ලොව විශාලතම ජල විදුලි වේල්ල ටිබෙටයේ ඉදිකිරීමට චීනය සැරසෙයි
- 5opn1
- December 28, 2024
- විශේෂාංග
- ලොව විශාලතම ජල විදුලි වේල්ල ටිබෙටයේ ඉදිකිරීමට චීනය සැරසෙයි
- 0 Comments
ගාවින් බට්ලර්
ටිබෙටයේ ලොව විශාලතම ජලවිදුලි වේල්ල ඉදිකිරීමට චීනය අනුමැතිය දී ඇත.
ඒ, ටිබෙටයේ ජනකොටස් අවතැන් වීම සහ වේල්ලෙන් පහළ කොටස වන ඉන්දියාවේ සහ බංග්ලාදේශයට සිදුවන පාරිසරික බලපෑම් පිළිබඳ කනස්සල්ල ඉහළ නංවමිනි.
යාර්ලන්ග් සංග්පෝ ගඟේ පහළ ප්‍රදේශයේ ඉදිවෙන මෙම වේල්ල මගින් දැනට ලොව විශාලතම ජලවිදුලි බලාගාරය වන ත්‍රී ගොර්ජස් (Three Gorges) වේල්ලට වඩා තුන් ගුණයක බලශක්තියක් උත්පාදනය කළ හැකියි.
චීන රාජ්‍ය මාධ්‍ය මෙම සංවර්ධනය “පාරිසරික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ආරක්ෂිත ව්‍යාපෘතියක්” ලෙස විස්තර කර ඇති අතර, එය දේශීය සමෘද්ධිය ඉහළ නංවන බවත් චීනයේ දේශගුණික මධ්‍යස්ථතා ඉලක්කවලට දායක වනු ඇතැයි ද පවසයි.
කෙසේ වෙතත්, මානව හිමිකම් කණ්ඩායම් සහ විශේෂඥයින්, සංවර්ධනයේ ප්‍රතිවිපාක පිළිබඳ කනස්සල්ල මතු කර ඇත.
වේල්ල ඉදිකිරීම – 2020 අගභාගයේදී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද අතර දේශීය ප්‍රජාවන් අවතැන් වීමේ අවදානම මෙන්ම, ටිබෙට් සානුවේ විවිධත්වයෙන් යුත් දේශීය පරිසර පද්ධතිවලට මෙන්ම ස්වාභාවික භූ දර්ශනයට සැලකිය යුතු ලෙස බලපෑමක් එල්ල කිරීමට සහ හානි කිරීමට හැකි වනු ඇතැයි යන බිය ඔවුන් අතර වේ.
චීනය ටිබෙටයේ වේලි කිහිපයක් ඉදිකර ඇති අතර, 1950 ගණන්වල ටිබෙටය තම පාලනයට ඈඳාගත් දා සිට දැඩි පාලනය යටතේ පවතින කලාපයක සංවේදී ගැටලුවක් බවට පත්ව තිබේ.
ක්‍රියාකාරීන් බීබීසීයට පවසා ඇත්තේ මෙම වේලි ටිබෙටය සහ එහි ජනතාව සූරාකෑමට බීජිං හි තවත් උදාහරණයක් බවයි. ප්‍රධාන වශයෙන් බෞද්ධ ටිබෙටයේ වසර ගණනාවක් පුරා මර්දන රැල්ලක් දැක ඇති අතර, දහස් ගණනක් ඝාතනය කර ඇතැයි විශ්වාස කෙරේ.
මෙම වසර මුලදී, තවත් ජලවිදුලි වේල්ලකට එරෙහිව විරෝධතාවයේ නිරත වූ ටිබෙට් ජාතිකයන් සිය ගණනක් චීන රජය විසින් වටලා තිබුණි. එය අවසන් වූයේ අත්අඩංගුවට ගැනීම් සහ පහරදීම් වලින් වන අතර එහිදී ඇතැම් පුද්ගලයන් බරපතල තුවාල ලැබූ බව, මූලාශ්‍ර සහ සත්‍යාපනය කරන ලද දර්ශන ඔස්සේ බීබීසීය දැනගත්තේය.
ගම් කිහිපයක් අවතැන් කරමින් සහ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති පුරාණ ආරාම යටපත් කරමින් ගින්ග්ටෝ වේල්ල සහ ජල විදුලි බලාගාරය ඉදිකිරීමේ සැලසුම්වලට ඔවුන් විරුද්ධ වී ඇත. කෙසේ වෙතත්, බීජිං පැවසුවේ ඔවුන් ප්‍රදේශවාසීන් නැවත ස්ථානගත කර වන්දි ලබා දී ඇති බවත්, පෞරාණික බිතුසිතුවම් ආරක්ෂිත ස්ථාන වෙත ගෙන ගිය බවයි.
