පළාත් පාලන මැතිවරණයෙන් හැමෝම පරාදයි, ඒත්…

දීර්ඝකාලීන වශයෙන් ගත් විට, ආණ්ඩුව දැනට කරමින් සිටින වැදගත්ම කාර්යය වශයෙන් පෙනෙන්ට තිබෙන්නේ මිථ්‍යාහරණයයි. එනම්, මෙතෙක් කල් සමාජය වැලඳගෙන සිටි විවිධ මිථ්‍යාවන් එකින් එක නිරුවත් කිරීමට විවිධාකාරයෙන් පිටුබලය සැපයීමයි. ඒ කෙතෙක්ද යත්, පුද්ගලයන් වෙනස් කිරීම වෙනුවට ක්‍රමය වෙනස් කිරීම තත්කාලීනව වැදගත් වන්නේය යන සැබෑව පවා, බොරුවක් සහ හුදු හීනයක් පමණක්ම විය හැකි බව, ඉදිරි කාලයේදී නිරාවරණය වීමට ඉඩ ඇතැයි දැන් සිතෙයි.

‘ක්‍රමය වෙනස් කිරීම’ නමැති විදග්ධ සටන්පාඨය, ඉතා බොළඳ සහ ළාමක නිර්වචනයේ සිට ප්‍රායෝගික නොවන සිහින අඩවි දක්වා අර්ථකථනය වී තිබුණත්, එහි සාරාර්ථය වන්නේ, ‘හරයාත්මක වෙනසක්’ අවශ්‍ය කරන්නේය යන්නයි. එසේ තිබියදී, පසුගිය දා පැවති පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂය නොවන වෙනත් පක්ෂයක් ජයගන්නා ප්‍රාදේශීය සභාවක් හෝ නගර සභාවක් වෙතොත් ඒ සඳහා මුදල් වෙන් කිරීම ගැන දෙවරක් සිතා බැලීමටත්, ආණ්ඩු පක්ෂය බලය පිහිටුවන ආයතන සඳහා දෙවරක් නොසිතා මුදල් වෙන් කළ හැකි බවත්, ජනාධිපතිවරයා විසින්ම පැවසීම, එකී ‘ක්‍රමය වෙනස් කිරීම’ පිළිබඳ පොරොන්දුව මිථ්‍යාවක් බව විදාරණය කරවන එක් අවස්ථාවකි.

මැතිවරණයක් පවත්වන්නේ ජනතා මතය උරගා බැලීමටයි. තමන් ජයග්‍රහණය නොකරන ප්‍රාදේශීය සභාවකට හෝ නගර/මහනගර සභාවකට මුදල් වෙන් කිරීම ගැන ආණ්ඩුවකට දෙවරක් සිතාබැලීමට සිදුවන්නේ, පැරණි ක්‍රමයටයි. එනම්, ජනතා මතය තමන් සඳහා නොවන තන්හිදී, ඒ ජනතා මතය ප්‍රතික්ෂේප කිරීමේ සම්ප්‍රදායටයි. ඒ අදහස මත පිහිටා සිටිමින්, දකුණේ ආණ්ඩු උතුරේ ජනතාවට ‘දඬුවම්’ කළ අවස්ථා තිබුණි. දකුණේ පවා, තමන් පරාජය වන ගමක මහපාරක් අතහැර, ඒ ගමට කලින් සහ පසුව ඇති, තමන් ජයග්‍රහණය කළ ගම් දෙකක නොවැදගත් පටු පාරවල් කාපට් කළ අවස්ථා ඕනෑ තරම් ඇත.

