
මෙවර අයවැය
- CNL Reporter
- February 28, 2025
- CNL සතියේ ව්‍යාපාරික විවරණය
- budget
- 0 Comments
ආණ්ඩුව තමන්ට කළ හැකි සීමාව තුළ අයවැය ඉදිරිපත් කළා – ආර්ථික විද්‍යාඥ තිළිණ පඬුවාවල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගත වෙමින් ද ආර්ථික විද්‍යාඥයෙකු ලෙස තමා ද අපේක්ෂා කළ පරිදි ජාතික ජන බලවේගය ආණ්ඩුව සිය මංගල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ආර්ථික විද්‍යාඥ තිළිණ පඬුවාවල සඳහන් කළේය.
ආණ්ඩුවට කුමනාකාරයේ දේශපාලන හා ආර්ථික න්‍යාය පත්‍ර සහ උපාය මාර්ග තිබුණ ද, දේශපාලන බැඳීම් තිබුණ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති කොන්දේසි ඉක්මවා කටයුතු කළ නොහැකි බව පෙන්වා දුන් ඔහු එය යථාර්ථයක් ලෙස පිළිගත යුතු බව ද අවධාරණය කළේ ය.

අපි මේ ගැන දැනගෙන හිටියා. ආණ්ඩුව අයවැය ලේඛනයට අදාළ මූලික දත්ත ප්‍රකාශයට පත් කළ විට සිදුවිය හැකි දේ ගැන අපට පැහැදිලි අවබෝධයක් තිබුණා. ඒ නිසා අයවැය නිල වශයෙන් ඉදිරිපත් වන විට අපට පුදුම වෙන්න දෙයක් තිබුණේ නැහැ තිළිණ පඬුවාවල සඳහන් කළේය.
වත්මන් රජයට 2025 අයවැය ලේඛනය සකස් කිරීමට සිදු තිබුණේ ඉතාම පැහැදිලි සහ තීරණාත්මක ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සකස් කර දී තිබූ ප්‍රතිපත්තිමය රාමුව තුළ ය. කවුද සතටු කළ යුත්තේ, කුමන පොරොන්දු ද ඉටුකළ හැක්කේ? යන්න ගැන ආණ්ඩුවට කල්පනා කිරීමට සිදුවිය. ඒ අනුව ආණ්ඩුව ඉහළම ප්‍රමුඛතාවක් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ලබා දී ඇත. වසර තුනක කාලයක් තුළ ක්‍රියාත්මක වන ආකාරයට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ක්‍රියාත්මක වීමට නියමිත අතර එහි සැබෑ ආර්ථික බලපෑම ඉදිරි වසර වලදී දැකගත හැකි වනු ඇත.
රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමේ සැබෑ බලපෑම
මෙවැනිම තත්ත්වයක් 2015 දී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සමඟ නිර්මාණය වුණා. තවත් වසර කිහිපයක් ගත වුණ පසු එහි සැබෑ ආර්ථික ප්‍රතිවිපාක දැක ගැනීමට හැකි වුණා. කෙටි කාලීනව එහි ඍණාත්මකතා දැකගන්න නොහැකි වුණත් තවත් වසර කිහිපයක් ගත වූ පසු එය දැකගන්න පුළුවන් තිළිණ පඬුවාවල පැවසුවේය.
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවය තුළ ද පොදු අදහසක් හෝ එකඟත්වයක් නැත. මේ වන විට ද ඇතැම් අංශ සිය මැසිවිලි පමණක් නොව විරෝධය ද වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත. මේ සියලු විරෝධතා, කරුණු ඉදිරිපත් කිරීම් හමුවේ වැඩි කළ සැබෑ අගයට වඩා වැඩි වැටුපක් ගෙවීමට මහා භාණ්ඩාගාරයට සිදුවිය හැකි ය.
