දේශපාලනයද ක්‍රීඩාවකි -මුදල් එහි තීරක සාධකයද?

ශ්‍රී ලංකාවේ මැතිවරණ වියදම් නියාමනයේ ගමන්මඟ හා ශේෂ පත්‍රය – II කොටස

විවිධ මිශ්‍රිත අදහස් මධ්‍යයේ වුවද දැනට අප සතුව ඇති මැතිවරණ ප්‍රචාරක වියදම් නීතිය කිසිසේත් අවතක්සේරු කල හැකි එකක්  නොවේ. එහෙත්  කවර නීතියක් තිබුනේ වුවද වැඩක් නැතැයි යන නිශේධනාත්මක අදහස ද අප අතර සිටින බොහෝ දෙනෙක් සතුව නැත්තේ නොවේ. කෙසේවෙතත් අප සතුව කලාපයේ හොඳම නීති තිබුනේ වුවද ඒවායේ බැබලීම ඇත්තේ අදාළ කාර්යයන්හි වගකීම් දරන්නන් ගන්නා ප්‍රයත්නයන්හි  සුබාසුබ අනුවය. සාමාන්‍යයෙන් සිංහල සංස්කෘතියේ ඇති ප්‍රකට කියමනක් වන්නේ ‘කොහොඹ ගහට -කරවිල වැල ගියා වැනිය’ යනුයි. නීතියේ පාලනය  සහ විනය පිරිහුණු ඕනෑම සමාජයක , නීති එලෙසම බලාත්මක නොවීම පුදුමයට කරුණක් නොවේ. මෙතෙක් පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ බහුලව සිදුවී ඇත්තේ ද  එයයි.

අදවන විට මෙරටේ 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත බලාත්මකව ඇත. එහෙත් ඊට මැතිවරණවලදී කවර තරම් මුදල් ප්‍රමාණයක් ඒ ඒ  අපේක්‍ෂකයන් සහ දේශපාලන පක්‍ෂ වැය කොට තිබේද යන්න ගැන එතරම් ප්‍රමාණවත් නිරීක්‍ෂණ හෝ සමීක්ෂණ සිදුකෙරුණේ නැති තරම්ය. එබැවින් අදාළ වියදම් ගැන වියත් සභා හමුවේ පවා කතාබස් කරන ලද්දේ සිතින් මවා ගත්  හෝ අදාළ අපේක්‍ෂකයන් වරින්වර ප්‍රසිද්ධියේ පවසන කතා හෝ කතන්දර ඇසුරෙනි. වරක් තමන් හට පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමට රුපියල් ලක්‍ෂ 800 ක් වැය වූ බව පැවසූ කුමාර වෙල්ගමගේ කතාව ද  එවැන්නකි. සිරිතක් ලෙසින් සිරිතුංග ජයසූරිය පමණක් සෑම ජනාධිපතිවරණයක් අවසානයේදීම තමන්ගේ වියදම් වාර්තාව ජනගත කිරීම සිදුකල  බවද සටහන් කිරීම වටී. ඔහු සමහරවිට මෙරටේ සිටින වැඩිම වාර ගණනක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ පරිණතම දේශපාලකයා විය හැකිය. එයම වසර 2015 පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමෙන් අනතුරුව රංජන් රාමනායක ද සිදු කළේය. එහෙත් එහි පරහක්ද විය. එනම් ඔහු වියදම් මූලාශ්‍ර දැක්වූවා විනා ආදායම් මූලාශ්‍ර නොදැක්වීමයි.

ඊට අමතර වශයෙන් මෙලෙස සෑම ජන්ද විමසීමක් සඳහා ම වැය වන වක්‍ර මුදල් කන්දරාව ගැන මැතිවරණ වියදම් නියාමන නීතිය බලාත්මක කිරීමට පෙර මෙරටේ යම් නිරීක්‍ෂණයක් සිදුව ඇත්නම් ඒ ඉතා අල්ප වශයෙනි. මෙම ලියුම්කරු වසර 2019/20 යන වර්ෂ දෙකේදී පැවති ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකෙහිම කෙතරම් මුදල් ප්‍රමාණයක් වැය වන්නේ දැයි යන්න ගැන දීප ව්‍යාප්ත නිරීක්‍ෂණයක් සිදුකිරීමේ කාර්යයෙහි ප්‍රමුඛත්වය ගත්තේය.