දැන්, ජනාධිපතිවරයාගේ එකී ප්‍රකාශය, තවත් ප්‍රකාශ දෙකක් සමග සසඳමු. මෙවර මැතිවරණයෙන් තමන්ගේ ඡන්ද ප්‍රමාණය අඩු වුණේ, විපක්ෂය විසින් ජනතාවට අරක්කු ආදිය සැපයීම නිසා යැයි එක් තරුණ රාජ්‍ය ඇමතිවරයෙක් කියා තිබුණි. මෙතෙක් කල් මෙරටේ බොහෝ පක්ෂ මැතිවරණ ජයග්‍රහණ සඳහා එවැනි අල්ලස් පාවිච්චි කර ඇති බව රහසක් නොවේ. හැබැයි, ඒ අරක්කු වියදම ඔවුන් දරන්නේ තමන්ගේ සාක්කුවෙනි. දැන්, ජනාධිපතිවරයා යම් ප්‍රාදේශීය සභාවකට රාජ්‍ය ප්‍රතිපාදන නොදෙමැයි කියන විට හෝ තවත් ප්‍රාදේශීය සභාවකට දෙවරක් නොසිතා රාජ්‍ය ප්‍රතිපාදන සලසමියි කියන විට එයින් අදහස් වන්නේ, එම අල්ලස සඳහා තමාගේ සාක්කුවෙන් ඔහු සතයක්වත් පාවිච්චි කරන බව නොව, හැම සතයක්ම ජනතාවගේ සාක්කුවෙන් පාවිච්චි කරන බව ය. එබැවින්, අරක්කු අල්ලසට වඩා එය නරකයි. මන්ද යත්, අල්ලසට අමතරව, දූෂණය සහ සොරකමත් එතැන ඇති බැවිනි.

ජනතා ඡන්දෙන් පත්වූ මන්ත්‍රී අල්ලසට යටවෙන හැටි

දෙවැනි ප්‍රකාශය අපට අසන්නට ලැබෙන්නේ සභානායකවරයාගෙනි. ඔහු කියන පරිදි, (සහ, සත්‍ය වශයෙන්ම අපත් දන්නා පරිදි) ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා පැහැදිලි ජයග්‍රහණයක් තනි පක්ෂයක් ලබා නැති තැන්වල, තම බලය පිහිටුවීම සඳහා ඒ ඒ පක්ෂ, වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ව මුදලට ‘බාගැනීම’ සිදු කෙරේ. මෙවර එවැනි සෙල්ලම් කිරීමට ආවොත්, ඔවුන්ව ‘හිරේ දාන’ බව සභානායකවරයා කියා තිබේ. එසේ කළ හැකි වෙතොත් ඉතා හොඳයි. එහෙත් තේරීපත් වූ මන්ත්‍රීවරුන් මැතිවරණයෙන් පසුව එසේ මුදලට ‘බාගැනීම’ අපරාධයක් වන විට, මැතිවරණයට කලින් එකී මන්ත්‍රීවරුන් තෝරාපත්කරගැනීම සඳහා එවැනිම මුදල් අල්ලසක් ජනාධිපතිවරයා විසින් ඡන්දදායකයාට පොරොන්දු වීම අපරාධයක් නොවන්නේ කෙසේද යන්නත් ඔහු පැහැදිලි කර දිය යුතුයි නේද?

පවතින ‘ක්‍රමය’ තුළ දක්නට ලැබෙන එක් නිත්‍ය සලකුණක් වන්නේ, තමන් කරන කියන දේවල්වල ඇති අසංගත බව හෙවත් නොගැළපීමයි. මේ කෙටි කාලය තුළ වර්තමාන ආණ්ඩුව ඒ අතින් දක්වා ඇති ශූරතාව කැපීපෙනෙයි. ‘ක්‍රමයේ වෙනසක්’ පිළිබඳ සොඳුරු සිහිනය බොඳ කරන එවැනි චර්යාවන්, මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලි ජයක් අත්කරගැනීම වළක්වාලීම සම්බන්ධයෙන් ඔවුන් කෙරෙහි බොහෝ දුරට බලපා ඇතැයි කීවොත් එහි වරදක් නැත.

