
ලිංගිකව එක්වීමෙන් පසු කාන්තාවන් තෘප්තිමත් නොවීමට බලපාන හේතු 8ක්
- Sujeewa Senerath
- September 20, 2025
- විලාසිතා සහ සිදුවීම්
- sex-problems
- 0 Comments
ලිංගික විද්‍යාව පිළිබඳ විශේෂඥයින්ට සහ වෛද්‍යවරුන්ට පවා ඇතැම් විට පුද්ගලයින්ගේ, විශේෂයෙන් කාන්තාවන්ගේ ලිංගික අපේක්ෂා නිවැරදිව තේරුම් ගැනීම පහසු නැත.
සබඳතාවලදී කාන්තාවන්ට ලිංගික සතුට සඳහා දායක වන සාධක බොහොමයක් තිබේ, ඒවාට ඔවුන් තුළ ඇති සිතුවිලි සහ එම සිතුවිලි ඔවුන් කෙරෙහි ඇති කරන ශාරීරික හා චිත්තවේගීය බලපෑම් අයත් වේ.
ලිංගික සම්බන්ධතා අතරතුර ඇතැම් කාන්තාවන් ලිංගික සතුටක් අත්නොවිඳීම සහ ආදර සබඳතාවක් තිබියදීත් තෘප්තියක් දැනීම වළක්වන සාධක 8ක් මෙම වාර්තාවේ අන්තර්ගත වේ.
අතීතයේ ලද කටුක අත්දැකීම්
කාන්තාවක අතීතයේදී ලිංගික සම්බන්ධතා හෝ ලිංගිකත්වය පිළිබඳ ඇගේ දැක්ම වෙනස් කරන ආකාරයේ ප්‍රචණ්ඩකාරී හෝ කම්පනසහගත සිදුවීමකට මුහුණ දී ඇත්නම්, එය ඇයගේ අනාගත සබඳතාවලට ද ගැටලු ඇති කළ හැකි ය.
එවැනි අවස්ථාවකදී, බලපෑමට ලක්වූ කාන්තාවට තම සහකරු හෝ ස්වාමි පුරුෂයා සමග මේ පිළිබඳව විවෘතව කතා කර ඇගේ අතීත අත්දැකීම් බෙදා ගැනීමට දිරිමත් කරනු ලැබේ.
කෙසේ වෙතත්, ඕනෑ ම කාන්තාවකට තම ස්වාමි පුරුෂයා හෝ සහකරු ඇතුළු වෙනත් පුද්ගලයෙකු සමග එවැනි මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කිරීම දුෂ්කර විය හැකි අතර, එවැනි තත්ත්වයකදී, විශේෂඥයින්ගෙන් උපකාර ලබා ගත හැකි ය.
මැඩ්රිඩ් මනෝචිකිත්සක හා සන්නිවේදන ආයතනයේ ප්‍රධානී වෛද්‍ය හෙක්ටර් ගැල්වන් පවසන්නේ, “මෙවැනි කම්පනසහගත අත්දැකීම් පිළිබඳ මතකයන් ඉතා වේදනාකාරී වන නිසා අතීතයේ සිදුවූ දේ ගැන කතා කිරීමෙන් ආතතිය වැඩි වන හෙයින් එය ඉතා අසීරු තත්ත්වයක්,” බවය.
තෙහෙට්ටුව
වෛද්‍ය ගැල්වන් පවසන්නේ, ඔහුගේ අත්දැකීමට අනුව, බොහෝ කාන්තාවන්ට තෙහෙට්ටුව නිසා ලිංගික සංසර්ගයෙන් පසුව පවා තෘප්තිය අත්කර ගැනීමට නොහැකි වන බව ය.
‘ඕනෑ ම කෙනෙකුට ලිංගික තෘප්තිය අත්විඳින්න නිදහස සහ සැනසීම අවශ්‍ය යි.’
ඔබේ ශරීරය වෙහෙසට පත්ව තිබුණ ද, ඔබට යම් සතුටක් දැනෙන්නට පුළුවන, නමුත් සැබෑ විවේකයක් ලැබෙන්නේ, ඔබේ ශරීරය සහ මනස සන්සුන්ව හා ආතතියෙන් තොර වූ විට පමණක් බව වෛද්‍ය ගැල්වන් පවසයි.
