
දොරේඅප්පාගේ මිනිබිරිය කැනඩාවේදී වෙඩි තබා ඝාතනය කරලා
- CNL Reporter
- March 13, 2025
- පුවත්
- දොරේඅප්පාගේ මිනිබිරිය කැනඩාවේදී වෙඩි තබා ඝාතනය කරලා
- 0 Comments
කැනඩාවේ ඔන්ටේරියෝ ප්රාන්තයේදී ශ්රී ලාංකේය සම්භවයක් සහිත නිලක්ෂි රගුදාස් නමැති 20 හැවිරිදි තරුණියක් වෙඩි තබා ඝාතනය කර ඇත.
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ යාපනයේ හිටපු නගරාධිපතිවරයකු වූ ඇල්ෆ්රඩ් දොරේඅප්පාගේ මිණිබිරියක වන රගුදාස් නිලක්ෂි නමැති තරුණිය බවට හඳුනාගෙන තිබේ.
පසුගිය සිකුරාදා උදෑසන 7.30ට පමණ එම ප්රාන්තයේ පිහිටි මාර්කම් නුවර නිවෙසකදී වෙඩි තැබීම සිදුවී ඇත.
ඒ මොහොතේ නිවෙසේ සිටි 26 හැවිරිදි තරුණයකු ද වෙඩි ප්රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි කැනඩාවේ ග්ලෝබල් නිවුස් පුවත් සේවය වාර්තා කළේය.
වෙඩි ප්රහාරයෙන් මියගිය තරුණිය එම ප්රාන්තයේම පිහිටි පීල් කලාපය භාර පොලිස් ප්රධානියා වන නිශාන් දොරේඅප්පාගේ ද ඥාති දියණියකි.
වෙඩි තැබීම සම්බන්ධව ලද තොරතුරු වාර්තා වීමෙන් පසු මාර්කම් නුවර සොලේස් මාර්ගයේ පිහිටි එම නිවෙසට ගිය පොලිස් නිලධාරීන් වෙඩි ප්රහාරයෙන් තුවාල ලබා සිටි තරුණිය සහ තරුණයා රෝහල්ගත කර තිබේ. තරුණයාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.
නිවෙසේ සිටි ජර්මන් ශෙෆර්ඩ් වර්ගයේ බලු සුරතලකු ද තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් මියගොස් සිටි බව ග්ලෝබල් නිවුස් පුවත් සේවය සඳහන් කළේය.
එම නිවෙසේ සිට දිවගිය සැකකරුවන් දෙදෙනකු කළු පැහැති නවීන මෝටර් රථයකින් පලායන අයුරු සීසීටීවී දර්ශනවලින් හෙළි වී ඇතැයි යෝක් කලාපයේ පොලීසිය ප්රකාශ කර තිබේ.
මීට පෙර වසර 2018 සිට අවස්ථා 5ක දී එම නිවෙස වෙඩික්කරුවන්ගේ ඉලක්කයක් බවට පත්වී තිබූ බවටත්, එම සෑම අවස්ථාවකදීම වෙඩි තබා ඇත්තේ දුරක සිට බවටත් පොලීසියට තොරතුරු ලැබී ඇත.
මෙවර නිවෙස තුළටම ගොස් වෙඩි ප්රහාරය එල්ල කර ඇතැයි මාර්කම් නුවර අයත් යෝක් කලාපයේ පොලීසිය ප්රකාශ කර තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
( dinamina | රසුල දිල්හාර ගමගේ)