අද රස්නෙ වැඩියි: සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න

උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණු පළාත් සහ රත්නපුර, මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අද (19) මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරමින් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී. 23 වැනිදා සිට ඉදිරියට දින කීපයක් වැසි සහ සුළං තත්ත්වයත් සමඟ මේ දිනවල සිරුරට දැනෙන උණුසුම් තත්ත්වය තරමක් දුරට අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවසීය.

ඒ අනුව පවතින උණුසුම අඩු වැඩි වෙමින් පවතිනු ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙම උණුසුම් තත්ත්වය අප්‍රේල් දක්වා පවතිනු ඇතැයි පවසයි.

අද (19) ගාල්ල, මාතර, කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උපාලි කරුණාරත්න, මැද කොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ

 

Leave A Comment