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට පසු වැඩිවීම මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට වෙන්කර ඇති බව පෙන්වා දුන් තිළිණ, අස්වැසුම, මහපොළ ශිෂ්‍යාධාරය ඇතුළු සමාජ සුභසාධන පහසුකම් වෙනුවෙන් ද රජය සැලකිය යුතු මුදලක් වෙන්කර ඇති බව මෙහිදී පෙන්වා දුන්නේ ය.
මේ සියල්ල මැතිවරණයට පෙර දුන් පොරොන්දු එම පොරොන්දු ඉටුකිරීමට යාම නිසා අයවැය ලේඛනයට විශාල බරක් එක් වෙනවා තිළිණ පඬුවාවල සඳහන් කළේය.
ප්‍රාග්ධන වියදම් යතාර්ථවාදී වේවිද?
ප්‍රාග්ධන වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%ක් දක්වා ඉහළ නංවා ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මහා මාර්ග සංවර්ධනය වගේම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සහාය දීම වැනි ව්‍යාපෘති පවා අන්තර්ගත වන්නේ මේ ප්‍රාග්ධන වියදම් තුළයි. නමුත් ප්රශ්නය තිබෙන්නේ වෙනත් තැනක. ප්‍රාග්ධන වියදම් ලෙස විශාල මුදලක් වෙන් කළත් අවසානයේ ඒවා ලබාදීමක් සිදුවෙන්නේ නැහැ. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. ඉන් ප්‍රධාන එකක් වන්නේ මේ ආකාරයෙන් වියදම් කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් නැහැ. ඒ වගේම සමහර විදේශ ණය සහ ප්‍රදාන නිසි කාලයට සහ ප්‍රමාණයට ලැබෙන්නේ නැහැ. වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව වන්නේ චීන ණය හෝ ආධාර යටතේ ව්‍යාපෘති ආරම්භ කිරීමයි. නමුත් මේ බොහෝ ප්‍රාග්ධන ව්‍යාපෘති ආණ්ඩුවේ සම්පූර්ණ පාලනයෙන් තොර ඒවා. මේ තත්ත්වය තුළ මෙම ව්‍යාපෘතිවල සැබෑ වියදම අවසානයේ අපේක්ෂාගත කළ මට්ටමට වඩා බොහෝ විට අඩුවිය හැකියි තිළිණ පඬුවාවල පෙන්වා දුන්නේ ය.
වත්මන් ණය ප්රශ්නය සමඟ ආණ්ඩුව අපේක්ෂා කරන ආර්ථික වර්ධනය කරා ළඟා විය හැකිවේද? යන්න ද ප්රශ්නකාරී විය හැකි වුව ද ආණ්ඩුව අපේක්ෂා කරනවාට වඩා සුළු අගයකින් හෝ ආර්ථික වර්ධනය වේගය ඉහළ යාමට ඇති හැකියාවක් තිබේ. ඊට හේතුව වන්නේ පසුගිය ආර්ථික අර්බුදයෙන් හැකිලී ගිය බොහෝ අංශ මේ වන විට යළි ප්‍රකෘතිමත් වෙමින් තිබීම ය. විශේෂයෙන් දේශීය පාරිභෝගිකයින් යළි සක්‍රිය වෙමින් සිටීම වැදගත් ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකිය.
රුපියල ශක්තිමත් වීම හමුවේ ඉදිරි වසර කිහිපය තුළ දේශීය ආර්ථිකය ශක්තිමත් විය හැකියි තිළිණ පඬුවාවල උපකල්පන කිහිපයක් ඉදිරිපත් කරමින් අනාවැකි පළ කළේ ය.