මෙවැනි අසංගත, අපබ්‍රංස කතා කී කිසිවෙකු මහල්ලෙකු නොවීමත් කැපීපෙනෙයි. පසුගිය වසර තුන හතරක කාලය තුළ සමාජ ආකර්ශණය දිනාගත් තවත් සටන්පාඨයක් වන්නේ එයයි. එනම්, මහල්ලන් වෙනුවට තරුණයන් රාජ්‍ය පාලනයට සහභාගී කරගැනීම මගින් බොහෝ ව්‍යාධි සුව කරගත හැකි බවයි. එසේ වුවද, රාජ්‍ය බලය ලබාගැනීමෙන් පසුව ගත වූ මාස හතේ සහ ඊට කලින් ආසන්නතම වකවානුවේ, සමාජ ආන්දෝලනට තුඩුදුන් සෑම අසංගත ප්‍රකාශයක්ම කර ඇත්තේ ‘හිරිමල්’ තරුණ තරුණියන් ය. ‘ඕනෑම බොරුවක් කීමට අයිතියක් ඇතැ’ යි කී කටින්ම, තමාට එරෙහිව කී බොරුවකට විරුද්ධව සී.අයි.ඩී. ගොස් ප්‍රකාශයක් සටහන් කෙළේ එවැනි තරුණියකි. තම පක්ෂයේ ඡන්ද පදනම නායයාමේ හේතුව, අරක්කු හෝ වෙනත් සිල්ලර අල්ලසකට ලඝු කෙළේද තරුණ රාජ්‍ය ඇමතිවරයෙකි. පෝලිම් නැති කෙළේ තමන් බලයට පත්වීමෙන් පසුව යැයි කීවේද තවත් තරුණ ඇමතිවරයෙකි. වැදගත්ම කාරණය වන්නේ, මෙකී සියල්ලන්ම, සම්මත අර්ථයෙන් ගත් විට, උපාධිධාරීන් සහ නීතිඥයන් වැනි සහතිකධාරී උගතුන් වීමයි. ඒ මගින් බිඳ වැටෙන්නේ තවත් මිථ්‍යාවකි. එනම්, බදුල්ලේ චාමර සම්පත් වැනි නූගතුන් වෙනුවට රංවල වැනි උගතුන්ගෙන් සමන්විත පාලන තන්ත්‍රයක ඇති සෝබාවයි!

ලිපියේ ඊළඟ කොටසට යාමට මත්තෙන්, මේ ආණ්ඩුවෙන් බැගෑපත්ව ඉල්ලා සිටිය යුතු එක දෙයක් තිබේ. එනම්, වෙන මොනවා කළත්, මෙරටේ නූතන පරපුර දැන් කාලයක සිට ආදරයෙන් පෝෂණය කරගෙන පැමිණි පුරුෂාර්ථ සහ සමාජ වටිනාකම් පිළිබඳ ප්‍රාර්ථනා සිහිනය නිස්කාරණේ විනාශ නොකරන ලෙසයි. මහපරිමාණ හොරුන් සහ අපරාධකරුවන් අල්ලා හිරේ දැමීම වැනි ජනප්‍රිය සටන්පාඨ මේ වන විට පුස්සක් වෙමින් ඇති මට්ටමට, උගතුන්ට සහ තරුණයන්ට සහ අවංක නායකත්වයකට මේ රට ගොඩනැඟීම කෙරෙහි විශාල විභවයක් ඇතැයි යන සැබෑ සිහිනයත් විනාශ නොකරන ලෙසයි. නාමල් රාජපක්ෂ හෝ දිලිත් ජයවීර වැනි තක්කඩියෙකුට මිස වෙන කිසිවෙකුට මේ රට ගොඩගත නොහැකිය යන මායාව යළිත් සමාජගත කිරීමට මොන අයුරින්වත් දායක නොවන ලෙසයි.

රාජපක්ෂාලා සමග එකගෙයි කෑමට අකමැතිවූ සජිත් අද ?

ජේ. ආර්. ජයවර්ධන තරමටම නැතත්, වෙනත් අර්ථයකින්, ගෝඨාභය රාජපක්ෂත් අපට හමු වුණු එක් යුග විපරිකාරිකයෙකි. මෙරට දේශපාලනික ඉතිහාසයේ හීනෙන් පවා සිතිය නොහැකි විභවයන් දෙකක් ඔහු මෙරටට විවර කර දුනි. එකක් වන්නේ, තව ආත්ම ගණනකින්වත් රාජ්‍ය නායකත්වයට පත්විය නොහැකිව සිටි රනිල් වික්‍රමසිංහව ‘ඒහි භික්ෂු භාවයෙන්’ මුල් පුටුවේ හිඳුවීමයි. ඒ අරුම පුදුම රාජ්‍යත්වය තනිකරම පදනම් වුණේ පුද්ගල සාධකය මතයි. ඒ නිසාම එය අසාර්ථක වුණි. එම අසාර්ථකත්වය විසින් පෙරළා ඇති කළ සාර්ථකත්වය, ජාතික ජන බලවේග ආණ්ඩුවක්, මහා සමාජ ව්‍යාපාරයක් වශයෙන්, බලයට ඔසවා තැබීය. ඇත්තෙන්ම ගත්තොත්, රනිල් වික්‍රමසිංහගේ සහ අනුර කුමාර දිසානායකගේ පියා, ගෝඨාභය රාජපක්ෂයි. ගෝඨාභය රාජපක්ෂගේ අන්ත අසාර්ථකත්වය, රනිල් වික්‍රමසිංහ නමැති පුද්ගල සාධකයටත්, අනුර කුමාර දිසානායක නමැති සමාජ සාධකයටත්, වෙස්වළාගත් ආශීර්වාදයක් විය. තව බොහෝ කාලයකට, සියයට තුනේ හෝ පහේ ඡන්ද පදනමක රස්තියාදුවේ යාමට නියමිතව සිටි පක්ෂයක්, අලුත් සමාජ/දේශපාලන බලවේගයක් වශයෙන් ගොඩනැඟීමට අහම්බෙන් ලැබුණු ඒ මහඟු අවස්ථාව යම් හෙයකින් නාස්ති කරගත්තොත්, එය ඉතිහාසගත වනු ඇත්තේ මහා අපරාධයක් වශයෙනි. ඒ නිසාම මේ ආණ්ඩුව අප විසින් ආරක්ෂා කරගත යුතුව තිබේ.

