බොන්න වතුර ටිකක්වත් නොමැතිව, අපා දුක් විදින, නුවරඑළියේ නාගරික ජනතාව

මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශී සභා, ආදියෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන ඡාලය, ජනතාවගේ එදිනෙදා ජීවිතය කෙරෙහි දැඩි බලපෑමක් සිදුකරයි. කෙටියෙන් කියතොත්, මිනිසෙකුගේ උපතේ සිට මරණය දක්වාම වූ, බොහෝ කාරණා සඳහා පළාත් පාලන ආයතන තම සෟජු දායකත්වය සපයන බව නොරහසකි.

එහෙත්, එම සේවාව, රටෙහි වෙසෙන සියළුම ජනතාවට, තවමත් එකලෙස නොලැබෙන බව කිවයුතුය. විශේෂයෙන්ම, අඩු ආදායම්ලාභි, නාගරික මුඩුක්කු, පැල්පත් හා වතු කම්කරු ජනතාව එලෙස කුඩම්මාගේ සැලකිල්ලට ලක් වන බව දැකිය හැකිය. ශ්රී ලංකාවේ ආන්තිකරණයට ලක්වූ එවැනි ජන කොටස්වලට මෙම ආයතන මගින් සැපයෙන සේවාවන් ඉතා අල්පය. එහිදි ජනතාවට අවශ්ය මුලික පහසුකම් පවා නොලැබෙන නමුත්, පළාත් පාලන සභිකයන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම් වලදි, එම ජනතාව මැතිවරණය සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදී තිබේ.

පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් අප විසින් අධ්‍යයනයක් සිදුකළ අතර, ඒ සඳහා නියැදියක් ලෙස තෝරා ගනු ලැබුයේ, විවිධ ඡාති හා ආගම් වලට අයත්, ජනතාවක් වෙසෙන, සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්කරගත්, නුවරඑළිය මහ නගර සභා බල ප්රදේශයේ වෙසෙන ජනතාවයි. හෙක්ටයාර් 1500 ක පමණ වපසරියක පිහිටි නුවරඑළිය නාගරික බල ප්රදේශය තුල ජනගහනය 35,000 ක් පමණ වන අතර, වසරකට දළ වශයෙන් දේශීය සංචාරකයින් 9,50,000 ක් සහ විදේශිය සංචාරකයින් 1,35,000 ක් පමණ නුවරඑළියට පැමිණෙන බව ගණන් බලා තිබේ.

නුවරඑළිය නාගරික බල ප්‍රදේශය තුල අතුරු මාර්ග 140 ක් පමණ නඩත්තු කිරීමේ කාර්යය පැවරී ඇත්තේ මහ නගර සභාවටයි. එම මාර්ගයන්හී සවිකර ඇති විදුලි පහන් ප්රමාණය 1200 ක් පමණවේ. එහි මාසිකව එකතු වෙන දිරණ කුණු කසළ ප්‍රමාණය ටොන් 450 කට අධිකය. එමෙන්ම මාසිකව ප්ලාස්ටික් බෝතල් කිලෝ ග්රෑම් 1000 ක් පමණද, වෙනත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝ ග්රෑම් 1500 ක් පමණද, කඩදාසි කිලෝ ග්රෑම් 500 ක් පමණද, ඉලෙක්ටොනික් අපද්‍රව්‍ය කිලෝ ග්රෑම් 15 ක් පමණද නාගරික ජනතාව විසින් බැහැර කෙරේ. එහෙත් නුවරඑළිය වසන්ත සමයේදි මෙන්ම, සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන සති අන්ත නිවාඩු දිනවලදි, ඉහත දක්වා ඇති කසළ ප්රමාණයන්ට වඩා වැඩි ප්‍රමාණයක් ජනතාව විසින් බැහැර කරන අතර, කසළ කළමනාකරණ රාජකාරි සඳහා නුවරඑළිය මහ නගර සභාවට අනුයුක්තව ස්ථිර සේවකයින් 103 දෙනෙකු සිටින නමුත්, ඉන් ක්ෂේත්‍රයේ කසළ කළමනාකරණ කටයුතු වල නියැලෙන්නේ අඩකටත් අඩු සංඛ්‍යාවකි. අනික් සේවකයින්, වැඩ බලන කංකානිවරුන් ලෙසත්, කාර්යාල කටයුතු වලත්, වෙනත් රාජකාරි වලත් නිරත වේ.

