දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සදහා ලෝකය සරල කිරීමට කථිකාවතක් ආරම්භ කළ යුතුයි  – වෛද්‍ය හංසක විඡේමුණි

දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සදහා වඩා පහසුකම් සහිත පරිසරයක් නිර්මාණය කරමින්, ඔවුන්ගේ අවශ්‍යතා  සදහා වූ කථීකාවතක් ආරම්භ කිරීමට සුදුසු කාලය එළඹ ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ ලැබුයේ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ දිවංගත දේශබන්දු දොස්තර හඩිසන් සිල්වා ශ්‍රීමතාණන්ගේ ජන්ම දිනය වෙනුවෙන් පසුගියදා කොළඹ 07 එම සංගම් මූලස්ථානයේ පැවැති “ජාතික අක්ෂිදාන දින”  සැමරුම් උත්සවය සදහා එක්වෙමිනි.

මෙහිදී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ දිවංගත දේශබන්දු දොස්තර හඩිසන් සිල්වා ශ්‍රීමතාණන්ගේ පිළිරුව සදහා පුෂ්පෝහාර දැක්වීමද කොළඹ ජාතික අක්ෂි රෝහල සදහා අක්ෂිදාන සංගමය මගින් රුපියල් ලක්ෂ 55 ක අක්ෂි කාච ප්‍රදානය කිරීම, පාකිස්ථානය වෙත අක්ෂි කාච ප්‍රදානය, කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේ භාවිතය සදහා රුපියල් ලක්ෂ 05 ක උපකරණ පරිත්‍යාගය, අක්ෂිදාන සංගමය විසින්  පාසල් දරුවන් ඉළක්කර කරගෙන සිදුකරගෙන යන නේත්‍රාලෝක වැඩසටහන යටතේ දෘෂ්‍යාබාධිත පාසල් සිසුන් සදහා අත්‍යාවශ්‍ය ශ්‍රවණ උපකරණ ප්‍රදානය කිරීම ඇතුලු ප්‍රජා සත්කාරක වැඩසටහන් රාශියක්ම මෙහිදී පැවැත්විනි.

මෙම උත්සවයේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් යුගලක් තිබූ පමණින් ලෝකය දැකිය නොහැකි බවත්, ලෝකය දැකීමට හොද හදවතක් තිබීම අත්‍යවශ්‍ය  බවත් පැවසීය. මෙරට පළමු වතාවට දෘෂ්‍යාබාධිත මන්ත්‍රිවරයෙක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත්ව ඇති බව පැවසූ අමාත්‍යවරයා එසේ වුවද මෙරට උත්තරීතර ආයතනයක් වන පාර්ලිමේන්තුව තුළ පවා එවන් පුද්ගලයන්ට විශේෂිත තත්ත්වයන් නිර්මාණය කර නොමැති බව කණගාටුවෙන් වුව සදහන් කළ යුතු බව ද පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒමහතා කියා සිටියේ මෙරට තුළ බොහෝ සංවිධාන ක්‍රියාත්මක වුවත් එම සංවිධාන මිනිසුන්ගේ ජිවිත සමග බද්ධ නොවීම ගැටළුවක්ව තිබෙන බවයි.ක්‍රියාකාරිත්වයෙන්ම මිනිසුන්ගේ ජිවිත සමග බද්ධ වූ සංවිධානයක් ලෙස අක්ෂිදාන සංගමය පෙන්වා දිය හැකි බව ද අමාත්‍යවරයා සදහන් කළේය. රජයට අභියෝග රැසක් ඇති  බවත්, ප්‍රධාන අභියෝගය මෙරට අහිංසක දුප්පත් ජනතාවට සාධාරණය ඉෂ්ඨ කිරීම බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත්  පැවසීය. එම සාධාරණත්වය ඇති කිරීමේ දී ඇස් වලින් ලෝකය දකිනවාට වඩා එහා ගිය උවමනාවක් රජයට පවතින බව ද ඇසෙන් දකින ලෝකයට වඩා එහා ගිය ලෝකයක් ශ්‍රී ලාංකිකයින් ලෙස දකින දිනට දුප්පත්කම මෙරටින් තුරන් කිරීමට හැකි වනු ඇති බවද, ඒ සදහා වූ දේශපාලන නායකත්වය නව රජය ලබාදෙන බැවින් එය ජයගත හැකි  බවද පැවසීය.

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ප්‍රධාන අනුශාසක ලෙස කටයුතු කරන අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මෙහිදී අදහස් දක්වන ලද අතර, ශ්‍රී අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ දිවංගත දේශබන්දු දොස්තර හඩිසන් සිල්වා ශ්‍රීමතාණන් වෛද්‍ය සේවාවට එහා ගිය සේවාවක් සිදු කර ඇති බව පෙන්වා දුන් අතර,  අද වන විට මෙරට ජන සමාජය තුල දිළිදුකම ව්‍යාප්තව ඇති බවත්, සුළු පිරිසක් පොහොසතුන් වන විට බොහෝ පිරිසක් දිළිදු තත්ත්වටයට පත්ව ඇති බව ද පැවසීය. දිළිදු ජනතාව පත්කර ගත් රජය දිළිදුකම පිටුදකින ක්‍රමවේදයක්, වැඩපිළිවෙළක් සකස් කරනු ඇති බවට බලාපොරොත්තු වන බව ද පැවසීය.

මෙම අවස්ථාවට  ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය පබා පලියවඩන, මෙරට පාකිස්තානු මහා කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් එච්.හුසේන්, ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමයේ වත්මන් සභාපති අයෝධ්‍ය සම්පත් ද සිල්වා, ලේකම් ඉඳුනිල් එදිරි වික්‍රමසූරිය, භාණ්ඩාගාරික ඩී.සී ත්‍රිසාන්, පරිපාලක එස්.සේනානායක, ශ්‍රී ලංකා මිනිස් පටක බැංකුවේ උපදේශක හේමක ද මැල්, දොස්තර හඩ්සන් සිල්වා අක්ෂි රෝහලේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු රුවන් ආසිරි, මිනිස් පටක බැංකුවේ කළමනාකරු ප්‍රභාත් නවීන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුලු විශාල පිරිසක් මේ සදහා සහභාගි  වූහ.

Leave A Comment