බංගලිදේශයේ විදේශීය බලශක්ති ගනුදෙනුවලින් උගත හැකි පාඩම් | රොහාන් සමරජීව
- 5opn1
- December 21, 2024
- CNL සතියේ ව්‍යාපාරික විවරණය
- බංගලිදේශයේ විදේශීය බලශක්ති ගනුදෙනුවලින් උගත හැකි පාඩම් | රොහාන් සමරජීව
- 0 Comments
“අදානි සමාගම බංගලාදේශයට විදුලිය සැපයීම ප්‍රතික්ෂේප කර ඇති බව ඔබට දැනගන්නට ලැබුණා ද?” මෑතක දී මිතුරෙක් මගෙන් ප්‍රශ්න කළේය. මගේ මිතුරා ජාතිකවාදියෙකු වීම නිසා, එය බර පැටවූ ප්‍රශ්නයක් බව මම දැන සිටියෙමි.
“මීට වසර කිහිපයකට පෙර ඉන්ධන සහ ගල් අඟුරු නැව් සඳහා ගෙවීම් කිරීමට නොහැකි වීම නිසා අපටද විදුලිය නොතිබූ බව ඔබට මතකද?” මම පෙරළා විමසුවෙමි.
විදුලිය සහ ගල් අඟුරු සඳහා ගෙවා ගන්නට බැරි වීම
බංගලිදේශය බලශක්ති උත්පාදනය සඳහා ඉන්ධන මිල දී ගැනීම වෙනුවට තම දේශ සීමාවට පිටතින් ඉන්දියාවේ ජාර්කාන්ද් ප්‍රාන්තයේ ගොඩ්ඩාහී පිහිටි ඒ සඳහාම කැපකල බලාගාරයකින් තමන්ට අවශ්‍ය විදුලියෙන් සියයට 10ක් මිල දී ගනිමින් සිටියාය. කලක් තිස්සේ අත්විඳිමින් සිටින ආර්ථික දුෂ්කරතා මෑත දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙන් උග්‍ර වූ හෙයින්, බංගලිදේශය විදුලිය සඳහා නියමිත වේලාවට ගෙවීම් කිරීමට ඇති ගිවිසුම්ගත බැඳීම් ඉටු කර නැත. ගෙවීමට ඇති හිග මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක් පමණ විය හැකි බව වාර්තා වෙයි. අවශ්‍ය ගල් අඟුරු මිල දී ගැනීමට ඩොලර් හිඟ බැවින් රජයට අයත් ගල් අඟුරු බලාගාර ද ක්‍රියාත්මක වන්නේ බලාගාර ධාරිතාවට වඩා අඩු මට්ටමක ය.
විදුලිය කැපීම ආත්ම ගරුත්වයක් ඇති කිසිම රජයක් ඉඩ දිය යුතු දෙයක් නොවේ. රජයට අයත් බලාගාරයකට ඉන්ධන මිල දී ගැනීමට ඩොලර් නොමැතිකම නිසා හෝ පෞද්ගලික සැපයුම්කරුවෙකුගෙන් විදුලිය මිල දී ගැනීමට ඩොලර් නොමැතිකම නිසා හෝ මෙම තත්ත්වය ඇති වූවත් එහි බලපෑම පාරිභෝගිකයාට සහ ව්‍යාපාරික පරිශීලකයාට එක හා සමාන ය. හේතුව ද එක ම ය. එනම්, ඩොලර් නොමැතිකම යි.
අදානි කොන්ත්‍රාත්තුව බංගලාදේශයට අවාසිදායක බව ප්‍රකාශ වෙයි. ආයෝජන සඳහා යොදවා ඇති සහ ගෙවීම් වශයෙන් කල යුතු මුදල් ප්‍රමාණය අනුව, මේවා සවිස්තරාත්මක විශ්ලේෂණයක් අවශ්‍ය සංකීර්ණ ගනුදෙනු බව කෙනෙකුට පෙනී යනු ඇත.
