ගමේ තැපැල් කන්තෝරුවට අමුත්තෙක් ඇවිත්

අගලවත්ත, පිඹුර, මහවත්ත උප තැපැල් කන්තෝරුවට පසුගියදා හදිසියේම අමුත්තෙක් නොවන අමුත්තෙක් ගොඩ වැදුණේ ය.

වෙනදා කන්තෝරුවේ පාරිභෝගික කවුළු අද්දර ඉදගෙන මුද්දරයක්, තැපැල් පතක් ගන්න, ලිපියක් දාන්න, නැත්තම් වෙනත්  වැඩක් කරගන්න යන එන මේ පුද්ගලයා මෙදා කන්තෝරුවේ පිටි පස්සේ දොරෙන් කන්තෝරුව ඇතුළටම හදිසියේ ම ඇවිල්ලා ඉන්නවා දැකලා කන්තෝරුවේ නෝනත් වික්ෂිප්ත වුණා.

“ඉතිං කොහොම ද වැඩකටයුතු” කියල බොහොම ලෙන්ගතු හිනාවකින් නෝනව ඇමතූ මේ අමුත්තා අනාරාධිතව ම කත්තෝරුවේ තිබුණු එකම අමතර අසුනේ වාඩි ගත්තේ බොහොම හුරු පුරුදු ලෙන්ගතුකමක්, හිතවත්කමක් විදහා පාමින්.

මේ අමුත්තා හැදුණු වැඩුණු මුල් ගෙදර ඉඳලා දශක හතකටත් වඩා ඉපැරණි ඉතිහාසයක් තියෙන ගමේ පුංචි  තැපැල් කාර්යාලයට තිබුණේ යාර 100 ක් තරම් බොහෝම ළඟ දුරක්. තිබුණ තැන පොඩ්ඩක් වෙනස් වුණාට අදත් තියෙන්නේ  පුංචි ගොඩනැගිල්ලක්, එමෙන් ම එක සේවකයෙක්, කාර්යාලයටම ඔච්චරයි.

දැනුම් තේරුම් ඇති අවධියේ දී ගෙවුණු දශක 05 ට ආසන්න කාලය පුරාම මේ කියන අය  මෙම තැපැල් කන්තෝරුවට ආ ගිය අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. එදා මෙදා තුර පුංචිම පුංචි කොලු ගැටයගේ කාලෙ ඉදළ කවදත් තැපැල් කන්තෝරුව සමග ගනුදෙනු කිරීමට අපමණ නම් වාරයක් කන්තෝරුවේ කවුළුව අසලට ආව මොහු මෙවන් තනතුරකට පත් වෙලා මේ පුංචි කන්තෝරුවට ඒ වියැයි කවුරුවත් තියා ඔහුවත් කවදාවත් හිතන්න නැතුව ඇති. විශේෂයෙන් ම තැපැල්කරුවකු විදිහට ජීවිත කාලයම සේවය කළ  මොහුගේ සීයාට  නම් කොහොමවත් හිතෙන්න නැතුව ඇති.

ඒත් දෛවය එහෙම තමා… ගමේ රෝහලේ ඉපදිලා, ගමේ ඇළ දොළ පරිසරයේ  හැදිල වැඩිල, ගමේ දහම් පාසලට, ඉස්කොලෙට ගිහිල්ලා, ආණ්ඩුවේ විශ්ව විද්‍යාලයකින් දොස්තර මහත්තයෙක් වෙන්න සුදුසුකම් ලබලා, ගමේකම හැබෑවටම තියෙන මේ ගමේ කොලු ගැටයා මෙවන් වූ අපමණ අගයක්, වටිනාකමක් තියෙන රටේ ම වගකීම් බොහෝමයක් හොබවන තනතුරකට පත්වීම ම  ඉතින් ආශ්චර්යයක් ම නෙමේ ද?

සමුපකාරේ වැඩකරපු ජයතිස්ස මාමගෙයි, ගමේ කඩේ කරපු පද්මිණි නැන්දගෙයි එකම පුතා, නීතිඥ සොනාලි අක්කගේ එකම අයියා ගමේ දුව පැන ඇවිද්ද, පොදු වැඩ වලදී මුලිකත්වය ගත්ත කොලු ගැටයා, දවසින් දවස රටේ ලොකු තානාන්තර වලට යද්දි ගමේ අයට නම් පුදුම සතුටක්… ඉතින් ගමේ ඈයන් ගේ වීරයා, ගමේ තැපැල් කන්තෝරුවට ආව බව ආරංචි වු හැටියෙම ගමේ නොසෑහෙන පිරිසක් මහවත්ත උප තැපැල් කන්තෝරුව වෙත දුවගෙන එන්න පටන් ගත්තා.

කන්තෝරුව භාර පී.ඩී.පී. කරුණාරත්න මහත්මියත් සමඟ කන්තෝරුවේ වුවමනාවන්, අඩුපාඩු ආදිය ගැන බොහෝම වේලාවක් කතා කර කර ඉඳලා ගමේකම හඳුනන රැස්ව සිටි උදවියගේ ද සුව දුක් ටිකකුත් හොයලා බලලා මේ කියපු අය කන්තෝරුවෙන් පිටව ගියේ අමුත්තන්ගේ පොතේ අපූරු සටහනක් ද තියලයි.

“එදා පාරිභෝගිකයකු වු මා අද විෂය භාර අමාත්‍යවරයා ලෙස පිඹුර මාගේ ගමේ උපතැපැල් කාර්යාලය නිරීක්ෂණය කළෙමි. පවතින අඩුපාඩු… විසදිය යුතු ගැටළු කිහිපයක්ම හඳුනා ගතිමි.”

ඔන්න ඔහොම ඒ පොතේ ‘නලින්ද ජයතිස්ස’ සෞඛ්‍ය හා ජනමාධ්‍ය, තැපැල් හා දේශීය වෛද්‍ය භාර අමාත්‍ය යන්නට ඉහළින් ලියලා තිබුණා.

Leave A Comment