ඊට අමතරව අදේශක හා ඩෙංගු කටයුතු සඳහා බඳවගත් සේවකයින් 20 දෙනෙක් පමණ, කසළ කළමනාකරණ කටයුතු සඳහා යොදවා තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ නාගරික බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය මුලික පහසුකම් ලබාදීමේ කටයුත්තට බාධා මතුව ඇති අතර, ඉන් වඩාත්ම අසාධාරණයට පත්ව ඇත්තේ අඩු ආදායම්ලාභි, නාගරික මුඩුක්කු, පැල්පත් හා වතු කම්කරු ජනතාවයි. “නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශයේ සම්පත් පැතිකඩ – 2015” වාර්තාව මගින් හෙළිකරන ආකාරයට,  ප්‍රධාන සංචාරක කලාපය තුළ නිවාස 3454 කට විදුලිය නොමැති අතර, 6398 කට මුලික වැසිකිලි නොමැති බවයි.

“ගේ අවට ටොයිලට් වලක් හාරගන්න වත් තැනක් නැතුවයි ඉන්නේ. තියෙන වළ පිරිලා. දැන් ගේ ඇතුලේ තමයි වළක් හදාගන්න වෙන්නේ. නගර සභාවට පොදු ටොයිලට් එකක් හදලා දෙන්න කිව්වම කියන්නේ, ඔයගොල්ලෝ අයින් කරන්න ඉන්නේ, ඒ නිසා හදලා දෙන්න බෑ කියලයි. ඒත් ටොයිලට් එකක් නැතුව ඉන්නේ කොහොමද? අපිට සත්තු වගෙයි ඉන්න වෙලා තියෙන්නේ.”

| එම්. අයි. සකිඩීන්ය
| එම්. අයි. සකිඩීන්

එසේ කියන්නේ නුවරඑළිය මහ නගර සභා සීමාවට අයත්, යුනික්වීව් ප්‍රදේශයේ ජීවත් වෙන එම්. අයි. සකිඩීන්ය. එම ප්‍රදේශය පැල්පත් වලින් ගහන කලාපයකි. එහි නිවාස 33 ක් ඇති අතර, ඒ තුල පවුල් 52 කට අයත් පුද්ගලයින් 222 ක් පදිංචිව සිටියි. මේ ප්‍රදේශයද අපදා ප්‍රදේශයක් ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නම් කර එම පවුල් ඉවත් කිරීම සඳහා යෝජනා කර ඇති මුත්, වසර ගණනාවක් තිස්සේ එයද ඉටු නොවන සිහිනයකි. එහි වෙසෙන ජනතාවට මුලික පහසුකම් හෝ නොමැති අතර ඉතාමත් අඩුආදායම්ලාභි නිවැසියන් වන ඔවුන් ගෙවන දුක්ඛිත ජීවිතය පිළිබඳව, එහි ගිය අපට, එම්. අයි. සකිඩීන් වැඩි දුර අදහස් පළ කළේ මේ ලෙසිනි.

අපි ඉන්නේ නගර සභා සීමාවේ උනාට, බොන්න වතුර ටික ගන්නෙ කැලෙන්. කැලේ මුරකාරයා කියනවා වතුර ගන්න කැලේට ඇතුල් වෙන්න එපා, අහුවුනොත් උසාවි දානවා, දඩේ රුපියල් පණස්දහයි කියලා. මුරකාරයාට මොකුත් කියන්න බෑ. එයාගේ රක්ෂාව එයා කරන්නේ. නමුත් අසරණ අපි දිහා බලන්න කවුරුවත් නෑ. ඒ වළේ තියෙන්නෙත් පිරිසිදු වතුර නෙමෙයි. බල්ලෝ පවා ඒ වලට පැනලා නානවා. ඒ ජරා වතුර තමයි අපි බොන්නේ. පහුගිය කාලේ අපිට වතුර දෙන්න ප්‍රධාන ජල නලයක් ගමටම එලාගෙන ආවා. අද ඒක ගම මායිමේ නැවතිලා තියෙනවා. අපේ ප්‍රධාන ඉල්ලීම් හැටියට ඉල්ලුවේ පානීය ජලය, වැසිකිලි සහ නිවාසයි. ඒ ඇරෙන්න අපි කන්න බොන්න ඉල්ලන්නේ නෑ. කුලි වැඩක් හරි කරලා අපි කන්න බොන්න හොයා ගන්නම්. ඒක කරලා දෙන්න බැරිනම්, අඩුම ගානේ අවුරදු 30 කට වැඩි කාලයක් අපෙන් ඡන්දේ ගත්ත අයවත් අපි ගැන බලන්නේ නැත්නම්, මොකටද තවත් බලාපොරොත්තු තියාගෙන?