අදානි සමාගම සහ බංගලිදේශ විදුලිබල සංවර්ධන මණ්ඩලය (BPDB) අතර කොන්ත්‍රාත්තුවේ විස්තර ගැන අදහස් දැක්වීමට ප්‍රමාණවත් තරම් දැනුමක් මම නැත. උදාහරණයක් ලෙස, මෙවැනි ගනුදෙනුවල දී ධාරිතා ගාස්තුවක් අඩංගු වීම සාමාන්‍ය බව පැවසීමට තරම් මා කරුණු දන්නා නමුත්, එම මුදල (වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් ලෙස වාර්තා වී ඇත) සාධාරණ ද නැද්ද යන්න පැවසීමට මගේ දැනුම ප්‍රමාණවත් නොවේ.
කොන්ත්‍රාත්තුවේ නියමයන් සපුරාලීම සඳහා විශාල ආයෝජනයක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7 ඉක්මවන) සිදු කරන විට, ආයෝජකයා ආරක්ෂා කිරීම සඳහා ධාරිතා ගාස්තු සහ ආරක්ෂණ විධිවිධාන ඇතුළත් කිරීම සාමාන්‍ය දෙයකි. එම ගෙවීම් සාධාරණ බවට වග බලාගැනීම බංගලිදේශ විදුලිබල සංවර්ධන මණ්ඩලයේ (BPDB) නිලධාරීන් සතු වගකීමකි.
ඕස්ට්‍රේලියාවේ අදානි සමාගමට අයත් පතලක සිට ගල් අඟුරු බහුල ප්‍රාන්තයක් වන ජාර්කාන්ද් දක්වා මෙම ගල් අඟුරු ගෙන එන බවත්, එහි පිරිවැය අධික බවත් කියති. නමුත් සංසන්දනය කල යුත්තේ BPDB ආයතනයට මේ මොහොතේ ඇති විකල්ප හා සමඟ ය. “අනෙකුත් ගල් අඟුරු බලාගාර 50% ක ධාරිතාවයකින් ක්‍රියාත්මක වන අතර ඩොලර් අර්බුදය හේතුවෙන් රටට ප්‍රමාණවත් ගල් අඟුරු මිල දී ගැනීමට නොහැකි වී ඇති බැවින්, අදානි වෙතින් නිෂ්පාදිත විදුලිය සැපයුම දිගට ම කරගෙන යාම වැදගත් වෙයි. එය දේශීය නිෂ්පාදකයන්ට වඩා සුළු වශයෙන් මිල අධික නමුත් එය තීරණාත්මක සැපයුමකි, ” යි බලශක්ති විශේෂඥයකු සහ විශ්‍රාමික මහාචාර්යවරයකු වන අජාජ් හොසේන් පැවසු බව බීබීසී වාර්තා කළේය.
කෙටි කාලීන සහ දිගු කාලීන
කෙටි කාලීනව, සියලු තෝරාගැනීම් සීමා සහිත වෙයි. පවතින සීමිත ඩොලර් ප්‍රමාණයෙන් BPDB ය, අදානි වෙත හිඟ ණය ගෙවිය යුතුද නැතහොත් රජය සතු කම්හල් සඳහා ගල් අඟුරු මිල දී ගත යුතුද? 2022 දී අප තේරුම්ගත් පරිදි, ගෙවීමට මුදල් සොයාගැනීමෙන් පමණක් විදුලිය ලැබීම සිදුවන්නේ නැත. තරඟකාරී ලංසු ලබාගත යුතු අතර ඒවා තක්සේරු කළ යුතු ය. නැව් වරායට පැමිණිය යුතු අතර ඉන්ධන ගොඩබෑම සිදු කළ යුතු ය. මේ සියල්ලට කාලය ගතවෙයි.
බලශක්ති ආනයනය කරන සියලු ම රටවල් මුහුණ දෙන මූලික ප්රශ්නය වන්නේ පරායත්ත බව යි. නූතන සමාජයන්ට විදුලිය නොමැතිව පැවැත්මක් නැත. විදුලිය නොමැතිකමේ පිරිවැය සෑම විට ම පාහේ හදිසි විදුලිය මිල දී ගැනීමේ පිරිවැයට පවා වැඩි ය. එවැනි කාරණා විදේශ සමාගම්වල හෝ ආණ්ඩුවල පාලනයට යටත් වීමට රජයක් ඉඩ දෙන්නේ කෙසේ ද?
