ජාත්‍යන්තර සාධාරණත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා එක්ව වැඩ කිරීමට සූදානම් – චීනය කියයි

ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව මෙරට චීන තානාපති කී සෙන්හොං මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

ඇමෙරිකාව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට පැනවූ අසාධාරණ බදු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෙරට චීන තානාපතිවරයා මේ කරුණු සඳහන් කර තිබේ.

සහයෝගිතාවය ආරක්ෂා කර ගැනීම සඳහා චීන – ශ්‍රී ලංකා ප්‍රජාවක් ගොඩනැඟීම මැයෙන් වූ එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

ඇමෙරිකාව මෑතකදී, ජාත්‍යන්තර ප්‍රජාවේ විරෝධය නොසලකා හරිමින් චීනය සහ ශ්‍රී ලංකාව ඇතුළු සියලුම වෙළෙඳ හවුල්කරුවන් මත ඊනියා ‘අන්‍යොන්‍ය තීරුබදු’ පැනවීමට ගත් තීරණය නිවේදනය කළේය. මෙම පියවරෙන් පසු ගෝලීය පරිමාණයෙන් සැලකිය යුතු අවුල් සහගත සහ අවිනිශ්චිතතාවයක් ඇති කළේය. එපමණක් නොව, මෙම අවිනිශ්චිතතාවය ගෝලීය ආර්ථික අවපාතයක් පවා ඇති කිරීමට හේතු විය හැකිය. චීනය සහ ශ්‍රී ලංකාව ඉතිහාසයේ සිට වර්තමානය දක්වා හොඳ මිතුරෝ, හොඳ සහෝදරයෝ සහ හොඳ හවුල්කරුවෝ වෙති. අපගේ සහයෝගිතාවය දකුණු – දකුණු සහයෝගිතාවයේ ආදර්ශයක් බවට පත්ව ඇත. නව තත්ත්වයන් යටතේ, බහුපාර්ශ්විකත්වය ස්ථිරව ආරක්ෂා කිරීමට, ආර්ථික හිරිහැර කිරීම් සහ වෙළෙඳ ආරක්ෂණවාදයට විරුද්ධ වීමට, ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ඒකාබද්ධව ආරක්ෂා කිරීමට සහ සංවර්ධනය සඳහා ස්ථාවර ගෝලීය පරිසරයක් පෝෂණය කිරීමට උත්සාහ කිරීමට චීනය ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සියලුම රටවල් සමග කටයුතු කිරීමට සූදානම්ය. මෙම ක්‍රියාවලියේදී, ජනාධිපති

ෂී ජින් පිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර ඇතිකර ගත් වැදගත් එකඟතාවය චීනය අධිෂ්ඨානශීලීව ක්‍රියාත්මක කරනු ඇත. චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවන් ගෙන එනු ඇත. දෙරටේ සහ කලාපයේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දීම සඳහා හවුල් අනාගතයක් සහිත චීන-ශ්‍රී ලංකා ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැඟීමට එක්ව කටයුතු කරනු ඇත.

චතුර පමුණුව

 

Leave A Comment