‍| යුනික්විව් නිවැසියන් පානිය ජලය ලබාගන්නා කැලයේ තිබෙන වල
| යුනික්විව් නිවැසියන් පානිය ජලය ලබාගන්නා කැලයේ තිබෙන වල

ඔහුගේ පැනයට අපිට පිළිතුරක් නොවීය. මීට පෙර රාජ්‍ය ආයතනයක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය, නුවරඑලියේ නාගරික ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් වඩා යහපත් ප්‍රවේශයක් ගෙන තිබුණි. නාගරික සංවර්ධන අධිකාරියේ, නුවරඑළිය දිස්ත්රික් කාර්යාලය විසින් සම්පාදනය කර, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ අනුමැතිය සහිතව, 2022 අගෝස්තු 01 දින අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට කරනු ලැබු, “2022-2032 විසල් නුවරඑළිය සංවර්ධන සැලැස්ම” නුවරඑළියේ ගැටළු සම්බන්ධයෙන් දැඩි අධ්‍යයනයක නිරත වෙමින් තම යෝජනා ඉදිරිපත් කොට තිබුණි.

| තුරඟ තරඟ පිටියේ පොදු වැසිකිලිය
| තුරඟ තරඟ පිටියේ පොදු වැසිකිලිය

ඒ තුලින් හඳුනාගෙන ඇති ප්‍රධාන කාරණය වන්නේ, තම සංවර්ධන සැළසුම් කලාපය තුළ ඇති නිවාස වලින්, 21% ක් අඩු ආදායම්ලාභී නිවාසයන් වන බවයි. එම පැල්පත්, මුඩුක්කු, පේලි නිවාස හා වතුනිවාස ආදියෙහි 5300 ක පමණ ජනගහනයක් වාසය කරන බවත් හෙලිවී තිබේ. එසේම නුවරඑළිය මහ නගර සභා සීමාවේ පවුල් 638 ක් පමණ අඩු පහසුකම් සහිත නිවාස වල ජීවත් වන බවත්, එම නිසා ප්‍රදේශයේ දරිද්‍රතා මට්ටම ඉහල අගයක් ගන්නා බවත් ඔවුන් පෙන්වා දී ඇති අතර එම නිවාස වල පදිංචි පුද්ගල සංඛ්‍යාව 3316 කි. එමෙන්ම පවුල් 251 ක් ස්වභාවික ආපදා අවධානමට ලක්ව තිබෙන බවද වාර්තාවේ සඳහන්ය.

| තුරඟ තරඟ පිටිය පැල්පත් නිවාස
| තුරඟ තරඟ පිටිය පැල්පත් නිවාස

ඉන් පවුල් 56 කට අයත්, පුද්ගලයින් 240 දෙනෙකු පදිංචිව සිටින්නේ නුවරඑළියේ තුරඟ තරඟ පිටියේ පිහිටි නිවාස 48 කය. බ්‍රිතාන්‍ය පාලකයින් විසින් අශ්වයින් රැක බලා ගැනිම සඳහා, ඔවුන් එම ස්ථානයේ පදිංචි කරවා දැනට වසර 125 කට අධික වන නමුත්, එහි කිසිදු මුලික පහසුකමක් නැත. එම භූමිය අපදා ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන නිවැසියන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා දැනට වසර ගණනාවක සිට සාකච්ඡා වන මුත් කිසිදු බලධාරියෙක් ඒ සඳහා වැඩ පිළිවෙලක් සකස් කොට නොමැත.

