පළාත් සභා පනත සඳහා යෝජිත වෙනස්කම් මොනවාද ?

“පළාත් සභා පනත සඳහා යෝජිත වෙනස්කම්” යන තේමාව යටතේ සංවාදය සඳහා නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු ලේකම් කේ.ඒ. තිලකරත්න මහතා සහභාගී වූ අතර ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය විසින් සංවාදය මෙහෙයවනු ලැබීය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් කථිකාව වැඩසටහන යටතේ මෙම සංවාදය සංවිධානය කර තිබුණි.

 

පළාත් සභා ක්‍රියාත්මක කිරීම රටේ සිවු දෙසම ඡන්දය දුන් බව කියන මේ ආණ්ඩුවේ වගකීමක් – ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක

ජාත්‍යන්තර ද්විපාර්ශ්වික ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස ස්ථාපිත වූ පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් සිංහල සමාජය තුළ යහපත් ආකල්පයක් නොමැති බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක “පළාත් සභා ක්‍රමය සුදු අලියෙක්” යැයි විවේචනය කරමින් පළාත් සභා ක්‍රමයට කොතරම් විරුද්ධ වුව ද එය අහෝසි කිරීම ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් බව සඳහන් කළේ ය.

මෙම තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් ශිරාල් මෙසේ ද පෙන්වා දුන්නේ ය. අවශ්‍ය නම් පළාත් සභා මේ තිබෙන ලෙස අක්‍රිය තත්ත්වයේ තියා ගන්න පුළුවන්. නමුත් එය අහෝසි කිරීම නම් හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මේ පසුබිම මත සිට තමයි පසුගිය මාසේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා 1987 අංක 42 දරන පළාත් සභා පනත 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන) පනත සහ බලතල පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්) පනත සංශෝධනය කිරීම සඳහා ඉල්ලා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළේ. දැන් ආණ්ඩුවට අවශ්‍ය නම් පුළුවන් මේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එහිදී සම්මත කරගෙන අවශ්‍ය පියවර ගන්න. එහෙම නැතිනම් මාස හයකට පසු මේ යෝජනාව ගැන විවාද කරලා ඉදිරියට යාමට හැකියාව තිබෙනවා. නමුත් අපි එසේ කළ යුත්තේ ඇයි ? අපි ඒ ගැන ගැඹුරින් සොයා බැලිය යුතුයි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේ තනි කැමැත්තට නොව වසර ගණනාවක් පුරා සිදු වුණ අදහස් විමසීමකින් පසුව බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සියලුම දෙමළ දේශපාලන පක්ෂ සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එම දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟත්වය පළ කළ බවත් පෙන්වා දුන්නේ ය.

අපට පළාත් සභා අවශ්‍ය ඇයි ?

අපට පළාත් සභා අවශ්‍ය ඇයි? යන ප්‍රශ්නය දෙස කෝණ දෙකකින් බැලිය හැකිය. ඒ මතවාදී පදනම සහ සංවර්ධනයේ අර්බුදය යන කෝණ දෙක මත පදනම්ව ය. මතවාදී පදනම අනුව 1987 දී ඉන්දිය රජය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තබන ලද ඉන්දු – ලංකා ගිවිසුම අනුව පළාත් සභා ස්ථාපිත විය. එයට අවශ්‍ය මතවාදී පදනම ලංකාවේ ක්‍රියාත්මක වන ජනවාර්ගික දේශපාලනය තුළින් ඉදිරිපත් වූ අතර පළාත් සභා ක්‍රමය ආරම්භයේ සිටම දැඩි විවේචනයට ලක්විය.