එනමුත් දැන් අප සතුව එවැනි නීතියක් ඇත්තේය. මෙම පසුබිම තුළ  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (TISL) ආයතනයේ ප්‍රමුඛත්වයෙන් අදාළ මැතිවරණ අරමුදල් නිරීක්‍ෂණය සඳහා වෙබ්ගත ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කරන ලද අතර ඒ සඳහා යෙදූ නම වූයේ  ‘Campaign Money Meter’ (ජන්ද සල්ලි මීටරේ) යන්නයි. ඊට දායකත්වය දැක්වූ අනෙක්  සංවිධාන අතර  පැෆ්රල් (PAFFREL) , මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය  (CMEV) සහ කැෆේ (CaFFE) යන සංවිධාන ක්‍ෂේත්‍රයේ සිදුවන  ප්‍රචාරක වියදම් නිරීක්‍ෂණය සිදුකල අතර හැෂ්ටැග් ජෙනරේෂන් ආයතනය  විසින් (Hashtag Generation)  සමාජජාල හමුවේ සිදුකරන මැතිවරණ ප්‍රචාරක වියදම් නිරීක්‍ෂණය සිදුකරන ලදි. ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය  (IRES) ,සියලු සම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරක වියදම් පිළිබඳව නිරීක්ෂණාත්මක විය. එවකට ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂිකාව ලෙස කටයුතු කල නදීෂානි පෙරේරා ඉහත සඳහන් කල වෙබ්ගත ඩිජිටල් තොරතුරු පොර්ටලයෙහි  නිර්මාතෘවරිය  වූවාය.

ඒ අනුව මෙදින විස්තර කරනු ලබන්නේ IRES ආයතනය දිවාරාත්‍රී පැය 24 පුරා විශේෂයෙන් නිර්මාණය කරන ලද කාර්යාල පරිශ්‍රයක්  තුළ විශ්ව විද්‍යාල සිසුසිසුවියන් මෙන්ම අනෙක් පුහුණුව ලත් තරුණ තරුණියන් 32 දෙදෙනකුගේ සහයෙන් සිදුකල අඛණ්ඩ නිරික්ෂණයක (මැතිවරණ දෙකෙහිම නාමයෝජනා ලබාදුන් දිනයේ සිට ජන්ද විමසීම් දිනට පැය 48 කට පූර්වයෙන්)  ප්‍රතිපලයයි. එම ජාතික මැතිවරණ දෙක සඳහා  ජාත්‍යන්තර ආයතන තුනක් වරින්වර ලබාදුන් මුල්‍යාධාරවල වටිනාකම රුපියල් මිලියන 04කි. එහෙත් අධික පිරිවැය පියවා ගැනීමට එම මුදල් ප්‍රමාණවත් නොවූ අතර අවසන වැය වූ සමස්ත මුදල දළ වශයෙන් රුපියල් මිලියන 07 ක් විය.

පොදුවේ අදාළ ජාතික මැතිවරණ දෙකෙහිදීම සති අන්ත සහ සතියේ පුවත්පත් 21 ක් මෙන්ම රේඩියෝ 04 ක්ද , රූපවාහිනී නාලිකා 09 ක්ද මෙම නිරීක්‍ෂණයට අන්තර්ගත විය. එහිදී ප්‍රමුඛ සහ එකම අවධානය දෙන ලද්දේ තම අපේක්‍ෂකත්වය හෝ තරගයට ඉදිරිපත්වීම ප්‍රවර්ධනය සඳහා අනුග්‍රාහක දැන්වීම් වෙනුවෙන්  අපේක්‍ෂක අපේක්ෂිකාවන් සහ දේශපාලන පක්‍ෂ වැය කොට ඇති මුදල් පිළිබඳවය. එහෙත් එය පහසු කාර්යයක් නොවේ. සමස්ත පිරිවැය නිරීක්‍ෂණය ම පදනම් වන්නේ ඒ ඒ මාධ්‍ය ආයතන ලබාදෙන Rate Cards ඇසුරෙනි. එහෙත් මාධ්‍ය ආයතන අදාළ දැන්වීම් පළකිරීමේදී හෝ විකාශයේදී ඒවා සමඟ කොපමණ වට්ටම් ප්‍රමාණයක් ලබා දෙන්නේද , අදාළ රජයේ බදු ඊට අන්තර්ගත ද හෝ නොමිලේ අදාළ අපේක්‍ෂකයන් හෝ දේශපාලන පක්‍ෂ වෙත ප්‍රචාරයක් ලබාදෙන්නේ ද යන්න අපැහැදිළිය. එහෙත් මෙවැනි නිරීක්‍ෂණයක් තුළ දල්වාලිය හැකි එළි බොහෝ ප්‍රමාණයක් ඇත. මාධ්‍ය තමන්ට අභිමත අපේක්ෂකයන් සහ දේශපාලන පක්‍ෂ වෙනුවෙන් වැඩ කරන්නේය යනුවෙන් ජනගත මතය විද්‍යාත්මකව,නිවැරදි සංඛ්‍යා දත්ත පදනම් කරගනිමින් විමසුමට ලක්කළ හැක්කේ මෙවැනි විධිමත් නිරීක්‍ෂණයක් තුළින් පමණි.

ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රමුඛ ලෙස සම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරය සඳහා මුදල් වැය කල අපේක්‍ෂකයන් පස් දෙනෙකුගේ (ඉඩකඩ මඳකම හේතුවෙන් අනෙක් පිරිසේ දත්ත මෙහි ඉදිරිපත් නොකෙරේ). විස්තර පහත පළවේ.

| 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයෝ
| 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයෝ

සම්ප්‍රදායික මාධ්‍ය වෙනුවෙන් ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්  දරා ඇති පිරිවැය- ජනාධිපතිවරණය 2024

රනිල් වික්‍රමසිංහ : 

පුවත්පත් 64,571,620.00-

රුපවාහිනී නාලිකා- 541,674,630.00

රේඩියෝ – 7,268,872.50

සමස්ත වියදම -613,515,122.50

සජිත් ප්‍රේමදාස –

පුවත්පත් -113,795,288.98

රුපවාහිනී නාලිකා -1,431,736,138.75

රේඩියෝ -37,313,591.63

සමස්ත වියදම -1,582,845,019.36

අනුර කුමාර දිසානායක :

පුවත්පත් -15,643,762.40

රුපවාහිනී නාලිකා –

රේඩියෝ – 8,109,353.00

සමස්ත වියදම -271,255,927.67

නාමල් රාජපක්‍ෂ :

පුවත්පත් -4,193,005.00

රුපවාහිනී නාලිකා- නැත

රේඩියෝ -නැත

සමස්ත වියදම -4,193,005.00

දිලිත් ජයවීර:

පුවත්පත් – 24,332,996.25

රුපවාහිනී නාලිකා – 808,799,487.66

රේඩියෝ-5,668,148.90

සමස්ත වියදම -838,800,632.81

 

ඉහත ජනාධිපතිවරණ වියදම් පිළිබඳව සළකා බිමේදී පැහැදිළි වන කරුණු කිහිපයක් ඇත. පළමු කරුණ වන්නේ ඉහත සඳහන් කරුණු එලෙසින්ම අදාළ අපේක්‍ෂකයන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදී ඇති වියදම් වාර්තා වල ප්‍රක්ෂේපණය නොවන බවයි. අනෙක් කරුණ නම් අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ රූපවාහිනී ප්‍රචාරය සඳහා වැඩි බරක් දී තිබීමත් නාමල් රාජපක්‍ෂ වැඩි විශ්වාසයක් පුවත්පත් කෙරෙහි තැබීමත්ය. දිලිත් ජයවීරද ද අසාමාන්‍ය ආකාරයට  මාධ්‍ය වෙනුවෙන් වැය බරක් දරා ඇත්තේය. තමන් හට ජනාධිපතිවරණ තරගයේ වැඩි ඉඩක් නැතිබව දැන දැනත් ඔහු එලෙස වැඩි මාධ්‍ය අනුග්‍රාහකත්වයක් ලබාගැනීමට  බලපාන කරුණු දෙකක් පිළිබඳව උපකල්පනය කල හැකිය. එකක් වන්නේ ඔහු සතුව අදාළ සම්ප්‍රදායික මාධ්‍ය තුනෙහිම හිමිකාරිත්වය පැවතීමයි. දෙවැන්න නම් ඔහු තරග කලේ පාර්ලිමේන්තු මැතිවරණයේ හෝ පළාත් පාලන ජන්ද විමසීම සඳහා වන තරගකාරී ආයෝජනයක් වෙනුවෙන් වීමයි. කෙසේ වෙතත් බැලූ බැල්මට තම මාධ්‍ය ප්‍රචාරය සඳහා දෙරණ මාධ්‍ය ජාලය උපයෝගී කරගැනීමේදී ඊට අදාළ වියදම් නිශ්චිත ලදුපත් ඉදිරිපත් කිරීම් මඟින් සනාථ කරන්නට ඔහු උත්සහ ගෙන ඇති බව පෙනුණි.