ආණ්ඩුව හමුවේ පවතින සැබෑ අභියෝග
මේ කෙටි කාලීන ආර්ථික වර්ධනය තිරසාර කර ගැනීම තමයි ආණ්ඩුව හමුවේ පවතින අභියෝගය. ඒකට හේතුව තමයි මෙම අයවැය තුළ ඒ සඳහා වන තිරසාර වැඩපිළිවෙළක් දැකගන්න පුළුවන් ද කියන එක ප්රශ්නකාරීයි. උදාහරණයක් ලෙස ජාතික විදුලිබල පද්ධතියේ තිරසාරභාවය වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් දැකගන්න නැහැ. ඒ වගේම ආර්ථිකයට වැදගත් යමක් කළ හැකි තවත් අංශ කිහිපයක් වෙත ආණ්ඩුවේ අවධානය යොමු වුණ බවක් පේන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් නිර්මාණය වුණ හේතු පැහැදිලියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හා නියාමනය තුළ යම් යම් දේවල් කරන්න අවස්ථාවක් නැහැ තිළිණ පඬුවාවල පෙන්වා දුන්නේය.
රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමට ස්වාධීනව ප්‍රතිපාදන වෙන් කිරීම තිළිණ අගය කළේය. නමුත් ඔහු පෙන්වා දුන්නේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය හෝ මාර්ග සිතියම සම්බන්ධයෙන් ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් නොමැති බවය.
බොහොම පොඩි පොඩි දේවල් කර කර ඉන්න උත්සාහයක් – ප්‍රතිපත්ති විශ්ලේෂක රොහාන් සමරජීව
අය-වැය සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කරන ලෙස ජනමාධ්‍ය කළ ඉල්ලීම තමා කාලයකදී ප්‍රතික්ෂේප කළ ආකාරය සිහිපත් කරමින් සාකච්ඡාවට එක් වූ ප්‍රතිපත්ති විශ්ලේෂක රොහාන් සමරජීව මහතා පෙන්වා දුන්නේ අයවැය ලේඛනය මඟින් ඉදිරිපත් කරන බොහෝ දේවල් ක්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් දැන් තත්ත්වය වෙනස් වී ඇති බව ය.

ඉකොනොමැට්ටා ( Economatta) නමින් ආර්ථික කොළමක් ලියන අපේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් ඇමෙරිකාවේ ඉන්නවා. ඔහු කියනවා 2024 අය-වැය ලේඛනය මඟින් ලබා දුන් පොරොන්දු හිතන්න බැරි තරම් මට්ටමකින් ක්‍රියාත්මක වුණා කියලා. එතකොට අපිට පේනවා ජාත්‍යන්තර අරමුදල විසින් අපට ලබාදී ඇති රාමුව තුළ අපේ දේශපාලනඥයින් සහ නිලධාරීන් කිසියම් වගකීමකින් කටයුතු කරනවා කියලා තමා මෙවර අයවැය ලේඛනය ගැන කතා කිරීමට පෙළඹ වූ හේතුව රොහාන් සමරජීව පැහැදිලි කළේ ය.
අයවැය ලේඛනය යනු සාම්ප්‍රදායිකව අය සහ වැය තුලනය කිරීමකි. අයවැය ලේඛනයක කේන්ද්‍රීයම සාධකය ආදායමට වඩා ප්‍රාථමික ගිණුමේ ශේෂය වේ. ඒ හරහා අය සහ වැය තුලනය කළ හැකි අතර පසුගිය 2024 අයවැය ලේඛනය තුළ මෙය නිවැරදි ලෙස සිදුකර තිබුණේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත යැපීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළාට වඩා හොඳින් අපි ඔවුන්ගේ මාර්ගෝපදේශ අනුව කටයුතු කළා. උදාහරණයක් ලෙස ඔවුන් 2024 දී බලාපොරොත්තු වුණේ 2.4%ක වර්ධන වේගයක්. එය 5%ක් පමණ ඉහළ දමා ගන්න එවකට පැවැති ආණ්ඩුව සමත් වුණා. රොහාන් සමරජීව සඳහන් කළේය.