ලංකාවේ ජීවත් වන සුළු ජනවර්ග අතර පවතින දුක්ගැනවිල්ලක් තමයි ඒකීය රාජ්‍ය සංකල්පය තුළ තමන්ගේ දේශපාලන නිදහස මග හැරෙනවා කියන එක. මේ දුක්ගැනවිල්ල එක් කාලයක සිවිල් අරගලයක් වුණා. ඊට පස්සේ සිවිල් යුද්ධයක් බවට පත් වුණා. මේ අතර මේ දුක්ගැනවිල්ලට ප්‍රතිචාර ලෙස පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළත් මේ වන විට එම ක්‍රමය කඩාවැටිලා තිබෙනවා ශිරාල් ලක්තිලක පෙන්වා දුන්නේ ය.

දේශපාලන අස්ථාවරත්වය ආර්ථික අස්ථාවරත්වයට ද හේතු වූ බව පැහැදිලි කළ ශිරාල් යුද්ධ දෙකකට අපි වියදම් කළ මුදල බොහෝ දෙනකු අමතක කරන බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ 225 රට විනාශ කළා කියන පිරිස අපි යුද්ධ දෙකකට මුහුණ දුන්නා කියලා අමතක කරනවා. අපි යුද්ධ කළේ ණයට. මේ කාරණා අමතක කරලා තමයි අපි අද බංකලොත්භාවයෙන් මිදීම ගැන කතා කරන්නේ ශිරාල් යළිත් අවධාරණයෙන් සිහිපත් කළේ ය.

සංවර්ධනයේ අර්බුදය

ලංකාවේ තිබෙන්නේ සංවර්ධනයේ අර්බුදයකි. කොළඹින් බැහැර ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කිරීමට ස්ථානයක් හෝ නැත. උදාහරණයක් ලෙස මැතිවරණ කොට්ඨාශ 160හි එක ප්‍රශ්නය බැගින් පාර්ලිමේන්තුවේ කතා කළ ද ඒ සඳහා පාර්ලිමේන්තු නිල කාලය ප්‍රමාණවත් නොවේ.

මේ අර්ථයෙන් ගත්තත් ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න යම් ආයතන ව්‍යුහයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට කොළඹට පැමිණෙනවා වෙනුවට ඒ ප්‍රශ්න ප්‍රාදේශීය වශයෙන් විසඳා ගැනීමට ආයතනයක් අවශ්‍යයි. 21 වැනි සියවට පැමිණියත් බලය විමධ්‍යගත කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් මේ දක්වා තිබෙනවා. ඒ අනුව ලංකාවට සංවර්ධනයේ දෙවැනි තලයක් අවශ්‍ය වෙලා තිබෙනවා පළාත් සභා ක්‍රමයේ අවශ්‍යතාව අවධාරණය වන නව මානයක් පැහැදිලි කරමින් ශිරාල් පෙන්වා දුන්නේය.

පළාත් පාලන ආයතන යනු සංවර්ධනයේ දෙවැනි තලයක් නොව තෙවැනි තලයක් බවත් එහි පරිමාව වෙනස් බවත් ඔහු මෙහිදී පැහැදිලි කළේ ය.

තර්කයක් ලෙස අපට කියන්න පුළුවන් ලංකාව සුඛිත මුදිත වෙන්න නම් දෙවැනි තලයේ සංවර්ධන ඒකකයක් ලෙස පළාත් සභාව ගොඩනැගිය යුතුයි ශිරාල් යළි අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ නීති ව්‍යුහය අනුව විදෙස් රටක් හෝ සංවිධානයක් සමඟ අත්සන් කරනු ලබන ගිවිසුමක් එසැණින් නීතියක් බවට පත් නොවේ. එය නීතියක් බවට පත්වීමට නම් ව්‍යවස්ථාදායකය විසින් සම්මත කළ යුතුය. ඒ අනුව පළාත් සභා ක්‍රමය බිහි කිරීමට අවශ්‍ය නෛතික පසුබිම නිර්මාණය කළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කළේය. ඒ අනුව ජනාධිපතිවරයා සතු බලය පළාත් සභා වෙත විමධ්‍යගත කිරීමක් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදුවිය.