තවද සජිත් ප්‍රේමදාස එහිලා සුවිශේෂත්වයක් දරන්නේය. හේතුව නම් ඔහු පුවත්පත් රූපවාහිනී මෙන්ම රේඩියෝ යන මාධ්‍ය ත්‍රිත්වය සඳහා වන වැය කිරීම මඳක් සමබරව කරන්නට උත්සහ දැරීමයි. එමෙන්ම දෙරණ මාධ්‍ය ජාලය මැතිවරණ ප්‍රචාරක කාල සීමාවේ වැඩිම මුදලක් උපයා ගත් මාධ්‍ය ආයතනය ලෙසද නම් කල හැකිය. ඔවුන් උපයන ලද සමස්ත මුදල අසළට හෝ පැමිණීමට හැකියාවක් පැවති නාලිකාව වී තිබුනේ හිරු නාලිකාව  පමණි.  ඊට අමතර වශයෙන් පුවත්පත් කියවීම යම් අර්බුදයකට පත්ව ඇතැයි යනුවෙන් සමහර දෙනෙක් කරුණු ඉදිරිපත් කලද මැතිවරණ ප්‍රචාරක වියදම් හමුවේ එය එතරම් සත්‍යයක් නොවේ. ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් පුවත්පත් දැන්වීම් කෙරෙහිද යම් ස්ථාවර විශ්වාසයක් තබා ඇති බව ඉහත සංඛ්‍යා දත්ත ඇසුරු කිරීමෙන් පෙනී යනවා ඇත.

තම සම්ප්‍රදායික පවුල් දේශපාලනය කෙරෙහි ජනතාව දැඩිව විවේචනාත්මක වුවද නාමල් රාජපක්‍ෂ යනු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් සඳහා පිරිවැය දැරිය නොහැකි අපේක්‍ෂකයෙක් නොවේ. එහෙත් ඔහු සමස්ත ජනාධිපතිවරණ ප්‍රචාරක කාල සමය තුළම රූපවාහිනිය සහ රේඩියෝව මුළුමනින්ම අමතක කොට තිබුණි. ඒ වෙනුවට ඔහු තෝරාගෙන තිබූ මාධ්‍ය වූයේ සමාජජාල සහ පුවත්පත්ය (තරුණ පරපුර සඳහා සමාජ මාධ්‍යත් – පියාගේ පරපුරේ වැඩිහිටි ජන්ද ආමන්ත්‍රණය සඳහා පුවත්පත්) . ඊට අමතර වශයෙන්  තවත් කරුණක් ද මෙහිලා අවධාරණය කල යුතුය. එනම් රාජ්‍ය මාධ්‍ය (ජාතික රූපවාහිනිය සහ ITN  මෙන්ම ලේක්හවුස් පුවත්පත්) අභිබවා පෞද්ගලික මාධ්‍ය වෙත වැඩි දැන්වීම් ප්‍රමාණයක් ලැබී තිබීමයි. කලක් මෙකී රාජ්‍ය මාධ්‍ය, ආණ්ඩුවේ හොරණෑ ලෙස හංවඩු ගැසී තිබූ අතර එවැනි පසුබිමක තම කීර්ති නාමය බිඳ වැටීම අරුමැසි යමක් නොවේ. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය ලෙස පෙනී යන්නේ ආණ්ඩුව නියෝජනය කල අපේක්‍ෂකයා පවා තම විශ්වාසය වැඩිවශයෙන් පෞද්ගලික මාධ්‍ය වෙත පැවරීම මඟින් රජයේ මාධ්‍ය අවතක්සේරුවට ලක්කිරීම හෝ වැඩි අවධානයක් ලබා නොදීමයි (කෙසේවෙතත් කවර මාධ්‍ය කේන්ද්‍ර කරගනිමින් කුමනාකාරයේ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරන්නේද යන්න අදාළ අපේක්‍ෂකයාගේ අභිමතය පරිදිම සිදුවන්නක් නොව තෝරා ගන්නා ප්‍රචාරක ආයතනයේ නිර්ණායක සහ අභිලාශ පරිදි සිදු වන්නකි).