යාර්ලන්ග් සංග්පෝ වේල්ල සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන බලධාරීන් අවධාරණය කර ඇත්තේ මෙම ව්‍යාපෘතියෙන් විශාල පාරිසරික බලපෑමක් ඇති නොකරන බවයි. නමුත් එමගින් කොපමණ පිරිසක් අවතැන් වන්නේ දැයි, ඔවුන් සඳහන් කර නැත. ත්‍රී ගෝර්ජස් ජල විදුලි වේල්ල ඉදිකිරීමේදී මිලියන 1.4 ක ජනතාවක් නැවත පදිංචි කිරීමට අවශ්‍ය විය.
ටිබෙටයේ දිගම ගංගාව වන යාර්ලන්ග් සංග්පෝ හි ගලායාම වෙනතකට යොමු කරමින්, දැවැන්ත සංවර්ධනය සඳහා අවම වශයෙන් කිලෝමීටර් 20ක් දිග උමං මාර්ග හතරක් නම්චා බරවා කන්ද හරහා හෑරීමට අවශ්‍ය වනු ඇති බව වාර්තා පෙන්වා දෙයි.
විශේෂඥයින් සහ නිලධාරීන් කනස්සල්ලට පත්ව සිටින්නේ වේල්ල මගින් චීනයට දේශසීමා හරහා ගලා යන ගංගාව පාලනය හෝ වෙනතකට හැරවීමට හැකි බවය. එය ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් සහ ඇසෑම් ප්‍රාන්තවලට ගලා යන අතර අවසානයේ බංග්ලාදේශය දෙසට ගලා යයි.
චීනය දෙවුන්දර තුඩුවේ රේඩාර් කඳවුරක් පිහිටුවීමට සූදානම් වනවාද?
ඕස්ට්‍රේලියාව පදනම් කරගත් විශේෂඥයින් ගෙන් සමන්විත වන ලෝවි ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2020 වාර්තාවක් සඳහන් කළේ, “[ටිබෙට් සානුවේ] මෙම ගංගා පාලනය කිරීම තුළින් චීනයට ඉන්දියාවේ ආර්ථිකයට බාධාවක් එල්ල කිරීමට ඉඩ ලබා දෙන” බවයි.
2020 දී යාර්ලන්ග් සංග්පෝ වේල්ල ව්‍යාපෘතිය සඳහා චීනය සිය සැලසුම් ප්‍රකාශයට පත් කිරීමෙන් ටික කලකට පසු, ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පැවසුවේ “චීන වේලි ව්‍යාපෘතිවල අහිතකර බලපෑම අවම කිරීම සඳහා” විශාල ජල විදුලි වේල්ලක් සහ ජලාශයක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය ගවේෂණය කරමින් සිටින බවයි.
යෝජිත වේල්ල පිළිබඳ ඉන්දියාවේ කනස්සල්ලට චීනයේ විදේශ අමාත්‍යාංශය මීට පෙර ප්‍රතිචාර දක්වා ඇති අතර, 2020 දී එම අමාත්‍යංශය පැවසුවේ චීනයට ගඟට වේලි ඉදි කිරීමට “නීත්‍යානුකූල අයිතියක්” ඇති බව සහ පහළ ප්‍රදේශවලට ඇති වන බලපෑම් සලකා බලා ඇති බවයි.
යාර්ලන්ග් සංග්පෝ මිටියාවත, යාර්ලන්ග් සැන්ග්බෝ මිටියාවත ලෙසද හැඳින්වේ, එය ලෝකයේ ගැඹුරුම ස්ථානයයි
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස ගඟේ බලය ප්‍රයෝජනයට ගැනීමේ උත්සාහයක් ලෙස චීනය පසුගිය දශකය පුරා යාර්ලන්ග් සංග්පෝ මාර්ගය ඔස්සේ ජල විදුලි බලාගාර කිහිපයක් ඉදිකර ඇත. පෘථිවියේ ගැඹුරුම මිටියාවත හරහා ගලා යන ගංගාවේ එක් කොටසක් කිලෝමීටර් 50ක දුරක් තුළ මීටර් 2000ක් පහළට ඇද වැටෙන අතර එමඟින් ජල විදුලිය නිපදවීමට විශාල විභවයක් ලබා දේ.
ගංගාවේ ගලා බසින කලාපයේ ඇති භූ විෂමතාව ප්‍රධාන ඉංජිනේරු අභියෝග මතු කරන අතර, මෙම නව වේල්ල චීනයේ විශාලතම සහ වඩාත්ම අභිලාෂකාමී එකක් වේ.
ඉන්දීය සාගරයේ “චීන ව්‍යාප්තියට වැට බැඳීමට” ඩොලර් බිලියන 1.3ක වරාය ලංකාවට තර්ජනයක් ද?
ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය භූමිකම්පා ඇති වන භූගෝලීය තැටි මායිමක් ආසන්නයේ පිහිටා ඇත. එවැනි පුළුල් කැණීම් සහ කඳු බෑවුම් සහිත පටු දුර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් නායයෑම් වාර ගණන වැඩි වනු ඇතැයි චීන පර්යේෂකයන් මීට පෙර මතු කර තිබිණි.
“භූමිකම්පාවෙන් ඇතිවන නායයෑම් සහ මