ලක්ෂ 2ක් විපතට – මරණ 5ක්: 5ක් අතුරුදන්
- 5opn1
- November 28, 2024
- දේශපාලන
- ලක්ෂ 2ක් විපතට – මරණ 5ක්: 5ක් අතුරුදන්
- 0 Comments
කාර්තිව් ඛේදවාචකය – සිරුරු සොයා මෙහෙයුම්
සුළි කුණාටුව රටින් ගියත් වැස්ස ඉවරයක් නෑ
දිස්ත්‍රික්ක 3ක ජනතාවට ඉවත්වීමේ රතු නිවේදන
හෙටත් තද වැසි සහ සුළං
කැලණි ගංගා නිම්නයේ
පහත් බිම්වල සුළු ගංවතුරක්
ඔලුවිල් පාලමටත් හානි
දිස්ත්‍රික්ක 18 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 141කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (27දා) දහවල් වනවිට පවුල් 80,642කට අයත් පුද්ගලයන් 2,76,550ක් පී්ඩාවට ලක්ව ඇති බවට වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා ඊයේ (27දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී පැවැසීය.
ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 04ක්, අතුරුදන්වීම් 06ක් සිදුව ඇතැයි ද කී ඒ මහතා පුද්ගල තුවාල ලැබීම් 09ක් ද වාර්තාවී ඇතැයි ද කීය. අතුරුදන් වී ඇත්තේ අම්පාර කාර්තිව් ප්‍රදේශයේ ට්‍රැක්ටර් රථයක නැඟී ගමන් කරමින් සිටි පාසල් සිසුන් 04 දෙනකු, ට්‍රැක්ටරයේ රියැදුරු සහ එහි සහායකයාය. මෙම සිසුන් අවුරුදු 12ත් 16ත් අතර පසුවන අතර ඔවුන් මද්රසා පාසල අවසන් වී ට්‍රැක්ටරයේ නැඟී නිවෙස් වෙත ගමන් කරමින් සිටියදී අම්පාර කාර්තිව් මාවඩ්ඩිපල්ලිය පාලම මතින් යද්දී අනතුර සිදුවී ඇත.
පෙරේදා (26දා) සවස 3.00ට පමණ මෙම අනතුර සිදුවී තිබෙන අතර එම ස්ථානයෙන් ගමන් නොකරන ලෙස පොලිස් නිලධාරීන් ඔවුන් දැනුවත් කර තිබියදීත් ට්‍රැක්ටර් රථය ධාවනය කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. ට්‍රැක්ටරයේ 13 දෙනකු ගමන් කර ඇති අතර ඉන් 05 දෙනකු බේරාගෙන ඇත. සිසුන් තිදෙනකු පිහිනා ගොස් අසල විදුලි කණුවල එල්ලී සිටියදී ද තවත් සිසුන් දෙදෙනකු අසල සිටි පිරිස් විසින් ද බේරා ගෙන ඇත.
වාහන ගමන් කිරීමට නොහැකි තත්ත්වයට මාර්ගයේ ජලය පිරී තිබීම නිසා වාහන කිහිපයක් නවතාගෙන සිටියදී එම ස්ථානයෙන් බස් රථයක් ගමන් කර ඇත. එම බස් රථය පිටුපසින් ට්රැක්ටරය ගමන් කරද්දී අනතුර සිදුවී ඇත. අනතුරෙන් ට්‍රැක්ටර් රියැදුරා සහ සහායකයා අතුරුදන් වී ඇතත් ඔවුන් දිවි ගලවාගෙන සිද්ධියට බියේ ඉදිරිපත් නොවී සිටිනවාදැයි පොලිසිය සැක කරයි.
ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස පූර්ණ හානි 08ක්, අර්ධ හානි 620ක් සිදුවී ඇති අතර පවුල් 165කට අයත් පුද්ගලයන් 15,586ක් ආරක්ෂිත ස්ථානවල රැඳවීමට පියවර ගෙන ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20කට අයත් පවුල් 34,885කට අයත් පුද්ගලයන් 123,876ක්, මන්නාරම පවුල් 14,237කට අයත් පුද්ගලයන් 49,560ක් වැඩි වශයෙන් පීඩාවට ලක්ව ඇත.
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන තත්ත්වය ඊයේ (27දා) රාත්‍රිය වනවිට සුළි කුණාටුවක් බවට පත්වී දිවයිනෙන් බැහැරව ඉන්දියාවේ තමිල්නාඩුව දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණාරත්න මහතා පැවැසීය. එම සුළි කුණාටුව “ෆෙන්ගල්” ලෙසට නම් කර තිබුණි. නැවත දැනුම් දෙනතුරු මුහුදු යෑමෙන් වළකින ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.