මේ අර්ථයෙන් ගත්විට පළාත් සභා කියන්නේ බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් නොවෙයි. එය බලය විමධ්‍යගත කිරීමේ ආකෘතියක්. ඒ අනුව ජනාධිපතිවරයා සතු බලතල පළාත් ආණ්ඩුකාරවරයාට ලබා දෙනවා. ඒ අනුව මුදල් පරිපාලන සහ හදිසි අවස්ථාවකදී කටයුතු කරන ආකාරය ඇතුළු බලතල පළාත් ආණ්ඩුකාරවරයාට ලබාදී තිබෙනවා. පළාත් මහ ඇමැති සහ මන්ත්‍රීවරු කියන්නේ ආණ්ඩුකරවරයා යටතේ ගොඩනගා තිබෙන අයිසිං එකක් විතරයි. ආණ්ඩුකාරවරයා බැහැ කිව්වොත් පළාත් සභාවේ කිසිම දෙයක් කරන්න බැහැ. එහි අදහස තමයි පළාත් සභාවේ මහ ඇමතිවරයා කියන්නේ ආණ්ඩුකාරවයා යටතේ ක්‍රියාත්මක වන නිලධාරියෙක් පමණයි.

එකම වෙනස තමයි ඔහු මහජන ඡන්දයෙන් තේරී පත්වන කෙනෙක් වීම. මෙන්න මේ ප්‍රශ්නය මෙහෙමම තිබිය දී 13 වැනි සංශෝධනයෙන් එහාට යන්න අපිට කවදාවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 13 ප්ලස් දෙන්න ජනමත විචාරණයකින් නම් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි මගේ පුද්ගලික මතය. ඒකට හේතුව තමයි 13 ප්ලස් දෙන්න සිංහල සමාජය සහ දමිළ සමාජය එකට එකතු වෙන්නේ නැහැ ශිරාල් තම අදහස තව දුරටත් පැහැදිලි කරමින් සඳහන් කළේ ය.

එකම ක්‍රමය 13 වැනි සංශෝධනය

බලය විමධ්‍යගත කිරීම සඳහා රට හමුවේ පවතින එකම ක්‍රමය 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පමණක් බව අප පිළිගත යුුතුය. පළාත් සභා ක්‍රමය යටතේ ලැයිස්තු 03ක් තිබේ. එක ලැයිස්තුවක මධ්‍ය ආණ්ඩුව සතු බලතල ද, අනෙක් ලැයිස්තුවේ පළාත් සභා සතු බලතල ද ඇති අතර සමාගමී ලැයිස්තුව නම් අනෙක් ලැයිස්තුවේ මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව විසින් ක්‍රියාත්මක කළයුතු බලතල තිබේ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙම බලතල ලබා දුන් පසු එම බලතල ක්‍රියාත්මක කිරීමේ කාර්ය පටිපාටිය දක්වන ලද පනත වන්නේ 1987 අංක 42 දරන පළාත් සභා පනත ය. 13 වැනි සංශෝධනය මඟින් ලබාදී ඇති බලතල ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳව මෙම පනත මඟින් විධිවිධාන සලසා තිබේ.