පොදුවේ මැතිවරණ ප්‍රචාරක සමයේ මාධ්‍ය භාවිතාවෙන් පමණක් අපේක්ෂකත්වය පිළිබඳව හා ජයග්‍රහණය සඳහා එය කෙතරම් ඉවහල් වූයේද යන්න පිළිබඳව නිගමන ඉදිරිපත් කිරීම ඉතා අපහසුය. ඊට අදාළව සමස්ත මාධ්‍ය වාර්තා සහ විශේෂාංග/කතුවැකි මෙන්ම වැඩසටහන් පිළිබඳව ප්‍රමාණික සමාලෝචනයක් අවශ්‍ය වේ. එවැනි ප්‍රවේශයක් තුළින් යටත් පිරිසෙන් මැතිවරණ ක්‍රියාවලිය තුළ මුදල් කවර භූමිකාවක් අත්පත්කරගෙන ඇතිදැයි විමසීමේ අවකාශ උදාවේ.

මෙවැනි කාර්යයකදී පැමිණෙන ප්‍රධානතම අභියෝගය වන්නේ මෙලෙස එකතු කරන දත්ත කෙතරම් විශ්වසනනීයත්වයෙන් යුක්තද යන්නයි. හේතුව වැරදි දත්තයක් සමාජගත වීම යම් අපේක්ෂ්කයෙකුගේ පරාජයට වුව හේතුවිය හැකි බැවිනි. එබැවින් IRES ආයතනය මීට පාදක කරගත් මූලික දත්ත සියල්ල එක්කෝ පටිගත කොට ඇති අතර එසේත් නැත්නම් ජායාරූපගත කොට ඇත්තේය. තවද අවශ්‍යනම් නිරීක්‍ෂණයට බඳුන් වූ අදාළ ආයතන මඟින් ඉදිරිපත් කරන සංශෝධන වලටද ඉඩක් ලබාදී ඇත්තේය. බොහෝ ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරනු ලබන්නේ මාධ්‍ය ඔස්සේ සිදුකරන මැතිවරණ ප්‍රචාරය පක්‍ෂ සහ අපේක්‍ෂකයන් සතුව මුදල් ඇති නිසා මෙන්ම කළු සල්ලි සුදු කිරීම යනුවෙන් පොදුජන ව්‍යවහාරයේ පවත්නා මුදල් විශුද්ධිකරණයේ නාමයෙන් සිදුවන යමක් පමණක් බවයි. එහෙත් එය සත්‍යයෙන් බැහැරය. මුදල් විශුද්ධිකරණය හා මැතිවරණ යනු එකිනෙක අත්වැල් බැඳගත් ප්‍රපංච දෙකක් බව ඇත්තය. එනමුත් එය වෙනම ම විසඳා ගත යුතු කරුණකි.  සම්ප්‍රදායික මාධ්‍ය ඇසුරේ සිදුවන මැතිවරණ ප්‍රචාරය කිසිදුවිටෙකත් පරිසරයට හානි නොපමුණුවන්නේය. කෙටි කාලයක් තුළ වැඩිදෙනෙකුගේ අවධානයට ද ලක්වන්නේය. වඩාත් සැළකිලිමත් වියයුතු අනෙක් කරුණ නම් සම්ප්‍රදායික මාධ්‍ය මැතිවරණ සමයේ උපයන යම් මුදලක් වේද එමඟින් මෙරටේ මාධ්‍ය කර්මාන්තයට යම් හුස්මක් ලැබීමත් එකී උද්‍යෝගය ජන්දදායකයන්  දැනුම්වත් කිරීම් සඳහා ස්වෙච්ජාවෙන් යෙදවීමට ඔවුන්ට යම් අවකාශයක් උදාවීමත්ය.

| Institute for Democratic Reforms and Electoral Studies
| Institute for Democratic Reforms and Electoral Studies