නමුත් අපට මේ තුලනය නිසි පරිදි කරගත නොහැකි වුණොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයා ඇති රාමුව කඩා වැටුණොත් බදු වැඩි කිරීමක් සිදුවිය හැකියි ඔහු අනාවැකි පළ කළේය.
රජය අපේක්ෂා කරන ආදායම් නොලැබී ගියහොත් එය බදු ආදායම කෙරෙහි බලපාන්නේ ය. එවැනි අවස්ථාවක ආර්ථික වර්ධනයට බලපෑමක් සිදුවිය හැකි අතර එය අවධානයට ලක්විය යුතු කරුණකි.
අය වැයක දිශානතිය හෙවත් කොහෙද යන්නේ? යන ප්රශ්නය ද ඉතා වැදගත් වේ. එය ආයෝජකයින්ට සහ වෙනත් පාර්ශ්වයන්ට තමන්ගේ තීරණ ගැනීමට විශාල පිටිවහලක් වේ.
මෙන්න මෙතනදී තමයි බොහෝ අය කියන්නේ 2025 අයවැය විවෘත ආර්ථිකයට අනුකූල අයවැයක් ඒ නිසා ඒක හොඳයි කියලා රොහාන් සමරජීව මහතා සිය විශ්ලේෂණයට පදනම සකසා ගනිමින් පැහැදිලි කළේය.
2024 ජනාධිපති මැතිවරණයට පෙර රටේ ආර්ථිකය සම්බන්ධ නිල වාර්තාවක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන ආකාරයට ආදායම් බදුවලින් 24%ක් පමණයි රාජ්‍ය ආදායමට එකතු වුණේ. වැඩිම ආදායමක් 56%ක් බදු ප්‍රතිශතයක් ලැබුණේ සෑම පුරවැසියෙක් විසින්ම ගෙවන නමුත් බොහෝ විට කතා නොකරන වැට් බද්ද හරහායි. විදේශ වෙළෙඳාම මත පනවන තීරු බදු ඒ කියන්නේ ආනයනික අල, ළුෑණු ආදියට ගහන බද්ද හරහා 12%ක් උපයා ගෙන තිබෙනවා. ඊට අමතරව බදු නොවන ආදායම්වලින් 8%ක් උපයා ගෙන තිබෙනවා.
බදු නොවන ආදායම යනු මහ බැංකුව විවිධ සේවා හරහා උපයා ගන්නා ආදායම, විදුලි සංදේශ නියාමන කොමිෂම උපයා ගන්නා ආදායම, රාජ්‍ය බැංකු සහ රාජ්‍ය ව්‍යවසාය විසින් උපයා ගන්නා ශුද්ධ ආදායම සහ මුද්දර ගාස්තු ආදිය ඇතුළත් අංශයක් බව ද රොහාන් සමරජීව පෙන්වා දුන්නේ ය.
ආචාර්ය ඇන්.ඇම්. පෙරෙරා මහතා මුදල් අමාත්‍ය ධුරය දැරූ යුගයේ සිට ඇයවැය ලේඛනය තුළ රහස්‍යභාවයක් නැති බව කී සමරජීව මහතා අයවැය ඉදිරිපත් කිරීමට පෙර ගහන්න පුළුවන් සේරම බදු ගසා අවසන් කරන බවත් ඊට පසුව රාජ්‍ය ආදායම ගැන කතා කිරීමට යමක් නැති බවත් කීවේ ය.
වාහන ආනයන බදු යථාර්ථයක් වේවිද ?