දැන් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාවෙන් කරන්නේ මම ඉහත සඳහන් කළ කාර්ය පටිපාටිය කාර්යක්ෂම කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පමණයි. ඒ නිසා මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගැනීමට පුළුවන්. අනෙක් කරුණ තමයි 13 වැනි සංශෝධනයේ තිබෙන ව්‍යාකූල සහ සංකීර්ණ වගන්ති දෙකක් වන ඉඩම් සහ පොලිස් බලතල. ඉඩම් සහ පොලිස් බලතල සම්බන්ධ සංශෝධන කරන්න පුළුවන් වෙන්නේ. පසුගිය ආණ්ඩුව ජාතික ඉඩම් කොමිසමක් පත් කිරීමට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ සංශෝධනවල ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් මම කලින් සඳහන් කළ ආණ්ඩුකාරවරයාට අයත් බලතල පිළිගනිමින් ඊට පටහැනි නොවෙමින් ඒ බලතල මහ ඇමැතිවරයා ප්‍රමුඛ පළාත් සභා අමාත්‍ය මණ්ඩලයට පවරන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් තමයි මේකේ නීති හදලා තියෙන්නේ. ඒ වගේම මුදල් බලතල තිබෙන්නේ ආණ්ඩුකාරවරයාට. ආණ්ඩුකරවරයා තමයි පළාත් අයවැය හදලා ඉදිරිපත් කරන්නේ. ඊට පසුව සම්මත කළ ප්‍රඥප්තියට අනුව මහ ඇමැතිවරයාට පළාත්සභා අරමුදලින් මුදල් ලබා ගන්න පුළුවන්. නමුත් එය සිදුවිය යුත්තේ ආණ්ඩුකාරවයාගේ අභිමතයට යටත්ව පමණයි. එසේම පළාත් පරිපාලන සේවයට නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම හා විනය කටයුතු සම්පූර්ණයෙන් ම තිබෙන්නේ ආණ්ඩුකාරවරයා යටතේ. පළාත් ආණ්ඩුකාරවරයා විසින් තමා සතු බලතල පළාත් රාජ්‍ය සේවා කොමිසමට විමධ්‍යගත කරලා තිබෙනවා. ඒහිදී ප්‍රධාන ලේකම්වරයා ඉන්නේ ආණ්ඩුකාරවරයා යටතේ මිස පළාත් සභාවේ මහ ඇමැතිවරයා යටතේ නොවෙයි, ශිරාල් ලක්තිලක මහතා පළාත් සභාව තුළ ආණ්ඩුකාරවරයාගේ බලතල සහ කාර්යභාරය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සඳහන් කළේය.

හදිසි තත්ත්වයක් යටතේ පළාත් සභාවක් සතු බලතල පාර්ලිමේන්තුවට යළි පවරා ගත හැකිය. එසේම යම්කිසි හදිසි අවස්ථාවකදී පළාත් සභාව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකිය. නමුත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ යෝජනා තුළ මේ සම්බන්ධයෙන් සඳහන් නොවේ. ඒ අනුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව හුදෙක් කාර්යපටිපාටිමය කාර්යක්ෂමතාව පුළුල් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස සැලකිය හැකිය. මෙහිදී 1989 අංක 12 දරන අනුෂාංගික විධිවිධාන පනත වැදගත් වේ.
සමහරු කියනවා පළාත් සභාවල දකුණතින් දුන් බලතල වමතින් ගන්නවා කියලා. මේ ව්‍යාකූලත්වය ඇතිවෙලා තිබෙන්නේ ඉහත දක්වන ලද 1989 අංක 12 දරන අනුෂාංගික විධිවිධාන පනත හේතුවෙනුයි. ඒ වගේම සමගාමී ලැයිස්තුව හේතුවෙනුයි පළාත් සභා ක්‍රමය ව්‍යාකූල වෙලා තිබෙන්නේ. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ යෝජනා මාලාවේ 3.2 යටතේ මේ ව්‍යාකූලත්වය අහෝසි කරලා ශුද්ධ කරලා දීලා තිබෙනවා. මෙම තත්ත්වය තුළ පළාත් සභාවේ කාර්යක්ෂමතාව ඇති වෙනවා. පළාත් සභාව සුදු අලියෙක් වෙන්නේ නැහැ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක පෙන්වා දුන්නේය.

මෙහිදී ශිරාල් ලක්තිලක පෙන්වා දුන්නේ 13 වනි සංශෝධනය මඟින් පළාත් ආණ්ඩුකාරවරයා වෙත ප්‍රධාන බලතල තුනක් පවරා දී ඇති බවයි. ඒ අනුව ප්‍රඥප්ති ක්‍රියාත්මක කිරීම,පළාතේ පරිපාලනය සහ පළාත් ප්‍රතිපත්ති සම්පාදනය ආණ්ඩුකාරවරයා සතු ප්‍රමුඛ බලතල වේ.