එබැවින් මැතිවරණ ප්‍රචාරක වියදම් නියාමන නීතිය මෙරටේ ජනගත කිරීමට අදාළ පසුබිම සහ එම නීතිය බලාත්මක වීමෙන් පසුව මධ්‍යයේ හැසිරීම කෙලෙසදැයි යන්න පිළිබඳව ද IRES ආයතනය වැඩි අවධානයකින් කරුණු සමාලෝචනය කරනු ලැබීය. එහිදී ලබාගත් සංඛ්‍යා දත්ත සහ විශේෂාංග /වැඩසටහන් අන්තර්ගතයන් විමසීමේදී තහවුරු වූයේ පුවත්පත් අතර මව්බිම, සිලෝන් ටුඩේ සහ සන්ඩේ ටයිම්ස් මෙන්ම දිනපතා අයිලන්ඩ්  යන සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් මෙම නීතියේ වැදගත්කම පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කර ඇති බවයි. දිනපතා අයිලන්ඩ් පුවත්පතෙහි බොහෝ කතුවැකි මෙකී නියාමනය මඟින් සිදුවියහැකි දේශපාලන සංස්කෘතියේ වෙනස පිළිබඳව යම් පෙරදැක්මකින් කරුණු විස්තර කොට ඇති බවද පෙනී ගිය එක් නිරීක්ෂණයකි. එම කතුවැකි ලියන ප්‍රභාත් සහබන්දු ඉතා තියුණු සහ ප්‍රබල බසින් මෙන්ම පොහොසත් අන්තර්ගතයෙන් යුක්තව ලියා ඇති සමහර කතුවැකි මෙම විෂය ක්‍ෂේත්‍රය ගැන උනන්දුවක් දක්වන්නන් කියවීම ඉතා ඵලදායකය.

ඊට සමගාමීව සිරස ‘පැතිකඩ’, දෙරණ ‘බිග් ෆෝකස් සහ රිබිල්ඩ් ශ්‍රී ලංකා (Big Focus & Rebuild Sri Lanka)  යන වැඩසටහන් මෙන්ම ස්වර්ණවාහිනී ‘මෙහෙවර’යන වැඩසටහන් ද බොහෝ කලෙක පටන් මෙම තේමාව සම්බන්ධයෙන් යම් සමාජ කතිකාවක් ඇති කිරීමට සමත්ව ඇති බව සටහන් කිරීම වැදගත්ය. තවද ඩිජිටල් අවකාශය තුළ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය අඛණ්ඩව මෙහෙයවන ‘කතිකා’ වැඩසටහන එහිලා මෙම තේමාව හා සබැඳිව පෙරගමන් ගොස් ඇත. දිල්රුක්ෂි හඳුන්නෙත්ති ද ඇය නියෝජනය කරන ‘Center for Investigative Reporting (CIR)’ ආයතනය මඟින් මෙම විෂය ක්‍ෂේත්‍රයට අදාළ කදිම සාකච්ජා මාලාවක් පවත්වන ලද අතර දැනට ප්‍රකාශයට පත්නොවන ‘සමබිම’ අතිරේකය ද  (එය රාවය සහ අනිද්දා යන පුවත්පත් මඟින් වැඩි පාඨක ජනකායක් වෙත ජනගත කල බව වැඩිමනත් ලෙස සඳහන් කොට තැබීම වැදගත්ය) මෙම නීතියේ පසු දැක්ම හා පෙර දැක්ම ගැන ලියා ඇති විවරණ ප්‍රමාණය විශාලය. මෙහි  සුවිශේෂත්වයකින් සඳහන් නොකළද අපේක්‍ෂා කලයුතු පරිදිම මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන සිදුකොට ඇති කාර්යභාරය සුවිශිෂ්ඨය. මැතිවරණ කොමිෂන් සභාවද සිවිල් සමාජය හෝ මාධ්‍ය එහිලා සිදුකරන කවර මැදිහත්වීමක් වුව ආශීර්වාදයක් සේ සළකා ක්‍රියාකොට ඇති බව පැහැදිළිව පෙනී යන කරුණකි.