දැන් අය ගැන අපි දන්නවා. ඊට පසුව වැදගත් වන්නේ වැය නේ. විසර්ජණ පනතේ මේ ගැනත් සඳහන් කරලා තිබෙනවා. ඇත්තටම අයවැය කතාවේ කරන්නේ 5%ක් වාගේ සුළු දෙයක් ගැන. ඒක ප්රචාරක කටයුත්තක් කියලා කියන්නත් පුළුවන්. අපිට මෙහිදී පැහැදිලිව පෙනී යන කරුණක් තමයි රාජ්‍ය වියදම වැඩි වෙනවා. ඒත් ආදායම වැඩි වෙන්නේ, වැඩි කර ගන්නේ කොහොමද?, රාජ්‍ය සේවක වැටුප, මූලික වැටුප වැඩි කළා. කාටත් අමතක කතාවක් තමයි රාජ්‍ය සේවයට අලුතින් 30,000ක් බඳවා ගන්න යනවා. ඔවුන්ටත් මේ අලුත් වැටුප හිමිවෙනවා. මේවට සල්ලි කොහෙන්ද? කාගෙන් ද උපයා ගන්නේ? මේ ප්රශ්නය අපිට ඇතිවෙනවා. අන්න එතකොට තමයි වාහන ආනයනය කියන කතන්දරේ එළියට එන්නේ. ආණ්ඩුවට ලොකු විශ්වාසයක් තියෙනවා වාහන ආනයන බදු හරහා විශාල මුදලක් උපයා ගන්න පුළුවන් වෙයි කියලා. ඒක යථාර්ථවාදී ද? කියන ප්‍රශ්න අපිට තිබෙනවා. මොකද බදු පැනවූ තරමට ආදායම් ලැබෙන්නේ නැහැ. වාහන ආනයනය කරන්න වෙනවා. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. හිතන තරම් පහසු එකක් නොවෙයි. මේ බදු සැර වැඩියි. ඒ නිසා අපි වාහන ගේන්නේ නැහැ. අපි තවත් කාලයක් බලාගෙන ඉන්නවා කියලා. මිනිස්සු කිව්වොත් ආණ්ඩුව අපේක්ෂා කළ බදු ආදායම නොලැබී යන්න පුළුවන්. ආණ්ඩුව සිය දැවැන්ත වියදම පියවා ගැනීම සඳහා ආදායම් සොයා ගන්නා විශ්වාසනීය ප්රභවය ගැන උපකල්පනය කරමින් රොහාන් සමරජීව පෙන්වා දුන්නේය.
ආණ්ඩුව උපකල්පනය කරන තරම් මේ තත්ත්වය සුමග නොවන බව යළි අවධාරණය කළ රොහාන් සමරජීව ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ස්ථිර ප්රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.
නමුත් අවාසනාවට ආණ්ඩුවට එවැනි ස්ථිර ප්‍රතිපත්තියක් නැති බව පේනවා. මුදල් රාජ්‍ය ඇමැතිවරයා කිව්වා මේ බදු වෙනස් වෙන්න පුළුවන් කියලා ඔහු සිහිපත් කළේය.
මේක ඉතාමත්ම වැරදි ක්‍රියාවක්. රජයේ නිලධාරීන් මේ ආකාරයෙන් කතා නොකළ යුතුයි. ඒකෙන් තේරෙන්නේ අත්දැකීම් නොමැතිකම හෝ නොදැනුවත්කමයි.
මෙවැනි අත්දැකීම් විරහිත ප්‍රකාශ හරහා ආණ්ඩුව අපේක්ෂා කරන වාහන ආනයන බදු උපයා ගැනීමට දැඩිව බාධා සිදුවිය හැකි බව පෙන්වා දුන් සමරජීව මහතා මෙවැනි ප්‍රකාශ හරහා වැට උඩ සිටින මිනිසුන්ට සිය තීරණ ගැන යළි සලකා බලන්න පහසු සහ විශ්වාසනීය වාතාවරණයක් නිර්මාණය කරන බව ද පෙන්වා දුන්නේ ය.
මේ වාගේ සිදුවීම් කිහිපයක් වුණොත් වාහන ආදායම් ප්රක්ෂේපණය වැරදී යන්න පුළුවන්. ඒක තමයි මගේ බිය රොහාන් සමරජීව ප්‍රකාශ කළේය.
