තරුණයන්ට තැන දෙමින් පුංචි ඡන්දයට සංශෝධනයක්
- 5opn1
- December 12, 2024
- දේශපාලන
- තරුණයන්ට තැන දෙමින් පුංචි ඡන්දයට සංශෝධනයක්
- 0 Comments
කැබිනට් මණ්ඩලයේ අවධානය නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි
නව තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශයට පත් කිරීමේ සහ මැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට පහසුකම් සැලසීමේ අරමුණින් ‘පළාත් පාලන මැතිවරණ පනත’ සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී ඇති බව නීතිපතිවරයා ඊයේ (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව 2024 ඡන්ද හිමි නාමලේඛනය පදනම් කරගෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සහ කැඳවා ඇති නාමයෝජනා පත්‍ර අවලංගු කර අලුතින් නාමයෝජනා පත්‍රයක් කැඳවීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් කර එම සංශෝධිත පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට කැබිනට් මණ්ඩලය මඟින් දැනුම් දී ඇතැයි ද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට තවදුරටත් දැනුම් දුන්නේය.
2024 ජන්ද හිමි නාමලේඛනය පදනම් කර ගනිමින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ සාමාජිකයන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව දන්වා සිටියේය.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා සඳහන් කළේ කරුණු කිහිපයක් හේතුවෙන් පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බවය.
ඒ අනුව ‘පළාත් පාලන මැතිවරණ විශේෂ විවිධාන (සංශෝධිත) පනත් කෙටුම්පත’ නමින් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය මඟින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
නව තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් 2024 ඡන්ද හිමි නාමලේඛනය පදනම් කරගෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැලසීම එහි එක් අරමුණක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
එම මැතිවරණය සඳහා 2023 වසරේදී කැඳවන ලද නාමයෝජනා අහෝසි කර නව නාමයෝජනා කැඳවීමට සහ තැන්පත් කළ ඇප මුදල් නැවත ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසෙන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී සඳහන් කළේය.
මෙය මහජනතාවට ඉතා වැදගත් වන කරුණක් වන බැවින් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්ට මෙම නඩුකරයට මැදිහත්වීම සඳහා අවස්ථාව දීම සඳහා මෙම පෙත්සම් පිළිබඳ භාෂා තුනෙන් ජාතික පුවත්පත්වල දැන්වීමක් පළ කරන ලෙස සහ ඊට අමතරව නව තාක්ෂණය යටතේ QR කේතය ද ප්‍රසිද්ධ කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට අවසර දීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.
මෙම පෙත්සම්වල වගඋත්තරකාර පාර්ශ්වයට යළි නොතීසි නිකුත් කරන ලෙස ද විනිසුරු මඬුල්ල පෙත්සම්කරුවන්ගේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.
මෙම පෙත්සම ලබන වර්ෂයේ ජනවාරි 29 වැනි දින යළි කැඳවන ලෙස ද අධිකරණය නියෝග කළේය.
දේශ විමුක්තිය ජනතා පක්ෂයේ සාමාජික නිහාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
මැතිවරණ කොමිසම, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරු ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.
dinamina