| එස්. ලෙච්චුමන්
| එස්. ලෙච්චුමන්

“අපි හැමෝටම පාවිච්චි කරන්න තියෙන්නේ පොදු වැසිකිලියක් විතරයි. ඒක සෑහෙන්න අබලන් වෙලා පාවිච්චි කරන්න බැරි තත්ත්වයෙන් තියෙන්නේ. අපිට ඉඩම් අයිතිය නැති නිසා තනි වැසිකිලි හදාගන්න බෑ. නිවාස වලට ඇතුල් වෙන පොඩි පාලම කැඩිලා අවධානමේ තියෙන්නේ. මේ පාර නගර සභා මැතිවරණයට කලින් අපිට පොරොන්දු වුනා පාලම හදලා, අපි මේ ස්ථානයෙන් යනකම් වටේ තියෙන පාර හදලා දීලා, පාරට ලයිට් නමයක් දාලා දෙන්නම් කියලා. ඒ වගේම බලයට ඇවිත් සතියකින් වැසිකිලි හතරක් හදලා දෙන්න පොරොන්දු වුනා. ඡන්දෙන් පස්සේ දැන් කියනවා. මේ ඉඩම අයිති ක්‍රීඩා අමාත්‍යංශයට නිසා එහෙන් අවසර ගන්න ඕනේ කියලා. ඉතින්ක්‍රීඩා අමාත්‍යංශයත් තියෙන්නේ රජය යටතේනේ. ඒවා කතා කරලා කරගන්න බැරි ඇයි? පසුගිය කාලේ අපි ඉන්න නුවරඑළිය රේස්කෝස් ඉඩම, ක්‍රීඩා අමා.්‍යාංශයෙන්, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්ට පැවරුවා සංවර්ධනය කරන්න. එතකොට ඡන්දේ දිනලා නගර සභාවට ගිය මේ අය ඒ ගැන දන්නේ නැද්ද? එහෙම නැත්නම් ඒ බව දැනගෙන, ඡන්දට බොරු පොරෙන්දු දීලා, කලින් පුරුදු විදිහටම අපිව රවට්ටනවද කියලා තමයි අපි කල්පනා කරන්නේ.”

අප රේස්කෝස් නිවාස පරික්ෂාවට ගිය අවස්ථාවේදි හමුවූ, එස්. ලෙච්චුමන් එහි පවතින තත්ත්වය අපට පැහැදිලි කළේ ඒ ආකාරයෙනි. ඔහු කිවු සෑමදෙයක්ම සත්‍ය බව අපට එම ප්‍රදේශයේ සිදුකළ නිරික්ෂණයෙන්ද පැහැදිලි විය. වසර ගණනාවක් රැවටීමට ලක්වූ ඔවුන් මෙවරද රැවටීමට ලක්කර ඇද්ද? යන පැනයට බලධාරින් පිළිතුරු දිය යුතුය.

| බඹරකැලේ, පී. ඩබ්ළිව්. ඩී. නිවාස
| බඹරකැලේ, පී. ඩබ්ළිව්. ඩී. නිවාස

නුවරඑළිය, බඹරකැලේ පී. ඩබ්ළිව්. ඩී. නිවාසද, “2022-2032 විසල් නුවරඑළිය සංවර්ධන සැලැස්ම” යටතේ හඳුනාගෙන ඇති තවත් අඩු ආදායම්ලාභි නිවාස සමූහයකි. මෙම පේලි නිවාසද ඉදිකර වසර 150 කට අධික කාලයක් ගතව ඇති අතර, අද වන විට ගරා වැටෙමින් පවති. එහිද පවුල් 52 කට අයත් පුද්ගලයන් 166 දෙනෙකු, නිවාස 42 ක පදිංචිව සිටිති. පොදු වැසිකිලි 08 ක් ඇති මෙම භුමියේ, ඉන් භාවිතයට ගත හැක්කේ 03 ක් පමණකි. උදෑසන කාර්යය බහුල අවස්ථාවේදි පාසල් දරුවන්ට මෙන්ම, රැකියා සඳහා පිටත්ව යන අයවලුන්ට එය ප්‍රමාණවත් නොවන බැවින්, තම අවශ්‍යතා සඳහා අසල පිහිටි ඇලට යාමට නිවැසියන් පුරුදුවී සිටිති. එසේ බැහැර කරන මළ අපද්‍රව්‍ය, තලගල ඔය දිගේ නුවරඑළිය නගරය මධ්‍යයෙන් ග්‍රෙගරි වැවට ගලා බසියි. අප එහි ගිය අවස්ථාවේදි මේ පිළිබඳව වඩාත් හොඳින් පැහැදිලි කළේ නිවැසියෙක් වු පාකියන් රාජාය.