ආදායම් ප්රක්ෂේපණය අවුල් වුණොත්
ආදායම් ප්රක්ෂේපණය වැරදී ගියහොත් වෙනත් ආකාරයකින් ආදායම් උපයා ගත යුතුය. පසුගිය රජය විවිධ ප්‍රභවයන් හරහා විශාල වශයෙන් බදු උපයා ගත් නමුත් වර්තමානයේ එය උපරිම සීමාව දක්වා පැමිණ තිබේ. එසේ නම් වැරදී යන ප්රක්ෂේපණවලට ප්‍රතිචාරීව ආණ්ඩුව ආදායම් උපයා ගන්නේ කෙසේ ද? රොහාන් සමරජීව මේ සම්බන්ධයෙන් සිය අදහස මෙසේ පැහැදිලි කළේය.
මේක නම් ආණ්ඩුවේ තක්සේරුව, ඒ සාධකයේ යම් කිසි ගැටලුවක් නිර්මාණය වුණොත් ඔන්න අපිට ප්‍රශ්නයක් එනවා. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් මාර්ග සිතියම, රාමුව අර්බුදයට ලක්වෙනවා. මේක තීරණාත්මක තත්ත්වයක්. උදාහරණයක් ලෙස 2024 ජනවාරීයේ දී එවකට පැවැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා. ඒත් ආණ්ඩුව ඊට පස්සේ මොකද කළේ? 15%ක්ව පැවැති වැට් බද්ද 18% දක්වා ඉහළට දැම්මා. ඒ වන විට වැට් බදු පනවා නොතිබූ භාණ්ඩ හා සේවා ගණනාවකට වැට් බද්ද ගැහුවා. ඒ හරහා තමයි වියදම් කළමනාකරණය කළේ. මේකට තමයි අය-වැය කළමනාකරණය කරනවා කියන්නේ. වැඩියෙන් වියදම් කරන්නත් පුළුවන්. ඒත් ඒ වහාම ඒ වියදම් පියවා ගන්න ආදායම වැඩි කර ගත යුතුයි. මේක තමයි අපට තිබෙන ගැටලුව.
මෙම සංකීර්ණ එමෙන්ම තීරණාත්මක ගැටලුව හමුවේ කිසිවෙකු අසුභවාදී නොවිය යුතුය. තමාගේ ප්‍රාර්ථනාව ද එවැනි අසුභ හෝ ඍණාත්මක තත්ත්වයක් උද්ගත නොව්වා! යන්න බව රොහාන් සමරජීව අවධාරණය කළේය.
තත්ත්වය අනපේක්ෂිත ලෙස වෙනස් වුණොත් තවත් නොබෝ කාලයකින් බදු වැඩි කිරීමට බොහෝ විට ඉඩ තිබෙනවා. ඒ වැනි තත්ත්වයක් තුළ යළිත් ආර්ථිකයේ වර්ධන වේගය අඩාල වෙනවා. අඩු වෙනවා. අපේක්ෂිත 5%ක වර්ධනය ලබා ගන්න පුළුවන් වෙයිද? මේ අර්බුදය තවත් අංශ කිහිපයකට ඍජුව බලපානවා. ආර්ථික වර්ධන වේගය අඩු වෙන කොට, ඊට සමගාමීව බදු ආදායමත් අඩු වෙනවා. සර්පිලාකාරව මේ ප්රශ්නය වර්ධනය වෙන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ ගැටලුව තමයි මගේ ඔළුවේ මේ දවස්වල වැඩ කරන්නේ රොහාන් සමරජීව ඉදිරියේ දී ඇතිවිය හැකි අනපේක්ෂිත තත්ත්වයක් ගැන සිය ස්ථාවරය පැහැදිලි කළේය.
අපනයන ආදායම් ඇත්තටම ඉහළ යනවාද?