පළාත් පාලන මැතිවරණයෙන් සියල්ලෝම පැරදී ඇති සිටිත්. එහෙත්, ඒ පරාජිතයන් අතරේ, සමස්තයක් වශයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව ජයගෙන ඇති බව පිළිගැනීමට එය බාධාවක් නොවේ. අවසාන පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල සමග සසඳන විට, ජාතික ජන බලවේගයට මෙවර ඡන්ද විසිතුන් ලක්ෂයක් අහිමි වී ඇති බව ඇත්ත. එහෙත්, වැඩිම ආසන සංඛ්‍යාවක් සහිතව වැඩිම ආයතන සංඛ්‍යාවක පෙරමුණේ සිටින්නේ ඔවුන් ය. ඒ අතරිනුත්, ආයතන 100 ක තනියෙන් බලය පිහිටුවීමට තරම් ඔවුන් ශක්තිමත් ය. ඉතිං, ඒ ඒ ආයතනවල බලය පිහිටුවීම යන කාරණයේදී, වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගෙන ඇති මුත්, බලය පිහිටුවීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක් නැති සෑම තැනකම, ප්‍රතිපත්තිමය වශයෙන් විශාල පසමිතුරුකම් නැති වෙනත් පාර්ශ්ව සමග සන්ධානගත වීමෙන් ඒ ආයතනයන්හි පරිපාලන බලය පිහිටුවීමට අයිතියක් එම පක්ෂයට තිබේ. එසේම එම අයිතියම වෙනත් පක්ෂවලටත් ඇති බව ආණ්ඩුව පිළිගත යුතුය.

මේ ප්‍රතිඵල මත පදනම්ව ඉදිරි සතියේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන සැටි බලා සිටීම අසුන්දර දසුනක් වෙනවාට කිසි සැකයක් නැත. උදාහරණයක් වශයෙන්, කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය රාජපක්ෂලාගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග අත්වැල් බැඳගනීදැයි බලා සිටීම වැදගත් ය. ලැබෙන ආරංචි හැටියට, මේ  (14) දින රැස් වී ඇති විපක්ෂ කඳවුර, ආණ්ඩුවට එරෙහි පොදු පෙරමුණක් සඳහා එකඟ වී තිබේ. දැන් එතකොට, අඩු වශයෙන් 2010 සිට, විශේෂයෙන් 2015 සිට රැකගෙන ආ අර රාජපක්ෂ-විරෝධී දේශපාලන ගමන අවසන්ද?

මතක තියාගන්න: සතුරා හමුවන්නේ පොදු සතුරාට කලිනි

මෙම රැස්වීම කැඳවා ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි. පළාත් පාලනය සම්බන්ධයෙන් රාජපක්ෂලා සමග මෙසේ ඔහු අත්වැල් බැඳගැනීම අරුමයක් නොවේ. ගෝඨාභය රාජපක්ෂගෙන් ලැබුණු අගමැති/ජනාධිපති ජිමිකානාව දෝතින් බදාගත් රනිල් වික්‍රමසිංහට, පළාත් පාලනයේදී ඔවුන් සමග එකතු වීම කෙසේ නම් මහ කජ්ජක් වන්නද! එහෙත්, එදා ගෝඨාභය ආණ්ඩුවේ අගමැතිකම රනිල් වික්‍රමසිංහ එසේ දෝතින් භාර ගනිද්දී, රාජපක්ෂලා සමග එකගෙයි කෑමට ඇති අකමැත්ත නිසා අගමැතිකම භාර නොගත් සජිත් ප්‍රේමදාසට, පළාත් පාලනය සම්බන්ධයෙන් ඔවුන් මිතුරු සගයන් විය හැක්කේ කෙසේද? අද රැස් වී ඇති පිරිස දෙස බලන්න: රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, මහින්ද යාපා අබේවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක සහ නිමල් ලංසා වැන්නන් සමග සමගි ජන බලවේගය! දිලිත් ජයවීරත් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීලු.