| පාකියන් රාජා
| පාකියන් රාජා

“මෙතන ගෙවල් 62 ක් හදන්න 2007 දි විතර පටන් ගත්තා. ඒත් අතරමගදි ව්‍යාපෘතිය නතර වුනා. මේ ඉඩම අයිති නගර සභාවට. හැමදාම ගෙවල් හදලා දෙනවා කියලා කියනවා. ඒ වුනාට කරලා දෙන්නේ නෑ. එක ගෙදර පවුල් තුන හතරක් ජීවත් වෙනවා. ගෙයක් කිව්වට තියෙන්නේ කාමරයයි කුස්සියයි විතරයි. පොදු වැසිකිලි මදි. ඒවා පිරිලා තියෙන්නේ. ඒ නිසා මිනිස්සු වැසිකිලිය විදිහට ඇල පාවිච්චි කරනවා. අපි නගර සභාවට වරිපනම් ගෙවනවා. හැබැයි ගෙවල් වලට අයිතියක් නෑ. යන මාර්ගයක් නෑ. කසළ අරන්  යන්න හරියට එන්නේ නැති නිසා මිනිස්සු කුණු දාන්නේ ඇලට. හැමදාමත් ප්‍රශ්න විතරයි. ප්‍රශ්න බලන්න විතරයි කවුරුත් එන්නේ. හැබැයි විසඳුමක් දෙන්න කවුරුත් නෑ. අවුරුදු 100 කට වැඩි කාලයක් අපි මෙතන ජීවත් වුනත්, මව්පියන්ගෙන් ලැබුණු උරුමයක් කියලා පෙන්නන්න වත් අපිට කිසිම නීත්‍යානුකූල හිමිකමක් නෑ.”

මෙවැනි ගැටළු ඇති එම්. සී. නිවාස සංකීර්ණයද, අඩුආදායම්ලාභි නිවැසියන් විශාල පිරිසක් ජීවත් වෙන ස්ථානයකි.  පවුල් 225 ක සාමාජිකයන් 826 දෙනෙකු, නිවාස 120 කට කොටුවී එහි ජීවත් වෙති. මේ ආකාරයෙන් නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයටද අයත්, ජේම්ස් වීදියේ නිවාස 14 ක, පවුල් 15 කට අයත්, 65 දෙනෙකු ජීවත් වෙන අතර, තවත් එවැනිම කලාපයක් වූ බඹරකැලේ වත්තේ නිවාස 207 ක, පවුල් 306 කට අයත් පුද්ගලයින් 1676 දෙනෙකු පදිංචිව සිටිති. එසේම අන්ඩර්බෑන්ක්, සමගි උයන ප්රදේශයේ, පවුල් 12 කට අයත් 49 දෙනෙකු නිවාස 12 ක පදිංචිව සිටින බවත්, ඉහළ වැව පාරේ පවුල් 19 කට අයත් නිවැසියන් 72 දෙදෙනෙකු, නිවාස 15 පදිංචිව සිටින බවත් එම වාර්තාව මගින් පෙන්වා දෙයි. එවැනි බොහෝ ස්ථානවල ජනතාවට අවශ්ය මුලික පහසුකම් පවා ලබාදීමට නුවරඑළිය මහ නගර සභාව අසමත්වී ඇත.

| නගරාධිපති උපාලි වනිගසේකර
| නගරාධිපති උපාලි වනිගසේකර

අප මෙම ගැටළු සම්බන්ධයෙන් නුවරඑළිය මහ නගර සභාවේ දැනුවත්භාවය හා ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව විමසීම සඳහා නුවරඑළිය මහ නගර සභාවට අභිනවයෙන් පත්වූ නගරාධිපති උපාලි වනිගසේකර හමුවී ගැටලුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට පියවර ගත් නමුත්, ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය. කල් ගෙන, නිසි අධ්‍යයනයක් සිදුකොට හෝ ඒ සම්බන්ධයෙන් තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට නගරාධිපතිවරයා මැලිවීම තුළ පෙනි යන්නේ, ඔහු පීඩාවට පත් මෙම ජනතාවට සේවය කිරීමට, කොතෙක් අදිටන් කරගෙන ඇද්ද යන්නයි.