මෙවැනි ඍණාත්මක තත්ත්වයන් හමුවේ පවා අපනයන ආදායම වර්ධනය කරගත හැකි ය. නමුත් අභියෝගය ඊට වඩා සංකීර්ණය. වර්තමාන සංඛ්‍යා ලේඛන අනුව අපනයන ආදායම වර්ධනය වුව ද එය පැහැදිලිවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළය. භාණ්ඩ අපනයන ආදායම සේවා අපනයන ආදායම සහ සංක්‍රාම ආදායම තුළ පැහැදිලි ප්රවණතා මේ දක්වා දකගත නොහැකිය. වෙනසක් සිදුවී නැත. සැලකිය යුතු ලෙස රුපියල අවප්‍රමාණය කර තිබුණ ද ඊට සමගාමීව අපනයනවල වර්ධනයක් සිදු වී නොමැත. මේ අනුව ඉතා පැහැදිලි ලෙස දැකගත හැකි වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන ආකාරයට අපනයන අදායම තුළ පැහැදිලි වර්ධනයක් සිදු වී නොමැති බවය.
අයවැය කතාව කියන කොට අපනයන අදායම ඉහළ නංවා ගැනීම ගැන බොහෝම ප්‍රසන්න දේවල් කියනවා ඇහෙනවා. නමුත් අපනයන ආදායම වර්ධනය කර ගන්න පුළුවන් අවස්ථාව ලැබෙන නිවැරදි දිශානතියක් තිබෙන බවක් අපට දැකගන්න පුළුවන්කමක් නැහැ. උදාහරණයක් ලෙස වත්මන් ආණ්ඩුව කියනවා ඔවුන් ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ගේනවා කියලා. ඔවුන් කියන්නේ ඉලක්කගත ක්ෂේත්රවල තීරු බදු අඩු කිරීමක් කරනවා කියලා. අපනයනය සඳහා නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවලට අදාළ ආනයනික යෙදවුම්වලට පනවා ඇති තීරු බදු අඩු කිරීමක් ගැන ආණ්ඩුව කියනවා. ඒක ප්රශ්නකාරීයි. ඊට වඩා සමස්ත තීරු බදු අඩු කිරීමක් වඩාත් ඵලදායී විය හැකියි. මේ අවස්ථාවේ දී වත්මන් ආණ්ඩුවේ ජානගත ප්‍රතිපත්තිය එළියට එනවා.
මෙහිදී රොහාන් සමරජීව පෙන්වා දුන්නේ ජාත්‍යන්තරව එකඟ වී ඇති ඇතැම් තීරු බදු අඩු කිරීම හෝ අහෝසි කිරීමට ආණ්ඩුව දැඩිව විරුද්ධ බවයි. කෝපා කමිටුව හරහා මේ බව පසුගිය දා යළි හෙළි වූ බව පෙන්වා දුන් රොහාන් සමරජීව දැඩි උත්හාසයකින් පසුව අදාළ තීරු බදු අඩු කිරීම් සිදුකළ බව ද හෙළි කළේය.
ආණ්ඩුවේ බදු ආදායමෙන් 12%ක් දැනටමත් උපයා ගන්නේ විදේශ වෙළෙඳාම මත පනවා ඇති තීරු බදු වලින්. මේ තත්ත්වය තුළ 12%ක තීරු බදු ආදායම කෙසේ හෝ රැක ගැනීමේ අභියෝගය රජය හමුවේ තිබෙනවා. යම්කිසි ආකාරයකින් මේ ආදායම අඩු වුවහොත් තවත් තැනකින් ඒක පියවා ගත යුතුයි. ඒ කියන්නේ වෙනත් බදු ප්‍රතිශතයක් ඉහළ දැමිය යුතුයි. මුදල් මුද්‍රණය කළ නොහැකි තත්ත්වයක් පවතින නිසා ආණ්ඩුවට කොහෙන් හරි සල්ලි හොයා ගන්න වෙනවා. ඒ කාගෙන්ද? කොහොන්ද? කියන එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළම නැහැ. මෙන්න මේ තත්ත්වය තුළ විදේශ වෙළෙඳාම මත පනවා ඇති තීරු බදු ආදායම අඩුකර ගන්න කරන ඔ්නෑම උත්සාහයකට විරෝධයක් එල්ල වෙන්න පුළුවන්.
