
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස හයිඩ්රජන් භාවිතය සඳහා ලබාදිය හැකි සියළුම ආකාරයේ සහයෝගය ලබාදමට රජය සූදානම් – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
- Sujeewa Senerath
- September 19, 2025
- පුවත්, බලශක්ති සහ විදුලිය
- power-and-energy
- 0 Comments
රටේ බලශක්ති අරමුණු ජය ගැනීමේදී නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මෙන්ම නවීන තාක්ෂණය හා ක්‍රමවේද උපරිම අයුරින් භාවිත කිරීම තම රජයේ ක්‍රියා පිළිවෙත බව අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසා සිටියේ අද (18) දින කොළඹදී පැවැත්වෙන “හයිඩ්රජන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වන පාර්ශවකරුවන්ගේ උපදේශන සමුළුවේ“ (Stakeholder Consultation on Draft Renewable Hydrogen Policy of Sri Lanka) ආරම්භක අවස්ථාව අමතමිනි.
අපේ රටේ ප්‍රනර්ජනනීය බලශක්ති විභවතාව ඉතා ඉහළ වන අතර, එම පුනර්ජනනීය බලශක්තිය විදුලිබල පද්ධතියට ලබා ගැනීමේ ධාරිතාව ඉහළ නංවනු පිණිස වන සම්ප්‍රේෂණ, ගබඩාකරණ පහසුකම් හා යටිතල පහසුකම් දියුණු කිරීම පිණිස අප කැපවීමෙන් ක්‍රියා කරනවා.
විදුලිබල ජනනය සඳහා හයිඩ්රජන් භාවිතය අනාගතය සඳහා ඉතාමත් වැදගත්. ඒකේ මූලික පියවරක් තමයි, ඒ පිළිබඳ ප්‍රතිපත්ති කෙටුම්පත සැකසීම. ඒ ප්‍රතිපත්ති කෙටුම්පත සැකසීමේ ක්‍රියාවලියේදී පාර්ශවකරුවන් සමග කෙරෙන මෙම උපදේශන වැඩමුළුව ඉතාම වැදගත් පියවරක්. ඒ වගේම එහිදී, විවිධ රටවල විශේෂඥ සහාය ලබා ගනිමින් විශේෂයෙන් ලොව දියුණු රටවල දිගු කාලයක් පුරා එම ක්ෂේත්රයේ ක්‍රියාකාරකම්වල නියැලෙන ලාංකික විද්වතුන් හා අනෙකුත් විදේශීය විශේෂඥ සහාය ලබා ගැනීමට හැකි වීම අපේ ජයග්‍රහණයක්. ඒ වගේම මේ සඳහා විවිධ ආකාරයෙන් දායකත්වය ලබාදෙන අදාළ ආයතන හා විශේෂඥයින්ට ස්තූතිවන්ත වෙන්න කැමතියි යනුවෙන්ද අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.
බලශක්ති අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත මරීනා ටෙන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා, , ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය ටී.එම්.ඩබ්ලිව්.ජේ. බණ්ඩාර, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති ආචාර්ය තුෂාරා රත්නායක, ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නීල් ද සිල්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ, ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා,යන මහත්ම මහත්මීන් ඇතුළු ක්ෂේත්රයේ විද්වතුන් රැසක් එක්ව සිටියහ.