ජා.ජ.බ. පුද්ගලීකරණ ක්‍රමවේදය පැහැදිළියි.

ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික සහ නව රජයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අනිල් ජයන්ත ප්‍රකාශ කරන්නේ නිවැරදි ආර්ථික ක්‍රමවේදයන් සහිත කාර්යක්ෂම සහ විනිවිද භාවයෙන් යුතු වැඩසටහන් යටතේ රජය සතු සංස්ථා මණ්ඩල සහ සමාගම් පූර්ණ ප්‍රතිසංවිධානය කරන බවයි.

ශ්‍රී ලන්කන් සමාගම පිළිබඳ විශේෂයෙන්ම සඳහන් කරන මහාචාර්යවරයා මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන ආකාරයටත් මෙහෙයුම් කටයුතුවලින් අතිරික්තයක් ඇතිවන ආකාරයටත් සමාගම නැවත ප්‍රතිව්‍යුහගත කල යුතු බව පක්ෂයේ අදහස බවයි .

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ප්‍රකාශකර සිටියේ ශ්‍රි ලංකන් ගුවන් සමාගම පුද්ගලීකරණ නොකර රජය යටතේම පවත්වාගෙන යන බවයි.

ශ්‍රී ලංකන් සමාගම අදටත් පවත්වාගෙන යන්නේ මාසිකව මහා භාණ්ඩාගාරයෙන් පොම්ප කරන අරමුදල් වලින් වන අතර 2008 සිට මේ වන විට රුපියල් බිලියන 17.5ක් අලාභ ලබා ඇති ආයතනයකි.

විශේෂයෙන්ම එකදු ගුවන් යානයක් හෝ මෙම සමාගමට අයත් නොවන අතර සියලු ගුවන් යානා කුලීබදු පදනම යටතේ ලබාගෙන ඇත.

ලෝකයේ බොහෝ ගුවන් සමාගම් නව ගුවන් යානා සමග නවීකරණය වන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම වසර 10-15 පමණ පැරණි ගුවන් යානා සංචිතයක් සමග අහසට පියාසර කරන ගුවන් සේවාවකි.

පලපුරුදු ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් පනහකට අධික ප්‍රමාණයක් සමාගමෙන් ඉවත්ව පසුගිය කාලයේදී ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට එකතු වී ඇත.

පසුගිය සතියේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයටත් ඩුබායි සහ ඉන්දියන් ගමනාන්තයන් දක්වා පියාසර කිරීමට තිබූ ගුවන් ගමන් තුනක් එකම දිනයකදී අවලංගු වූ බව නොරහසකි.

අදටත් කාර්මික දෝශ නිසාප්‍රමාද වන ගුවන් ගමන් ප්‍රමාණය අති විශාලය. දෛනික ගුවන් ගමන් ප්‍රමාද වාර්තාවන් පරීක්ෂණයට
ලක් කිරීමෙන් තත්වය කොතරම් බරපතලද යන්න වටහා ගත හැකිය.

රජයට මහත් ගැටළුවක් වී ඇති මෙම සමාගමේ කොටස් මිලදීගෙන ඇත්තේ රජයට අයත් ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්තාවව් විසිනි. එම ආයතනවලටද කිසිදු ලාභාංශයක් පසුගිය කාලය තුළදී ගෙවා නොමැති බව වාර්තා වෙයි.

ගුවන් සේවය ආරක්ෂා කර ගැනීම සඳහා රජය විසින් රු. 2024 පළමු මාස ​​හය තුළ එහි පවතින මූල්‍ය ප්‍රවාහ ගැටලුවලට සහය වීම සඳහා ගුවන් සමගම වෙත රුපියල් බිලියන 5 ක කොටස් දායකත්වයක් ලබා දී ඇත. අභියෝගාත්මක බාහිර හා අභ්‍යන්තර අරමුදල් සීමා කිරීම් මධ්‍යයේ වුවද මුළු ආදායම රු. 2024/25 මූල්‍ය වර්ෂයේ මුල් මාස තුන සඳහා රුපියල් බිලියන 63.8 ක් වූ අතර එය රු. 2023/24 මූල්‍ය වර්ෂයේ එම කාලය තුළ උපයාගත් රුපියල් බිලියන 73.1 ට අඩු ප්‍රමාණයකි.

පසුගිය රනිල් වික්‍රමසිංහ රජය මගින් ශ්‍රී ලංකන් සමාගමේ කොටස් වලින් 49%ක් විකිණීම සඳහා අභිලාෂයන් කැඳවූ අතර අවසානයට ඉතිරි වූයේ දේශීය සමාගම් දෙකක් සහ ආසියාවේ කුඩා ගුවන් සමාගම් දෙකක් පමණි.

ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අප රටේ භාණ්ඩාගාරයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බර තවත් දැරිය හැකිද යන්න ආර්ථික විද්‍යාඥයන් විසින් ප්‍රශ්න කර සිටියේ අද ඊයෙ නොවේ.

ඉන්දියාව වැනි ඉහල ආර්ථික වර්ධනයක් ඇති සහ රජයට විශාල ආදායමක් ලබන රටක් පවා සිය ඉන්දියන් එයාර්ලයින් සමාගම ප්‍රබල ව්‍යාපාර ජාලයකින් හෙබි ටාටා සමාගමට විකුණා දැමුණි. එම සමාගම ඉතා වේගයකින් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කරන අතර මේ වන විටත් මගී සහ භාණ්ඩ (cargo) ප්‍රවාහනය සඳහා නව ගුවන් යානා 100ක් ඇනවුම් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පෞද්ගලීකරණය කිරීම සදහා ලැයිස්තුගත කර ඇති ප්‍රධාන සහ සංස්ථා සහ සමාගම් අතර ශ්‍රී ලංකන් සිටින්නේ ප්‍රථම ස්ථානයේය. රටේ නායකයා සහ මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා කල යුත්තේ නව පාර්ලිමේන්තුව විවෘත
කිරීමෙන් අනතුරුව අලුත් අමාත්‍යවරයා සහා සමාගමේ සියලුම පාර්ශවකරුවන් සමග පලදායි සාකච්ඡාවකට අවතීර්න වීමයි.

පවතින ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒම එතරම් සරල නොවන බව වර්තමාන පාලකයන් අවබෝධය කරගත යුතු අතර අනුර කුමාර දිසානායක මහතාට ඉදිරි වසර පහක කාලයක් සුමටව රට ඉදිරියට ගෙනයාමට නම් රට ඉදිරියට ගෙන යා යුත්තේ හොද මූල්‍ය  කලමනාකරුවන් පිරිසක් ( chief financial officers) සමග බව සටහන් කරමු.

සටහන
සේන සූරියප්පෙරුම.

Leave A Comment