මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය දැනුවත් කිරීමට සන්නාම තානාපතිවරු 100 ක් සමාජගත කෙරේ

මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිම සදහා ලොව ප්‍රථම වරට මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පුහුණුව ලත් 100 දෙනෙකුගෙන් යුත් සන්නාම තානාපතිවරුන් හෙවත් ජනතාව දැනුවත් කිරීමේ කණ්ඩායමක් ස්වේච්ඡා සේවය සදහා යොමු කරවීම (19) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දී සිදුකෙරිනි.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය හා ඊට අනුබද්ධ රෝහල මගින් එම ආයතන දෙකේ සියළු අංශ නියෝජනය වන පරිදි තෝරාගත් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම විශේෂ පුහුණුවකින් පසු මෙලෙස සන්නාම තානාපතිවරුන් ලෙස පත් කර ඇත.

එම සන්නාම තානාපතිවරුන් “මොළයේ සුවයට නිවැරදි කරුණු 10 ක්” නම් වූ මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා වූ ප්‍රධාන කරුණු 10 ක් පිළිබදව ඉදිරියේ දී ජනතාව දැනුවත් කිරීම සදහා සමාජගතවීමට නියමිතය. බිම් මට්ටමෙන් ආරම්භ කරනු ලබන මෙම වැඩසටහන ඉදිරියේ දී දීප ව්‍යාප්තව මෙරට තුල දියත් කිරීමට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය හා ඊට අනුබද්ධ රෝහල තීරණය  ඇත.

ඉදිරියේ දී ප්‍රවර්ධනය කිරීමට නියමිත මෙම “මොළයේ සුවයට නිවැරදි කරුණූ 10 ක්” නම් වූ සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාවලියට සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, කායිකව ක්‍රියාශීලිවීම, යහපත් පුරවැසියෙකු වී සමාජීය සබඳතා ඇතිකර ගැනීම, ශාරීරික බර හා ඉනේ වට ප්‍රමාණය කළමණාකරණය, දුම්බීමෙන් වැලකීම, කොලෙස්ටරෝල් මට්ටම කළමණාකරණය, රුධිර ගත සීනි මට්ටම කළමණාකරණය, රුධිර පීඩනය කළමණාකරණය, ධනාත්මක මානසික ආතතිය කළමණාකරණය, සුවදායි නින්ද  යන කරුණු ඇතුලත් වේ.

මොළයේ සෞඛ්‍යය ප්‍රවර්ධනය සහ ජනතාව දැනුවත් කිරීමට ගන්නා වූ මෙම ප්‍රයත්නය ඉතා විශිෂ්ට ක්‍රියාවක් බවත්, ඒ වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරන්නා වු සියළු දෙනා සහ එම අංශ වෙත සෞඛ්‍ය අමාත්‍යරයා ලෙස සිය කෘතවේදීත්වය පළ කරන බවත්  මෙම සමාරම්භක උත්සවයට එක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙම  ජනතාවාදී ස්වේච්ඡා සේවාව මෙරට සෞඛ්‍ය සේවාවේ පරිවර්තනීය වෙනසක ආරම්භය සනිටුහන් කරන බව ද  අවධාරණය කළේය.   රජය වාර්ෂිකව රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා විශාල මුදලක් වැය කරන බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවැනි ස්වේච්ඡා සේවාවන් තුලින් මෙරට ජනතාවට රෝගයන්ට ගොදුරුවීමෙන් වැලකී සිටීම පිළිබද උපදේශණය සහ දැනුවත්භාවය ලබාදිය හැකි බව ද වැඩිදුරටත් සදහන් කරන ලදි. මෙම වැදගත් මෙහෙවරට සහයෝගය දැක්වීමට සහ එම මෙහෙවර සමග සහයෝගයෙන් ඉදිරි කටයුතු කිරීමට රජය සැමවිටම සූදානම් බව ද ‌පැවසූ අමාත්‍යවරයා රෝග නිවාරණ කටයුතු සදහා ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් වන බැවින් ඒ සදහා ගත යුතු සියළු ක්‍රියාමාර්ග මේ වන විට ද ගනිමින් සිටින බවද පැවසීය.

බිලියන 08 ක් වන ලෝක ජනගහනය අතුරින් බිලියන 04 කට ආසන්න ප්‍රමාණයක් එනම් බිලියන 3.4 ක් මේ වනවිට මොළයේ රෝගයකින් පීඩා විදින බවත්, මොළයේ රෝග 400 ක් පමණ මේ වනවිට හදුනාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය විය. මොළයේ ප්‍රධාන ‌රෝග ලෙස අංශභාගය, ඩිමෙන්ෂියාව, මයිග්‍රේන් ඇතුලු හිසරද රෝග, අපස්මාර රෝගය, දියවැඩියා රෝගය නිසා පර්යන්ත ස්නායු වලට හානිවීම මිනිස් ජිවිතයටම වැඩිපුරම බලපෑම් සිදු කරන රෝග ලෙස හදුනාගෙන ඇති බව ද මොළයේ රෝග පිළිබදව නිසි දැනුවත්භාවය ලබාදීම තුලින් සියයට 90 කටත් වඩා රෝග වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බව ද මෙහිදී හෙලිවිය.

ගෝලීය රෝගීන් වෙනුවෙන් පෙනී සිටින සන්ධානය (Global Patient Advocacy Coalition-GPAC) සහ ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධානය (Leading international organization) යන සංවිධාන මෙම වැඩපිළිවෙල සදහා දායකත්වය ලබා දීමට ඉදිරිපත්ව සිටී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, ස්නායු රෝග පිළිබඳ ලෝක සම්මේලනයේ  මහාචාර්ය තිස්ස විඡේරත්න, මොළයේ සෞඛ්‍ය සතියේ ප්‍රධානී වෛද්‍ය ප්‍රසන්න හේරත් ඇතුලු මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

Leave A Comment