රුමේනියා රැකියා පෙන්වා මුදල් වංචා කල සහකාර කළමනාකරුවකු අත්අඩංගුවට  

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරණයෙකුගෙන් රුපියල් නව ලක්ෂ හතලිස්පන්දහසක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගියදා නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු විසින් රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායක රැකියාවක් ලබා දෙන බව පොරොන්දුවී 2023 වසරේ සිට තමන්ව රවටමින් අවස්ථා කීපයකදී මුදල් ලබා ගත් බවට බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු පසුගිය 07 වනදා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලිකර තිබිණි. ඒ අනුව කාර්යාංශය විමර්ශන දියත් කර තිබූ අතර විමර්ශනයේදි අනාවරණය වූ කරුණු අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

විදේශ රැකියා ඒජන්සි සමාගම, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර අත්අඩංගුවට පත් වන විට සැකකරු එම සමාගමේ පරිගණක අංශයේ සහකාර කළමනාකරු වශයෙන් සේවය කරමින් සිට තිබේ.

Leave A Comment