මේ අනුව අපට පැහැදිලි වෙනවා මහ ඇමැතිවරයා කියන්නේ නාමික තනතුරක් බව. දැන් අපි යෝජනා කරන්නේ නිශ්චිත ක්‍රියාපටිපාටියකින් යුතුව ආණ්ඩුකරවරයා සතු බලතල මහ ඇමතිවරයා ප්‍රමුඛ පළාත් සභාවේ කැබිනට් මණ්ඩලයට පවරා දිය යුතු බවයි. ඒ සඳහා දැන් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අනුව ආණ්ඩුකාරවරයාට බලතල තිබෙන බව පිළිගනිමින් අපි ආණ්ඩුකාරවරයාට ක්‍රියාපටිපාටියක් හඳුන්වා දෙනවා. මහ ඇමැතිවරයාටයි පළාත් අමාත්‍යවරයාටයි ආණ්ඩුකාරවරයා සතු බලතල භාර දෙනවා. පළාත් සභාවේ පරිපාලනය සම්බන්ධයෙන් කටයුතු සිදුවිය යුත්තේ මේ ආකාරයටමයි. පළාත් සභාව පාලනය කළ යුතු වන්නේ මහජන ඡන්දයෙන් තේරී පත්වුණ මහ ඇමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයකින් වුවත් දැන් සිදුවන්නේ ආණ්ඩුකාරවරයා විසින් එම පරිපාලන කටයුතු මෙහෙය වීමයි. මේ තත්ත්වය තුළ අර්බුද නිර්මාණය විය හැකියි. මේ නිසා අපි කියන්නේ ආණ්ඩුකාරවරයාට ඇති බලතල අපි පිළිගන්නවා. නමුත් පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා පළාත් මහ ඇමැතිවරයාට වගකිව යුතු තත්ත්වයක් නිර්මාණය කළ යුතුයි. නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම සහ විනය පරීක්ෂණ සම්බන්ධ තත්ත්වය ද මීට සමානයි අපි කියන්නේ ආණ්ඩුකාරතුමනි, ඔබ මේකට අත දානන් එපා කියලයි. මූල්‍ය පාලනය සම්බන්යෙන් ද කටයුතු සිදුවිය යුත්තේ ඉහත දක්වන ලද ආකාරයටමයි. අපි කියන්නේ මූල්‍ය බලතල පවා නිසි පරිදි විමධ්‍යගත කළ යුතු බවයි.මෙහිදී ශිරාල් ලක්තිලක පෙන්වා දුන්නේ පළාත් සභා ක්‍රමය මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ මූල්‍ය තත්ත්වය බවයි.
පළාත් සභාවක අදායම එකතු වන ප්‍රධාන ප්‍රභවයන් තුනකි. ඒ බදු ආදායම, මධ්‍යම ආණ්ඩුවෙන් ලබා දෙන ප්‍රදානයන් සහ ණයයි. නමුත් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් පළාත් සභාවලට බදු අය කර ගැනීමට ඇති බලතල නවතා දැම්මේය.

මූල්‍ය විමධ්‍යගතකරණය තමයි දේශපාලන ප්‍රශ්නයේ හරය වෙන්නේ. එම පළාත තුළ බදු එකතු කර ගැනීමට පළාත් සභාවලට බලය ලබා දෙන්නේ ඒ නිසයි. නමුත් පළාත් සභා සතු එම අයිතිය අහෝසි කරලා තිබෙනවා. පළාත් සභාවලට ලැබෙන ප්‍රදානයන් පළාත් සභාවක් සතු ප්‍රධාන බලයක් වුවත් පළාත් සභා අතර විවිධත්වයක් තිබෙන නිසා මේක යම් පමණකට සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය කරනවා. උදාහරණයක් ලෙස මුදල් කොමිසමෙන් ප්‍රදානයන් වෙන් කරන කොට පළාතේ ජනගහනය තමයි මූලිකව සලකා බලන්නේ. මෙහිදීත් වැඩිපුරම ප්‍රදානයන් හිමිවෙන්නේ බස්නාහිර පළාත් සභාවට. ජනගහනය අඩු පළාත් සභාවලට හිමිවෙන්නේ අඩු ප්‍රදානයන් ප්‍රතිශතයක්. අපි මේ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරලා තිබෙනවා. අපි මේ ආකාරයෙන් පළාත් සභාව කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් කතා කරනවා. ශිරාල් තව දුරටත් පැහැදිලි කළේය.
තරඟකාරී බලය බෙදීමක් වෙත නොව ශ්‍රී ලංකාව සමූපකාරමය ක්‍රියාපටිපාටියකට යා යුතුය. එහිදී පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සම්මේලනය ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සම්මේලනය ඉතා වැදගත් වේ. ඔවුන් මධ්‍යම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සමඟ යහපත් ගනුදෙනුවක නිරත වීම ද වැදගත් වන අතර එවැනි සාධනීය ප්‍රවේශයක් තුළින් ප්‍රතිපත්තිමය ගැටුම් ඇතිවීම වළක්වා ගත හැකිය.

සමස්තයක් ලෙස ගත්විට දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ යෝජනාවේ තිබෙන්නේ පළාත් සභාවේ කාර්ය පටිපාටිය ශක්තිමත් කිරීමේ යෝජනා මාලාවක්. ඒක කිසිසේත්ම රට බෙදන්නවත් දෙමළ හෝ මුස්ලිම් ජාතිකයින්ට විශේෂ ස්ථානයක් ලබා දෙන්න සකස් කළ යෝජනාවලියක්වත් නොවෙයි. ඒක අපි මීට ඉහතින් සාකච්ඡා කළ දෙවැනි තලයේ සංවර්ධනය මීට වඩා ශක්තිමත් කිරීමට සුදුසු වන ආයතන පද්ධතිය (පළාත් සභාව) තව දුරටත් ශක්තිමත් කිරීමට ගෙන ආ යෝජනාවක්. අපි විශ්වාස කරන ආකාරයට ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත් වීමට පෙර දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ යෝජනාවලිය සම්මත කර ගෙන තිබුණොත් පළාත් සභා මන්ත්‍රීවරුන්ට ශක්තිමත් හා විශ්වාසදායක ලෙස තමන්ගේ සේවය ලබාදිය හැකියි. ශිරාල් ලක්තිලක මහතා වැඩි දුරටත් පැහැදිලි කළේය.

අවසාන වශයෙන් මම කියන්නේ දැන් යාපනයේ ජනමතයත් වෙනස් වෙලා. මම හිතන්නේ නැහැ දැන් ඔවුන් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කටයුතු කරයි කියලා. මේකට අනුබල දෙන සටන් පාඨ දැන් උතුරේ දමිළ ජනතාව අතර වලංගු නැහැ. ඒ වගේම යාපනයේ මධ්‍යම පංතියෙන් පෙඩරල් සටන් පාඨයත් මේ වන විට ක්‍රමයෙන් අත්හැරෙමින් තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ අවම කොන්දේසියක් ලෙස වත් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීම මේ රටේ අනාගතයට කරනු ලබන ආයෝජනයක් හැටියට අපි විශ්වාස කරනවා. ඒක යථාර්ථයක් කිරීම සියලු ජනවර්ගවල ඡන්ද බලයෙන් පත් වුණ වත්මන් ආණ්ඩුවේ වගකීමක්. ශිරාල් ලක්තිලක අවධාරණය කළේය.
මෙහිදී ඔහු පෙන්වා දුන්නේ සමානාත්මතාවය තුළින් පමණක් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා නම් ඒක මුළාවක්. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අවම කොන්දේසිය ලෙසවත් පළාත් සභා ක්‍රමය සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම සිවිල් සමාජයෙන් ඉල්ලා සිටිනවා දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ යෝජනාව ඉදිරියට ගෙන යන ලෙස ආණ්ඩුවට බල කරන්න කියලා.

