාන්තකරුවෝ ප්‍රකාශ කරති.

චමින්ද සිල්වා

Leave A Comment