මතුපිටින් බැලූ විට පිළිතුර පැහැදිලි ය. එනම් බලශක්තියෙන් ස්වයංපෝෂිත වීම යි. ශ්‍රී ලංකාවට සිය සම්පූර්ණ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් තරම් සහ වැඩියෙන් සුළං බල සහ සූර්ය බල විභවයක් ඇත. එහි වර්තමාන පුනර්ජනනීය බලශක්ති කොටස ඉතා කුඩා වුව ද, බංග්ලාදේශයට ද මෙම විකල්පය ඇත. එරටේ ස්වභාවික වායු නිධිද ඇත. අත්‍යවශ්‍ය විදුලිය සඳහා ගෙවීමට මේ රටවල් ඩොලර් සොයා ගැනීමට දඟලන්නේ ඇයි?
මක්නිසාද යත්, සූර්ය බලය හා සුළං බලය සඳහා පවා විශාල ආයෝජන අවශ්‍ය වන අතර ප්‍රධාන යෙදවුම් රටට පිටතින් රැගෙන ඒමට සිදුවෙයි. මුල් සුළං බලාගාර සඳහා කුළුණු එසවීම සඳහා දොඹකර පවා ඉන්දියාවෙන් ගෙන ඒම අවශ්‍ය විය. ඉන්දියාව පුනර්ජනනීය බල ශක්තිය සඳහා පරිසර පද්ධතිය දියුණු කර ඇති නමුත් සම්පූර්ණයෙන් ම ස්වයංපෝෂිත වී නොමැත. වඩාත් ලාභදායක වන්නේ චීනයේ නිපදවන සූර්ය පැනල බව බොහෝ දෙනා පිළිගෙන ඇත. මීට අමතරව, සුළං සහ සූර්ය බලශක්තිය නිපදවන ස්ථාන දක්වා සම්ප්‍රේෂණ ජාලකය ඉදි කළ යුතු ය. මෙහි දී ද තෝරා ගැනීම ඇත්තේ ආයෝජන හෝ ණය අතර ය. තීරණය කිරීමේ සිට භාවිතයට ගැනීම සඳහා වසර 3-5 ක් ගතවනු ඇත.
සීමිත රාජ්‍ය මූල්‍ය හැකියා සහිත රජයන් සඳහා සුළං හා සූර්ය බලයෙන් ජනනය කරන විදුලිය අනුපාතය වැඩි කිරීමට විදේශ ආයෝජන ආකර්ශනීය විකල්පයකි. ආයෝජකයාට ආයෝජනයේ ප්‍රක්ෂේපිත ජීවිත කාලය පුරාවට ම අඛණ්ඩව ප්රතිලාභ ඉපයීම සහතික කිරීමට අදානි සමඟ ඇති කරගත් ගිවිසුම වැනි ගිවිසුම් නැතුව බැරිය. ආයෝජනය සිදු කිරීමෙන් පසු, බලාගාරයේ නිෂ්පාදනය මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරමින්, රජය සහ තනි ගැනුම්කරු ආයෝජකයාට බලපෑම් කරන තත්වයක් ගැන සිතාගැනීම අපහසු නැත. ඇත්ත වශයෙන් ම, සංකීර්ණ නීති ක්‍රියාවලිය තුළ තමන්ට හිතකර ප්‍රතිපාදන ඇතුළත් කිරීමට පාර්ශවයන්ට දිරිගැන්වීමක් ඇති බැවින් කොන්ත්‍රාත්තුවේ සෑම අංගයක් ම පරිස්සමෙන් සාකච්ඡා කළ යුතු වෙයි.
ආයෝජනය කිරීමට පෙර, ආයෝජකයාගේ කේවල් කිරීමේ ශක්තිය ඉහල මට්ටමක පවතී. “අපට සාධාරණ ලෙස නොසැලකුවොත් අපි වෙනතකට යන්නෙමු” යැයි කීමේ හැකියාව ඔහු සතු ය. නමුත් ආයෝජනය කළ පසු ආයෝජකයාට ටර්බයින ගලවා ගෙන වෙනත් තැනකට යා නොහැකි ය. දැන් බලය තිබෙන්නේ රජය සහ බලාගාරයේ නිෂ්පාදනය මිලට ගන්නා ගැනුම්කරු (බොහෝ විට ගැනුම්කරු රජයට අයත් ආයතනයකි) අතෙහිය. ඔවුන්ට ගෙවීම් ප්‍රමාද කිරීමේ හෝ විවිධාකාර සහන ඉල්ලා සිටීමේ හැකියාව ඇත.