ඒ පිළිබඳව මෙරටේ මාධ්‍ය භාවිත කරමින් වැඩි අදහස් ප්‍රමාණයක් දක්වා ඇති සම්පත්දායකයන් අතර මහින්ද දේශප්‍රිය ,රෝහණ හෙට්ටිආරච්චි, මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මෙන්ම මෙම ලියුම්කරුද පෙරමුණේ සිටින අතර වඩාත් තර්කානුකුල හා වර්ණවත් අන්තර්ගතයන් ඔස්සේ බලදේශපාලනයේ හතර මායිම් ද ස්පර්ශ කරමින් මෙම කේන්ද්‍රීය තේමාව පිළිබඳව වැඩි අදහස් ප්‍රමාණයක් එකම ස්ථාවරයකින් ජනගත කොට ඇති දේශපාලන චරිතය වන්නේ ඩලස් අලහප්පෙරුමයි. ඊට අමතර වශයෙන් බිඟුන් මේනක, ගගනි වීරකෝන්, ප්‍රියාන් සිල්වා, රසික ගුණවර්ධන, චාමර සම්පත් ආදී මාධ්‍යවේදීන් ද ආරම්භයේ සිට අවසානය දක්වා සිදුකර ඇති දායකත්වය විශාලය. ඒ අතරතුර අඛණ්ඩවම මෙම විෂය ක්‍ෂේත්‍රය පිළිබඳව සාකච්ජා කරමින් තම මාධ්‍ය ආයතන තුළ ඒ සඳහා කදිම පසුබිමක් නිර්මාණය කරන ලද සන්නිවේදකයන් දෙදෙනෙක් අපගේ නිරීක්‍ෂණයට හසුවිය. ඒ අසෝක ඩයස් සහ චතුර අල්විස්ය. මෙවැනි අනාවරණයන් හෝ නියාමනයන් ජනගත කිරීම තුළ තම මාධ්‍ය ආයතනයට ලැබෙන දැන්වීම් ප්‍රමාණය අඩුවිය හැකි බව මොවුන් දෙදෙනා නොදන්නවා නොවේ. එහෙත් ඔවුන් දෙදෙනා එකී කරුණු පිළිබඳව කිසිදු විටෙක පසුබෑමකට ලක්නොවී වඩාත් නිර්මාණාත්මක අන්තර්ගතයන් එළිදක්වා ඇත. ජනාධිපතිවරණය කැඳවා නාමයෝජනා ලබාදීමෙන් අනතුරුව උපරිම මුදල් වියදම් සීමාව නිර්ණය කිරීමත් සමඟ ඊට පසුදා උදෑසන අසෝක ඩයස් විසින් මෙහෙයවන ලද ‘පැතිකඩ’සාකච්ජාව සහ සමස්ත මැතිවරණ වියදම් නියාමන ක්‍රියාවලිය පිළිබඳව චතුර අල්විස් මෙහෙයවන ලද ‘Rebuild Sri Lanka’ යන වැඩසටහන් මීට කදිම නිදසුන් සපයයි.

තවද මෙවැනි නිරීක්‍ෂණ සිදුකරන්නේ අදාළ අපේක්‍ෂකයන් දේශපාලනයෙන්  පිටමං කිරීමට හෝ වැරදි පෙන්වා ඔවුන් සිරගත කිරීමට නොව නිවැරදි සංඛ්‍යා සහ  දත්ත භාවිතයෙන් ජන්දදායකයන් හට වැඩි තෝරා ගැනීමේ අවස්ථාවක් ලබාදීමට බව වැඩිවැඩියෙන් ජනතාවට පහදා දිය යුතුව ඇත. රටක පරමාධිපත්‍යය බලය නිවැරදිව අභ්‍යාස කල හැකි වන්නේ එවිටය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ සමස්ත මාධ්‍ය පිරිවැය සළකා බැලීමේදී සමාජ ජාල මාධ්‍ය ඔස්සේ කල වියදම සහ බිම් මට්ටමේ කල වියදම් ගැනද සොයා බැලිය යුතුය. එවිට පමණි යම්තාක් දුරකට නිවැරදි චිත්‍රයක් නිර්මාණය කරගත හැක්කේ. පොදුවේ දැනට එළඹිය හැකි නිගමනය නම් මාධ්‍යයේ වුව වැඩිපුර වැය කොට ඇති අපේක්‍ෂකයන් ජයගෙන නොමැති බවයි. එහෙත් ජනාධිපතිවරණය යනු මුලු රටම එක ජන්ද කොට්ඨාශයක් සේ සළකන ජන්ද විමසීමකි. එබැවින් සම්ප්‍රදායික මාධ්‍ය නොමැතිව සිදුකරන මැතිවරණ ප්‍රචාරයක් පිළිබඳව සිතීම උගහටය.

සබැඳි පුවත්

  • http://දුබල නෛතික ප්‍රතිපාදන මැතිවරණ කොමිෂන් සභාව අවදානමේ හෙළනු ඇත !
| මංජුල ගජනායක
| මංජුල ගජනායක

Leave A Comment