නිෂ්පාදන ආර්ථිකයේ සැබෑව
වත්මන් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මීට කාලයකට පෙර කතිකාව සංවාදයට පැමිණ කළ ප්‍රකාශයක් යළි සිහිපත් කළ රොහාන් සමරජීව මහතා පෙන්වා දුන්නේ වත්මන් අයවැය ලේඛනය දෙස බලන විට එදා සුනිල් හඳුන්නෙත්ති කළ ප්‍රකාශය තහවුරු වන බවයි.
ශ්‍රී ලංකාව තුළ අගය එකතු කළ නිෂ්පාදනවල සැබෑ තත්ත්වය අප සිතනවාට වඩා සංකීර්ණයි. බොහෝ නිෂ්පාදවලට අවශ්‍ය ආනයනික යෙදවුම් සඳහා විශාල මුදලක් වැය වන අතර එය සමස්ත නිෂ්පාදන වියදම්වලින් ඉහළ ප්රතිශතයකි. මේ තත්ත්වය වත්මන් ආණ්ඩුවේ ඇතැම් ආර්ථික මූලෝපායන් ඍජුව අභියෝගයට ලක් කරයි. මෙය ආණ්ඩුව දැඩිව අවධානයට ගත යුතු තත්ත්වයක් වුව ද ඒ සම්බන්ධයෙන් නිසි වැටහීමක් හෝ අවධානයක් රජයට හෝ නිලධාරීන්ට ඇති බවක් නො පෙනේ.
2025 අය-වැය ලේඛනයේ දිශානතිය තුළ අපනයන ආදායම වර්ධනය කරනවා, රැකියා අවස්ථා බිහි කරන, නිෂ්පාදන ආර්ථිකයක් බිහි කරන හරි දර්ශනයක් මට නම් දැක ගන්න නැහැ. මට පේන්නේ බොහොම පොඩි පොඩි දේවල් කර කර ඉන්න උත්සාහයක්. බැලූ බැල්මට අයවැය හොඳයි! නමුත් අනතුරුත් තිබෙනවා. “අය” ඒ කියන්නේ ආදායම් මදි වුණොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් වියදම් කර ගන්න (වැය කරන්න) නොහැකි වුණොත් යළි තුලනයක් ඇති වෙන්න පුළුවන්. ඒත් ආදායම් අඩු වුණොත් යළිත් බදු වැඩි කිරීම් ආදිය සමඟ ආර්ථිකයට සහ ජනතාවට රිදෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.
(ජාතික ජන බලවේගය රජයේ මංගල අයවැය ලේඛනය මේ වන විට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. ඒ සමගම ආර්ථික විද්‍යාඥයින්, ප්‍රතිපත්ති විශ්ලේෂකයින් සහ පොදුවේ සාමාන්‍ය ජනතාව අයවැය ගැන කියන්නේ කුමක් ද? ඔවුන්ට එය දැනෙන්නේ කෙසේ ද? ආදි කාලීන ප්‍රශ්න රැසක් අප හමුවේ පවතී.
මෙම පසුබිම තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය “කතිකාව” සංවාදය “මෙවර අයවැය” යන මාතෘකාව යටතේ පවත්වනු ලැබුවේ ය. මේ සඳහා සම්පත්දායකයින් ලෙස ආර්ථික විද්‍යාඥ තිළිණ පඬුවාවල සහ ප්‍රතිපත්ති විශ්ලේෂක රොහාන් සමරජීව සහභාගී වූ අතර ජනමාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් සංවාදය මෙහෙයවනු ලැබීය. එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.)
සංවාද සටහන – තුෂාල් විතානගේ