පුනර්ජනනීය ප්‍රභවයන් භාවිතයෙන් විදුලිය සපයන ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින්ට (IPPs) ලංකාවේ අර්බුදය තුළ සිදු වූයේ මෙය යි. ලංවිම ගිවිසුම්ගත බැඳීම්වලට ගරු කළේ නැත. ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින්ට (IPPs) ඔවුන්ගේ බලාගාර විදුලිබල ජාලයෙන් විසන්ධි කළ හැකිව තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයාට දිගු කාලයක් විදුලිය නැතිව ඉන්නට සිදු වන්නට සහ සැපයුම් කරුවන්ට අනාගතයේ හෝ ආදායමක් නොමැතිව සිටීමට සිදුවනු ඇත. නැතහොත් ප්‍රමාද වී හෝ ගෙවීම් කිරීමට බලධාරීන්ට බලපෑම් කරමින් විදුලිය දිගට ම ලබාදීම කළ හැකිව තිබුණි. ශ්‍රී ලංකාවේ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් තෝරාගත්තේ දෙවෙනි විකල්පයයි. මේ වනවිට ඔවුනට කල යුතුව තිබුණු ගෙවීම් සම්පූර්ණ කර ඇත.
අදානි ගිවිසුම දෙආකාරයකින් ඉහත තත්ත්වට වෙනස් වේ. පළමු හා වැදගත්ම දෙය නම් ගොඩ්ඩා බලාගාරයට වසරකට ගල් අඟුරු ටොන් මිලියන 7-9 ක් අවශ්‍ය වීම යි. පුනර්ජනනීය ප්‍රභවයන් භාවිතා කරන බලාගාරයකට මෙහෙයුම් සඳහා අවශ්‍ය වන්නේ අවම පිරිවැයක් වන නමුත්, ගල් අඟුරු භාවිතා කරන බලාගාරයක් සඳහා සැපයුම්කරුගේ පැත්තෙන් අඛණ්ඩ වියදම් දැරීමක් අවශ්‍ය වෙයි. දෙවන වෙනස නම් ගොඩ්ඩා බලාගාරය බංගලිදේශයේ භූමිය තුළ පිහිටා නොතිබීම යි.
පළමු වෙනස මගින් අදානිට ශ්‍රී ලංකාවේ IPP සමාගම් මෙන් ක්‍රියා කිරීමට ඉඩ නොදෙන්නේ ඔවුන්ගේ පාඩු ඔවුන්ගේ බලාගාර ගොඩනැගීමට ගත් ණය සහ කොටස් හිමියන්ගේ නොගෙවා සිටින ලාභයට අදාළ පිරිවැයට සීමා නොවන නිසාය. එම වියදම්වලට අමතරව ප්‍රවාහන වියදම් ඇතුළු ගල් අඟුරු සඳහාද අදානි සමාගම දිගින් දිගටම වියදම් දැරිය යුතු ය. අදානි විසින් නියමිත වේලාවට ගෙවීම් කිරීමට බල කිරීමට හේතුව බොහෝ විට එය විය හැකි ය. බංගලිදේශ රාජ්‍යයට අයත් ගල් අඟුරු බලාගාර පවා ධාරිතාවට වඩා අඩුවෙන් ක්‍රියාත්මක වීම මගින් එම කාරණය සනාථ කරයි.
දෙවන වෙනස වන්නේ බංගලිදේශ රජයේ බලහත්කාර බලය බලාගාරය පිහිටා ඇති ජාර්කාන්ද් ප්‍රාන්තය දක්වා ව්‍යාප්ත නොවීම යි. ඉන්දීය රජය බංග්ලාදේශ රජයේ ඉල්ලීම්වලට සහාය නොදක්වයි. ඒ වෙනුවට ගොඩ්ඩා බලාගාරයේ විදුලිය ඉන්දියාව තුළ විකිණීමට ඉඩ දීමෙන් අදානිගේ පාඩුව සමනය කර එහි මූල්‍ය පීඩනය ලිහිල් කිරීම සිදුවෙයි.