කාන්තාවෝ බොහෝ විට දෛනික වැඩ, ගෙදර දොරේ වැඩ සහ දරුවන් රැක බලා ගැනීමෙන් වෙහෙසට පත්ව සිටිති. මේ නිසා ඔවුන්ට ලිංගිකව තෘප්තිමත් බවක් දැනෙන්නේ නැතත්, ඔවුහු ඇතැම් අවස්ථාවලදී තමන් සෑහීමකට පත්වූ බව මවාපාති.
මනෝ විද්‍යාඥයින් පවසන්නේ, එවැනි තත්ත්වයන් වළක්වා ගත යුතු බව ය. ඔවුන් යෝජනා කරන්නේ, යුවළක් එකිනෙකා තේරුම් ගැනීම සහ මෙම ගැටලු එක්ව විසඳා ගැනීමට විවෘතව කතා කළ යුතු බව ය.
සන්නිවේදනයේ ඇති දුර්වලතා
ලිංගිකව එක්වීමේදී, අපගේ සහකරුට හැඟෙන ආකාරය අපට සමහර විට අනුමාන කළ හැකි නමුත්, අපට ඔවුන්ගේ හැඟීම් සම්පූර්ණයෙන් ම අත්විඳිය නොහැක.
ඔබේ සහකරුගේ හැඟීම් ඔවුන්ගේ හඬෙන්, චලනයන් සහ ප්‍රකාශන මගින් ඔබට තේරුම් ගත හැකි ය. එහෙත්, හොඳ ම ක්‍රමය වන්නේ ඔබ දෙදෙනාට ම හැඟෙන ආකාරය ගැන විවෘතව කතා කිරීම ය.
විශේෂඥයින් පවසන්නේ, බොහෝ කාන්තාවන්ට තම සහකරුට නිදා ගැනීමේ විලාසය වෙනස් කරන ලෙස පැවසීම පවා අපහසු බව ය.
ඔබේ සහකරුට ඔබේ ප්‍රමුඛතා සහ අවශ්‍යතා ඔවුන්ට තේරුම් ගත හැකි වන පරිදි පැවසිය යුතු බවට විශේෂඥයෝ උපදෙස් දෙති.
‘ෆෝප්ලේ’ අවම වීම
මෑත වසරවලදී මිනිසුන් පූර්ව ලිංගික උත්තේජනයන් සඳහා වැඩි කාලයක් ගත කර ඇති බව වෛද්‍ය කන්ග්වාන් පවසයි. පූර්ව ලිංගික උත්තේජන යනු ලිංගිකත්වයට පෙර සිදුවන චිත්තවේගීය, ශාරීරික හෝ මානසික ක්‍රියාකාරකම් වන අතර එය සමීපභාවය සූදානම් කිරීමට උපකාරී වේ.
ගැටලුව වන්නේ, ඒ සඳහා කොපමණ කාලයක් වැය කරනවා ද? යන්න පමණක් නොව, පූර්ව උත්තේජන අවස්ථාවේදී කළ යුතු දේ සහ එය කරන්නේ කෙසේ ද? යන්න ය.
කාන්තාවන් ලිංගිකව එක්වීමට පෙර තම සහකරුට තමන්ට අවශ්‍ය දේ සහ එය සිදු කර ගන්නේ කෙසේ ද යන්න පැහැදිලිව පැවසීම වඩා හොඳ ය.
“කාන්තාවන් ගොඩක් වෙලාවකට කියන දෙයක් තමයි පිරිමින් කරන්නේ මොකක් ද? කරන්නේ කොහොම ද? කියලා දැනුවත් නැහැ කියන එක, නමුත් ඔවුන් ඒ ගැන සිය සහකරුවන්ට කියන්න බය වෙන්නේ ඒකෙන් ඔවුන්ගේ හිත රිදෙයි, එහෙම නැත්නම් තමන්ව අපහසුතාවට පත් වෙයි කියලා ඔවුන් කනස්සල්ලට පත්වෙනවා,” යැයි වෛද්‍ය කන්ග්වාන් පවසයි.
ලිංගික ආශාව අවම වීම
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, ගර්භණී සමයේදී, දරු ප්‍රසූතියෙන් පසු හෝ ආර්තවහරණය වැනි අවස්ථා අතරතුර කාන්තාවන්ට ජීවිතයේ විවිධ කාලවලදී මානසික ආතතියට මුහුණ දිය හැකි බව ය.