පළාත් සභා සතු බොහෝ බලතල මධ්‍ය ආණ්ඩුව විසින් ග්‍රහණය කරගෙන – උතුරු මැද පළාත් සභාවේ හිටපු ලේකම්, කේ.ඒ. තිලකරත්න

පළාත් සභාවල ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන්නේ කවුරුන් විසින් ද? යන ප්‍රශ්නය තිබෙන බව කියමින් සංවාදයට එක් වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ලේකම්, කේ.ඒ. තිලකරත්න මහතා පළාත් සභා විෂය සම්බන්ධ විශේෂඥතාවයකින් යුත් නිලධාරීන්ගේ දැඩි හිඟයක් පවතින බව ද හෙළි කළේ ය.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස පළාත් සභා අධ්‍යයන කේන්ද්‍රයක් ස්ථාපිත කරන මෙන් තමා කාලයක් පුරා ඉල්ලීම් කළත් එය ප්‍රායෝගිකව ඉටු නොවූ බව ද මෙහිදී තිලකරත්න මහතා සඳහන් කළේය.

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය ගත්තත් එම අමාත්‍යාංශය තුළින් ද පළාත් සභා ප්‍රතිපත්ති සම්පාදනයට අවධානය යොමු කිරීම ඉතාම අඩුයි. හැම පළාත් සභාවකම සැලසුම් අංශ සහ හොඳ පුහුණු අංශයක් තිබුණත් ඒ තැන්වලිනුත් ප්‍රතිපත්ති සම්පාදනයට සැලකිය යුතු දායකත්වයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මුදල් කොමිෂන් සභාවට එවැනි බලතල තිබුණත් ඔවුන් විසින් ගන්නා වූ තීරණ හා ප්‍රතිපත්ති සම්පාදනයෙනුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමක් සිදුවෙන්නේ නැහැ. උදාහරණක් ලෙස, පළාත් සභාවලට මුදල් වෙන් කරන විට මුදල් කොමිෂන් සභාවේ නිර්‌දේශ අත්‍යවශ්‍ය වුණත් මුදල් කොමිෂන් සභාව විසින් ලබා දෙන නිර්දේශ සැලකිල්ලට ගැනීම ඉතාම අවම මට්ටමක තමයි තිබෙන්නේ.

පළාත් සභාවල කාර්යසාධනය

නිසි මග පෙන්වීමක් හෝ ප්‍රතිපත්ති සම්පාදනයක් සිදු නොවන අවස්ථාවක පළාත් සභා විසින් සිය කාර්යසාධනය උපරිම ලෙස කරගෙන යන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් ගැටලු පවතී. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීම ආරම්භ වූ 1987 සිට පළාත් සභා බලතල හා සම්බන්ධ පනත් අවස්ථා ගණනාවක දී සංශෝධනය වී ඇත. ඒ අතර පළාත් සභා විසින් ද තම තමන්ට අනන්‍ය වූ ප්‍රඥප්ති සම්පාදනය කර ගත්ත ද මේ දක්වා පළාත් සභා පිහිටුවීමේ මුඛ්‍ය අරමුණ පාදක කරගෙන කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන්නේද? යන්න බරපතළ ප්‍රශ්නයකි.

පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සහ ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළු පැවැත්වීම හොඳයි. ඒවා සිදුවෙමින් තිබෙනවා. නමුත් පළාත් සභාවේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වන පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගේ සමුළුවක් හෝ මේ දක්වා පවත්වා නැහැ. පළාත් සභාවක ඉන්නේ පත්කරනු ලබන ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙක් පමණයි. පළමු වැන්නා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන ආණ්ඩුකාරවරයා. දෙවැන්නා තමයි ජනාධිපතිවරයා විසින් ම පත්කරනු ලබන ප්‍රධාන ලේකම්වරයා. මේ පත්වීම් දෙකම කරන්නේ ජනාධිපතිවරයා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන ලේකම්වරයා පත්කළ යුතු වන්නේ ප්‍රධාන අමාත්‍යවරයාගේ එකඟත්වය මතයි. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරුන් සම්බන්ධයෙන් ව්‍යවස්ථාවක් තිබෙනවා. නමුත් ප්‍රධාන ලේකම්වරු පත් කිරීම සම්බන්ධයෙන් එවැනි ව්‍යවස්ථාවක් නැහැ. මේ තත්ත්වය තුළ අපි අමාත්‍යාංශ ලේකම්වරුන්ට අදාළ ව්‍යවස්ථාව පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගේ ව්‍යවස්ථාව ලෙස සලකනවා.පළාත් ලේකම්වරුන්ගේ බලතල හා කාර්යභාරය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් තිලකරත්න මහතා සඳහන් කළේය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් ආණ්ඩුකාරවරුන් කටයුතු කළ යුත්තේ ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව බවත් ආණ්ඩුකාරවරයා පළාත් පරිපාලනය මෙහෙයවිය යුතු බවත් පනතේ සඳහන් වේ. ව්‍යවස්ථාවේ සහ පනතේ විවිධාකාරයෙන් අර්ථ දැක්වීම් හේතුවෙන් නොගැළපීම් ගණනාවක් තිබේ. එසේම ප්‍රායෝගිකව ජනාධිපතිවරයාට පවා නොමැති බලතල පළාත් ආණ්ඩුකාරවරුන්ට හිමිව තිබේ.

ජනාධිපතිවරයා තමයි ආණ්ඩුකාරවරයා පත් කරන්නේ. නමුත් ජනාධිපතිවරයාට පවා නැති බලතල පළාත් ආණ්ඩුකාරවරුන්ට තිබෙනවා. ව්‍යවස්ථාව මඟින් එවැනි බලතල පවරා දුන්නත් කාර්ය පටිපාටිය අනුව එය සිදුවෙන්නේ කොහොමද? කියලා සඳහනක් නැහැ. ඇතැම් අවස්ථාවල ආණ්ඩුකාරවරු මේ බලතල අනිසි ලෙස භාවිත කරනවා. එවැනි අවස්ථා අප දැක තිබෙනවා. තිලකරත්න මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ගේ බලතල සම්බන්ධයෙන් සිය අදහස ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ ය.

පළාත් සභා පිහිටුවා දශක හතරක් ගතවීමට ආසන්නය. ඒ අනුව පළාත් සභා ක්‍රමයේ ප්‍රබලතා සහ දුබලතා හඳුනා ගැනීම වැදගත්ය. ඒ අනුව ප්‍රබලතා තව දුරටත් ශක්තිමත් කළ හැකිය. දුබලතා ජය ගන්නා ආකාරය සොයා බැලිය හැකිය. එසේම පළාත් සභා ක්‍රමය හා සම්බන්ධ පනත් ද අවශ්‍ය ආකාරයට සංශෝධනය කළ යුතුය.

වසර 40ක් පමණ වන මගේ රාජ්‍ය සේවා අත්දැකීම් අනුව මම දැකලා තිබෙන දෙයක් තමයි කොපමණ අණපනත් ගෙන ආවත් මේවා අතර යම් යම් ගැටුම් සහ ගැටලු ඇති වෙනවා. බොහෝ ඒවා ප්‍රායෝගිකව ඇති වෙන ගැටලු. මේ ආකාරයේ නොයෙකුත් ගැටලු තිබෙනවා. ඇතැම් ඒවා සංකීර්ණයි. උදාහරණයක් ලෙස එකම විශ්‍රාම වැටුප් ක්‍රමයක් තමයි මධ්‍යම රජය ක්‍රියාත්මක කරන්නේ. මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න පළාත් සභාවලට හැකියාව තිබුණත් එය සිදුවෙලා නැහැ. මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ පළාත් සභාව සතු බලතල මධ්‍යම රජය විසින් ග්‍රහණය කරගෙන තිබෙන නිසා. පළාත් සභාව සහ මධ්‍යම ආණ්ඩුව අතර පවතින බල අරගලය ගැන පැහැදිලි කරමින් තිලකරත්න මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

සටහන – තුෂාල් විතානගේ

Leave A Comment