ගාමිණි තිලකසිරි සජබයෙන් ඉවත්වේ

සමගි ජන බලවේගයේ මහරගම ආසනයේ ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කළ ගාමිණි තිලකසිරි මහතා එම තනතුරෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් මගින් දන්වා යවා ඇත.

දූෂණ චෝදනාවලට ලක්වූ අයකු මහරගම ආසනයේ අධීක්ෂණ කටයුතු සඳහා පත්කර ඇති බවත් එවන් තත්ත්වයක් යටතේ තවදුරටත් ආසනයේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ නොහැකි බවත් තිලකසිරි මහතා විපක්ෂ නායකවරයාට යවන ලද ලිපියෙන් දන්වා සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ද බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යවරයකු ද වශයෙන් ද නිරතව සිටි ගාමිණි තිලකසිරි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම ආසන සංවිධායකවරයා වශයෙන් දිගු කලක් කටයුතු කර ඇත.

පසුව ඉකුත් ජනාධිපතිවරණ සමයේ සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගත් ඒ මහතාව පක්ෂ නායකත්වය විසින් මහරගම ආසනයේ ප්‍රධාන සංවිධායක තනතුරට පත්කෙරිණ. කෙසේ වෙතත් ඉකුත් මහ මැතිවරණයට තරග කළ ඒ මහතා පරාජයට පත්වූයේ අපේක්ෂක ලැයිස්තුවේ 15 වැනියා බවට පත්වෙමිනි.

පොල්ගස්ඕවිට – සුසිල් ඉලේපෙරුම

Leave A Comment