කුඩා මෝල් හිමියන්ට මහ කන්නයේ වී මිලදී ගන්න මිලියන 50ක ණයක්

සහල් අර්බුදය මඟහැරවීම සඳහා රජය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, මේ වන විට අර්බුදය පාලනය කර ඇති බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සිළුමිණට පැවසීය. මේ අර්බුදයට බලපෑ හේතු ගණනාවක් පැවැති අතර, රජය විසින් ඒ සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම් දීම මේ වන විටත් අරඹා ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට වී මිල දී ගැනීමට රුපියල් මිලියන 50 දක්වා ණය දීම දැනටමත් ආරම්භ කර ඇත. මේ වන විට වෙළෙඳපොළේ නාඩු සහ සම්බා සහල් තොග ප්‍රමාණවත්ව පැවැතිය ද, රතු සහල්වල හිඟයක් පැවතීමට හේතුව පසුගිය වසරේ ජනාධිපතිවරණයට පෙර නොමිලේ සහල් කිලෝ 20 බැගින් අඩු ආදායම්ලාභී ජනතාවට බෙදාදීම සඳහා හම්බන්තොට වී ගබඩාවල පැවති සියලු රතු වී රුපියල් 10 බැගින් වැඩි මිලක් ගෙවා මිල දී ගෙන බෙදාහැර ඇති බවද ඇමැතිවරයා අනාවරණය කළේය. මේ වන විට කැකුළු සහල්වල යම් හිඟයක් පැවතියද මේ මහ කන්නයේ වී අස්වනු නෙළීම නුදුරේදීම ආරම්භ වන බැවින් ඒ ගැටලුව ඉක්මනින් සමනය වනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කළේය.

මෙවර මහ කන්නයේ හෙක්ටයාර 750,000ක් පමණ වගා කර ඇති අතර, ඉන් හෙක්ටයාර 70,000ක් පමණ අධික වර්ෂාව හේතුවෙන් විනාශයට පත් වුවද මෙවර වී මෙට්‍රික් ටොන් මිලියන 3ක පමණ අස්වැන්නක් බලාපොරොත්තු වේ. එයින් කොටසක් රජය විසින් මිල දී ගැනීමට සැලසුම් කර ඇත. ඒ සඳහා වී අලෙවි මණ්ඩලය, සතොස සහ ලියාපදිංචි පෞද්ගලික වී මෝල් සහ ගබඩා හිමි ව්‍යාපාරිකයන් සතොස සහ වී අලෙවි මණ්ඩලයේ ඒජන්තවරුන් ලෙස පත් කරනු ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රජය සතු මෙට්‍රික් ටොන් 540,000ක් පමණ ගබඩා කළ හැකි වී ගබඩා පැවතියද භාවිතයට ගත හැකි ධාරිතාව 340,000ක් පමණ වන බැවින් බැංකු සතුව තිබූ වී මෙට්‍රික් ටොන් 36,000ක පමණ ධාරිතාවක් ඇති ගබඩා 5ක් ද වී අලෙවි මණ්ඩලය සඳහා ලබාගෙන ඇති බව ද ඔහු පැවැසීය. ඊට අමතරව රජය විසින් පන්නෙගමුව සහ මැදිරිගිරියේ පිහිටි වී මෝල් 2ක නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, එමඟින් කැකුළු සහල් වෙළෙඳපොළට සැපයීමට නියමිතය.

මීට අමතරව සහල් අර්බුදයට දිගුකාලීන විසඳුම් ලෙස රජය විසින් ඉදිරි දෙවසර තුළ දිනකට සහල් කිලෝ ග්‍රෑම් ලක්ෂ 6ක් පමණ කෙටිය හැකි විශාල වී මෝල් සංකීර්ණයක් හා නවීන ගබඩාවක් ඉදිකිරීමට සහ වී කිලෝවක් සඳහා රුපියල් 100ට වැඩි සාධාරණ මිලක් ගොවියාට ලබාදීමට සැලසුම් කර ඇත.

සහල් බෙදාහැරීම විධිමත් සහ කාර්යක්ෂම කිරීමට සතොස තොග සැපයුම් මධ්‍යස්ථාන 3ක් කොළඹ, කුරුණෑගල සහ මාතර ස්ථාපිත කරන බවත් එහි අරමුණ අත්‍යවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ සැපයුම සහ මිල හැසිරවීම කූට ව්‍යාපාරිකයන් හෝ සමාගම්වලට පමණක් භාර දී ජනතාව අපහසුතාවට පත් කිරීමට ඉඩ නොතැබීම බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මෙහිදී හෙළි කළේ කුකුළු මස්, බිත්තර කර්මාන්තය, බියර් නිෂ්පාදනය, විසිතුරු මසුන් ආදි අංශ සඳහා භාවිත කරන වී ප්‍රමාණය පිළිබඳ නිවැරදි දත්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නොමැති වීමද සහල් අර්බුදයට බලපෑ බවයි.

dinamina

Leave A Comment