ඔහුගෙන් නිසි පිළිතුරක් නොලද හෙයින්, අදාල ගැටළුව සම්බන්ධයෙන් නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂ නායක අජිත් කුමාර ගෙන් විමසීමේදි ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි.

“ඇත්තටම පළාත් පාලන ආයතනයෙන් මුලික පහසුකමක් වත් නොලැබෙන ජනතාවක් අප අතරම ඉන්න බව අපි පිළිගන්න ඕනේ. හැබැයි සමහර අවස්ථා වලදි අපේ කැමැත්ත තිබුනත් ඒ අයට අවශ්‍ය සේවාව ලබාදෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. උදාහරණයක් ගත්තොත්, රජය විසින් ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ඉවත් කිරීමට තීන්දු කර තිබෙන ප්‍රදේශයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිසි ඉඩම් හිමිකමක් නැති ප්‍රදේශයක් වෙන්න පුළුවන්. වතු කම්කරු ජනවාශයක් වෙන්න පුළුවන්.

| විපක්ෂ නායක අජිත් කුමාර
| විපක්ෂ නායක අජිත් කුමාර

ඒ වගේ ස්ථාන වලට සේවාවන් සැපයීමේදි අදාල අමාත්‍යංශ, දෙපාර්තමේන්තු වල සහය අපිට ලැබිය යුතුයි. මොකද ඒ දීර්ඝකාලින ගැටළු විසඳන්න පුලුවන් වෙන්නේ මධ්‍යම රජයටයි. ඔවුන් එම ගැටළු විසදුවොත් තමයි අපිට පළාත් පාලන ආයතනයක් විදිහට නිසි සේවාවක් සපයන්න පුළුවන් වෙන්නේ. නිසි ඉඩම් අයිතියක් නැතිනම් වරිපනම් ලේඛණයට නම ඇතුලත් කරගන්න බෑ. ඒ නිසා අදාල පවුලට අවශ්ය පොදු පහසුකම් සෟජුව ලබාදීමේ හැකියාවක් නෑ. ඒක නිසා හැම වෙලේම යම් බාධාවක් සහිතව තමයි කටයුතු කරන්න වෙන්නේ. ඒ නිසා පළාත් පාලන ආයතනයත් එක්ක අනෙක් සියළුම ආයතන ඒකාබද්ධව සිදුකරන වැඩසටහනක් මගින් තමයි මෙම ජනතාවට උපරිම සේවාවක් ලබාදිය හැකි වෙන්නේ.”

ඔහුගේ පැහැදිලි කිරීම තුල යම් සත්යතාවයක් ඇති බව අපද පිළිගත යුතුය. එහෙත් ජනතාවට අවශ්‍ය මුලික පහසුකම් වන පානීය ජලය, වැසිකිලි පහසුකම්, කසළ කළමනාකරණ කටයුතු, මාර්ග නඩත්තු හා වීදි පහන් වැනි කාර්යයන් ඉටු කිරීමට හැකි උපරිම දායකත්වය අදාල පළාත් පාලන ආයතනය විසින් දැරිය යුතුය. මන්දයත්, බලයට පත්වීමෙන් අනතුරුව, පීඩාවට පත් මෙම ජනතාවට සේවාවන් සැපයීමේදි විවිධ හේතු මහජන නියෝජිතයන් විසින් පෙන්වා දුන්නද, ඔවුන්ගෙන් ඡන්දය ලබාගැනීමේදි ඒ කිසිදු හේතුවක් අපේක්ෂකයින් ඉදිරිපත් නොකරන නිසාය. එබැවින් කුමන තත්ත්වයක් යටතේ වුවද එම ජනතාවට අවශ්ය සේවාවන් සැපයිය යුතු බව අප අවධාරණය කරමු.

| සටහන හා ඡායාරූප  - නුවරඑළිය සම්පත් ජයලාල්
| සටහන හා ඡායාරූප  – නුවරඑළිය සම්පත් ජයලාල්

 

Leave A Comment