මතක තියාගන්න: සතුරා හමුවන්නේ පොදු සතුරාට කලිනි. සතුරෙකු, පොදු සතුරෙකු වන්නේ, ඔහු/ඇය සියල්ලන්ගේ පරම සතුරෙකු වූ විටයි. දැන්, ඉහත කී පිරිස ගැන සිතන්න: රනිල් වික්‍රමසිංහ ගැන විශාල හාහෝවක් ඇති කළ බටලන්ද කොමිෂන් වාර්තාවක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. එසේ වූ පමණින්, එහි එක් චූදිතයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ නීතිය ඉදිරියට පැමිණවෙතැයි ඈතින්වත් හිතාගැනීමේ ඉඩක් තිබේද? එසේ නම්, මේ ආණ්ඩුව තමාගේ සතුරෙකැයි සිතීමට රනිල් වික්‍රමසිංහට ඇති හේතුව කුමක්ද? නාමල් රාජපක්ෂගේ පියා සහ පුංචි බාප්පා ගැනත්, (පිටරට සඟවා ඇතැයි කී ප්‍රකෝටි ගණන් වන ජාතික සම්පත්), අම්මා ගැනත් (තාජුඩීන් ඝාතනය), ලොකු බාප්පා ගැනත් (මිග් යානා ගනුදෙනුව), මේ ආණ්ඩුව කිසිවක් කරතියි සිතීමට තරම් හේතු කාරණා තිබේද? උදය ගම්මන්පිල මේ රටේ ඇති කළ ජාතිවාදී සහ ආගම්වාදී විනාශකාරීත්වය ගැන සොයා බැලීමට මේ ආණ්ඩුව පේ වෙතැයි සිතිය හැකි විශේෂ හේතුවක් තිබේද? මහින්ද යාපා අබේවර්ධනගේ අප්‍රමාණ දූෂිත ක්‍රියාවන්ට අමතරව, අඩු වශයෙන්, දේශබන්දු තෙන්නකොන් පොලිස්පති කිරීමට කතානායකවරයා වශයෙන් ඔහු ගැසූ දහංගැටය ගැනවත් මේ ආණ්ඩුවෙන් විමර්ශනයක් එතැයි සිතීමට හේතුවක් තිබේද?

වර්තමාන ආණ්ඩුව ‘පොදු සතුරෙකු’ වීමට තරම්, මේ ගත වූ මාස හත තුළ ආණ්ඩුව පැත්තෙන් කිසි හේතුවක්, ඉහත කී කිසිවෙකුට පුද්ගලික මට්ටමින්වත්, රටට සහ සමාජයට පොදුවේවත් සැපයී නැත. ඊටත් වඩා, ආණ්ඩුව ‘පොදු සතුරා’ වශයෙන් සලකමින්, රාජපක්ෂවාදය නමැති සැබෑ සතුරා සහ ගම්මන්පිල වැනි අන්ත ජාතිවාදීන් සහ ආගම්වාදීන් සමග එකට අත්වැල් බැඳගෙන දීගයෑමට කොහෙත්ම හේතුවක් ප්‍රධාන විපක්ෂයට නැත. මෙවැනි සන්ධානයක්, කලකට කලින් උදුරා දැමුණු රාජපක්ෂවාදය යළි පැළ කරවීම අරමුණු කරගත්, සහේතුක ප්‍රතිෂ්ඨාවකින් තොර, අශුද්ධ සන්ධානයක් මිස වෙනකක් විය නොහැක්කේ එබැවිනි.

| ගාමිණී වියන්ගොඩ 
| ගාමිණී වියන්ගොඩ 

 

 

 

 

 

සැ. යු: චාමර සම්පත් ගැන සඳහන් වැකිය, වෙනත් අර්ථයක් ධ්වනිත කිරීම සඳහා මිස, ඔහු පිළිබඳ අවඥාවකින් ලියූවක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඇත්තෙන්ම ඔහු, සහතිකධාරී බොහෝ උගතුන්ට වඩා උගතෙකි.

Leave A Comment