සුළි කුණාටුවක් බවට පත්වී දිවයිනෙන් බැහැරව ගමන් කළත් හෙට (29දා) පමණ වන තෙක් උතුර, උතුරු මැද, නැඟෙනහිර හා වයඹ පළාත්වල තද වැසි සහ තද සුළං බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුර, උතුරු මැද, නැඟෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි තද වැසි ඇතිවන බවද ඔහු කීය. මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි 29 වැනිදායින් පසුව ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවන බවද ඔහු කීය.
ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ද දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු නිවේදන නිකුත් කර තිබූ අතර ඉන් මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා ජනතාවට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබුණි. මහනුවර හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවටකෝරළේ, උඩුදුම්බර, දොළුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, දෙල්තොට, පාතදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, අඹගමුව කෝරළේ, රත්තොට, නාවුල, උකුවෙල, නුවරඑළිය, වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කර තිබුණි.
අධික වර්ෂාව හේතුවෙන් මල්වතු ඔය, පරංගි ආරු, මහවැලි ගඟ, ගල් ඔය, කලා ඔය, මාදුරු ඔය, හැඩ ඔය, කනගරායන්, යාන් ඔය, මුන්දෙනි ආරු, විල ඔය යන ඔයවල් සහ ද්‍රෝණිවල ජල මට්ටම් ඉහළ යමින් පවතින බවත් ඒවා ආශ්රිත පහත් බිම්වල ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි.
කැලණි ගඟ ද්‍රෝණියේ මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඊයේ ලැබෙමින් පැවැති නිසා පැය 48ක කාලයක් තුළ සීතාවක, දොම්පෙ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණි.
පෙරේදා සිට ඊයේ පෙරවරු 6.00න් අවසන් වූ කාලය තුළ ගම්පහට මිලිමීටර් 155.5ක් ද කෑගල්ල මිලිමීටර් 142ක්, කොළඹ මිලිමීටර් 122ක්, මුලතිව් මිලිමීටර් 155ක්, මන්නාරම මිලිමීටර් 160.5ක්, යාපනය මිලිමීටර් 190ක්, ලෙස වාර්තා වී තිබුණි.
පවතින අධික වර්ෂා තත්ත්වය හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් පී. ඩී. වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබුණි. නිවාඩු ලබා සිටින නිලධාරීන්ගේ ද නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත. ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහාය දක්වන ලෙස ලේකම්වරයා ඉල්ලා ඇත.
ආපදා තත්ත්වය හේතුවෙන් ඒ- 09 ප්‍රධාන මාර්ගය ද ඕමන්ත ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා ගමනා ගමනයට බාධා එල්ල වී තිබිණි. විපතට පත් පිරිස බේරා ගැනීම සඳහා පලාලි, රත්මලාන, හිඟුරක්ගොඩ, අනුරාධපුර, අම්පාර යන ගුවන් හමුදා කඳවුරුවල හෙලිකොප්ටර් 06ක් ස්ථානගත කර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවැසීය.
නාවික හමුදාව මගින්ද ත්‍රිකුණාමලය කණ්ඩායම් 07ක්, මඩකලපුව, අම්පාර කණ්ඩායම් 06ක් සහ මාතර කණ්ඩායම් 03ක් බෝට්ටු සමග යොමුකර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ගයාන් වික්‍රමසූරිය මහතා කීය. අම්පාර ප්‍රදේශයේ ට්‍රැක්ටර් රථයක් අනතුරට ලක්වීමෙන් අතුරුදන් වූවන් සොයා නාවික හමුදා කිමිඳුම් කණ්ඩායමක් යොදවා ඇති බවත් අවශ්‍ය ඕනෑම ස්ථානයකට යොමු කිරීම සඳහා තවත් කණ්ඩායම් 125ක් සූදානමින් සිටින බවත් ඒ මහතා කීය.
අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවී තිබූ බවට වාර්තා වූ අතර එම ස්ථානවලින් වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ඉල්ලා සිටී. විශේෂයෙන් ගංවතුර නැරඹීමට යෑම, ඔරු පැදීම වැනි ක්‍රියාවන්වල නොයෙදෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.
ආපදාවට ලක්වූවන් බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක භටයන් ඇතුළු අංශ කිහිපයක පිරිස් කටයුතු කරමින් සිටින බවට වාර්තා විය.
චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්
ඡායාරූප – දිනසේන රතුගමගේ
සමන් මල්ලවආරච්චි