අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පාස්කු පණිවුඩය

“කුරුසිය මත ක්‍රිස්තුන් වහන්සේගේ මරණය, දෙවියන් වහන්සේ යුක්තියේ සමිඳාණන් ලෙස තමන් සතුවන අනන්‍යතාවයට පිටුපා යමින් මිනිසා පාපයෙන් ගලවා උත්තරීතරත්වයට එසවීම සඳහා තම ආදරණීය පුතණුවන් කුරුසපත්වීමට ඉඩහැර මිනිස් වර්ගයා වෙත උන්වහන්සේ දක්වන අසීමිත ප්‍රේමය මනාව පෙන්නුම් කරන්නට යෙදුන මොහොතයි. මේ මහඟු පරිත්‍යාගය තම අනන්‍යතාවයට පිටුපා යෑමට තරම් දෙවියන් වහන්සේ මිනිසාට ප්‍රේම කරන බවට ඔප්පු කර සිටින මාර්ගයයි. මෙය උන්වහන්සේ අප වෙත දරන ප්‍රේමයේ උච්චතම පරිත්‍යාගයයි” (දෙවියන් වහන්සේ ප්‍රේමය වන සේක. අනුශාසනා පත්‍රය, ශුද්ධෝත්තම දස සයවන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා. 2025 දෙසැම්බර් 25, අංක 10 සහ 12)

මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි,

චතාරික සමය අවසානයේදී කතෝලික අප ශුද්ධ වූ සතියේ වත් පිළිවෙත් ගරු ගාම්භීරයෙන් යුතුව ඉටුකරමින් ක්‍රිස්තුන් වහන්සේ අපවෙත ඇති දෙවියන් වහන්සේගේ අති මහත් වූ ප්‍රේමයට සාක්ෂි දරමින්, මනුෂ්‍ය වර්ගයා පාපයේ හා මරණයේ යදම්වලින් මුදා සදාකාලිත්වයේද, ස්වර්ගීය සතුටේද අත්දැකීම් පූර්ණත්වයට ගෙන එන්නට, කුරිරු වූ ඒ මරණයට ගොදුරුවූ අයුරුද, උත්ථානයේ ජයග්‍රහණය අත් දුටු අයුරුද සමරන පාස්කු අභිරහස සිදුකරමු.

ශුද්ධ වූ සභාවේ ජන්වන්දනා කාලසටහන තුළ චතාරික හා පාස්කු කාලය මේ අත්දැකීම් නැවත අප අතර ජීවමාන කරගන්නට ලැබෙන ආශිර්වාදාත්මක මොහොතයි.

මේ කාලය තුළ අප හදවත පාපයේ බැමි වලින් මුදාගනිමින් පශ්චත්තාපයේ හා පරිවර්තනයේ කිතු මග වෙත යොමු වන්නටද මර්දන ක්‍රියා හා පරිත්‍යාගයන් තුළින් අප අසල්වැසියාට ප්‍රේම කරන බවට ප්‍රත්‍යක්ෂ වෙමින් සමිඳාණන් වහන්සේගේ කුරුසේ මගට එක්වන්නටද ඒ තුළින් උත්ථානයේ ජයග්‍රහණය වෙත යොමු වන්නට ද අප ක්‍රියාකළ යුතු වෙමු.

අද අප ජීවත්වන ලෝකය තුළින් පරිභෝජනවාදය හා පුද්ගලවාදයද, ධනය, බලය පසුපස හඹා යෑමෙන් බොහෝ දෙනකුගේ ජීවිත අර්ථ ශුන්‍යභාවයේ හා වහල් බවේ කුණාටුවලට හසුවී විනාශය කරා ගසාගෙන යන තත්ත්වයකට පත් වී තිබීමද සැබෑ සතුට ඇත්තේ කොතැනක දැයි සොයාගන්නට අපහසුව මංමුලාවූවන් බොහෝ දෙනකු අප අතර ජීවත්වීමද, ආධ්‍යාත්මිකත්වය පවා හුදෙක් වත්පිළිවෙත්වලට පමණක් සීමා කරගන්නා පැවැත්මකට හසුවී සිටින තත්ත්වයක පසුවීමද අපට දැකගත හැක.

මෙම චතාරික පාස්කු සමය තුළින් කිතු සමිඳාණන් අප වෙත පෙන්වා දෙන්නේ දේවත්වය දැරූ උන්වහන්සේ තමන් හිස්කරගනිමින් දෙවියන් වහන්සේට කීකරුවී අප සැම ගලවාගන්නට කුරුසපත් වූ විමුක්තියේ මාර්ගයයි. අන්‍යයයන් වෙනුවෙන් සිය දේව ජීවිතය යාගයක් ලෙස පුදකළ උන්වහන්සේ අපටද ආරාධනා කරන්නේ මෙලොව මායාවන්ට මුලා නොවී උන්වහන්සේගේ කුරුසය වැළඳ ගන්නා ලෙසයි.

මෙය කිතුනු ශ්‍රාවකත්වයේ විමුක්තිදායක මගයි. “යමෙක් මා අනුව එනු කැමැත්තේ ද ඔහු තමකම නසා කුරුසිය දරා මා අනුව පැමිණෙත්වා” (මාක් 8:34) මේ අනුව චතාරික පාස්කු කාලය යනු එතෙරවීමේ කාලයකි. එය වෙසෙසින්ම අපට එල්ල වන මහඟු අභියෝගයකි.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි
කොළඹ අගරදගුරු

Leave A Comment