ආතතිය, කාංසාව, ඖෂධවල අතුරු ආබාධ හෝ හෝර්මෝන වෙනස්කම් කාන්තාවකගේ ලිංගික ආශාව අඩු කළ හැකි ය. ඒවා, ආදර සම්බන්ධතාවකදී ඇයට දැනෙන ආකාරය සම්බන්ධයෙන් ද බලපෑම් එල්ල කළ හැකි ය.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, කාන්තාවකගේ ශරීරයේ ටෙස්ටස්ටෙරෝන් අඩුවෙන් නිපදවන විට, එය ලිංගික ආශාව අඩුවීමට හේතු වේ. මෙය හෝර්මෝන ආශ්රිත ග්‍රන්ථිවල ගැටලුවක් නිසා ද ඇති විය හැකි ය.
එවැනි අවස්ථාවක, විශේෂඥයින් වහා ම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස නිර්දේශ කරයි.
තමන්ගේ කැමැත්ත සහකරු මත පැටවීම
Mindfulness and Dating ආයතනය ලිංගික ගැටලුවලට මුහුණ දී සිටින යුවළවල් සම්බන්ධයෙන් අධ්‍යයනය කළ විට, ඇතැම් අය සිය සහකරුවන් තමන් පෞද්ගලිකව කැමති දේ පමණක් කිරීමට බලපෑම් කරන බව සොයා ගත් බව විශේෂඥයින් පවසයි.
ඒ නිසා සෑම විට ම සන්සුන්ව හා සැහැල්ලුවෙන් සිටීම වැදගත් වන අතර ඔබේ කැමැත්ත ඔබේ සහකරු මත බලෙන් පැටවීමට කටයුතු නොකළ යුතු ය.
ලිංගික ක්‍රියා අතරතුර ඇති වන අපහසුතා
කාන්තාවන්ට ලිංගික තෘප්තිය ලබා ගැනීමට නොහැකි වීමට තවත් හේතුවක් වන්නේ ලිංගිකව එක්වීමේදී ඇති වන දැඩි වේදනාව යි.
‘vaginismus’ යනු කාන්තාවකගේ යෝනි මාංශ පේශි දැඩි වී ලිංගිකව එක්වීමේදී දැඩි වේදනාවක් ඇති කරන තත්ත්වයකි.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම තත්ත්වය ඇතැම්විට කාන්තාවන්ට ලිංගිකව හැසිරීමට ඇති උනන්දුව අඩු කළ හැකි බව ය.
කාන්තාවකට ලිංගිකත්වය පිළිබඳ ඍණාත්මක හැඟීම් ඇති විට හෝ දරු ප්‍රසූතියේදී හෝ ශල්‍යකර්මයක් අතරතුර කම්පනයකට මුහුණ දී ඇත්නම් එම තත්ත්වය ඇති විය හැකි බව වෛද්‍ය ගැල්වන් පවසයි.
“මොළය ලිංගිකත්වය දඬුවමක් හෝ වේදනාවක් ලෙස සිතන විට, කාන්තාවකගේ ආශාව අඩු වන අතර ඇය සමීපභාවයෙන් වැළකී සිටිනවා,” යනුවෙන් වෛද්‍ය ගැල්වන් පවසයි.
යෝනි මාර්ගයේ වියළි බවක් හෝ ආසාදනයක් ඇත්නම් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සුදුසු ය.
විවාහ සබඳතාවල පවතින ගැටලු
විශේෂඥයින් පවසන්නේ, විවාහයක පවතින ආතතිය කාන්තාවන්ට ලිංගිකත්වය කෙරෙහි ඇති උනන්දුව අඩු වීමට තවත් ප්‍රධාන හේතුවක් බව ය.
“සමහර විට මිනිසුන් ඔවුන්ගේ ලිංගික දුර්වලතා ගැන අපට පැමිණිලි කරනවා, නමුත් අපි ඒ ගැන හොයා බලද්දී, ගැටලුව ඇත්ත වශයෙන් ම ඔවුන්ගේ සම්බන්ධතාවයේ තියෙන්නේ කියලා අපට වැටහෙනවා,” වෛද්‍ය කෙල්වින් පවසයි.
සම්බන්ධතාවයේ ගැටලු ඇති කරන වැරදි වැටහීම් සහ ආරවුල් හඳුනාගෙන ඒවා නිවැරදි කිරීම මෙහිදී වැදගත් බව ඔවුහු පවසති.
(බීබීසී උර්දු සේවය)
(bbc.com/sinhala)