අවදානම් අවම කර ගැනීම
සෞදි අරාබිය ප්‍රධාන බලශක්ති අපනයනකරුවෙකි. කුමන හෝ රටකට බලශක්තියෙන් ස්වයංපෝෂිත විය හැකි නම් ඒ සෞදි අරාබිය විය යුතු ය. එහෙත්, එහි පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නැංවීම සඳහා එය චීන ආයතන ගණනාවක් සමඟ හවුල් වී ක්‍රියා කරයි. සෞදි අරාබියේ තත්ත්වය එසේ නම්, මූල්‍යමය සීමාවනට යටත් වී සිටින බංගලිදේශය සහ ලංකාව ස්වයංපෝෂිත වනු ඇතැයි අපේක්ෂා කිරීම යථාර්ථවාදීද?
ප්‍රාර්ථනා කිරීමෙන් පරායත්ත බවින් මිදිය නොහැක. යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් එම රටේ ආස්ථානයේ සන්දර්භය තුළ රුසියාව ෆින්ලන්තයට විදුලි සැපයුම කපා හැරියේය. නමුත් ෆින්ලන්තය රුසියානු සැපයුම් මත වැඩිපුර රඳා නොසිටි නිසා, ස්වීඩනයෙන් වැඩිපුර සැපයුම් ලබා ගැනීමෙන් අඩුව පුරවා ගැනීමට හැකි විය. බංගලිදේශයට විදුලිය සපයන එක ම සැපයුම්කරු අදානි නොවන නමුත් එය විශාලතම විදුලි සැපයුම්කරු වූ බව පෙනී යයි. අනෙකුත් සැපයුම්කරුවන්ට පවා ගෙවීම් නොකිරීම නිසා සැපයුම අඩුකිරීම හේතුවෙන් බංගලිදේශය පීඩාවට පත් විය.
සාමාන්‍යයෙන් සිදුවන්නේ දේශපාලන හේතූන් මත සැපයුම්කරුවෙකු තම සේවය අත්හිටුවීම යි. අදානි සහ අනෙකුත් ඉන්දියානු සැපයුම්කරුවන් සම්බන්ධයෙන්, ගැටලුව පවතින්නේ මීට ප්‍රතිවිරුද්ධ ආකාරයෙනි. විකිණීම ඔවුන්ගේ අවශ්‍යතාවය යි. සැපයුම අත්හිටුවීමට හේතුව ඔවුන්ට ගෙවීම් නොකිරීම යි.
තනි සැපයුම්කරුවෙකු මත රඳා නොසිටීම පරායත්ත බව කළමනාකරණය කර ගැනීමට උපකාරී වෙයි. කෙසේ වෙතත්, සාර්ව-ආර්ථික අවකළමනාකරණය නිසා ගිවිසුම්ගත සේවාවන් සඳහා ගෙවීම් ප්‍රමාද කරන්නේ නම් හෝ නතර කරන්නේ නම් ගැටලු මගහරවා ගත නොහැකි ය. ෆින්ලන්තයට විදුලිය කැපීම් වළක්වා ගැනීමට හැකි වූයේ එහි විදුලි සමාගම් ණය ලබා ගත හැකි තත්ත්වයක සිටි නිසා සහ නව සැපයුම්කරුවන්ට ගෙවීමට අරමුදල් ඔවුන් සතුව තිබූ නිසා ය.
භූ දේශපාලනික අවදානමට අමතරව, දේශගුණික විපර්යාස මගින් ද බලශක්ති උපයෝගිතා සඳහා බොහෝ අවදානම් මතු කරයි. අවදානම් අවම කිරීමේ පියවර අත්‍යවශ්‍ය වෙයි. එහෙත්, වඩාත් ම මූලික අවදානම් අඩු කිරීමේ ක්‍රියාව නම් හොඳ සාර්ව ආර්ථික කළමනාකරණයක් පවත්වා ගැනීම යි. එය අසාර්ථක වුවහොත්, අන් සියල්ලම නිෂ්ඵල වනු ඇත. මගේ මිත්‍රයා ඇසුවේ වැරදි ප්රශ්නයකි. බල ශක්තිය මිලදී ගන්න සමාගමේ නම හෝ ජාතිකතත්වය අදාළ නැත. අදාළ වන්නේ නිවැරදි අවදානම් කලමනාකරණ උපාය මාර්ගයන් ක්‍රියාත්මක කරන්නේද යන්නයි.
| මහාචාර්ය රොහාන් සමරජීව
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
rohan@lirneasia.net
Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva
https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/
Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428
Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology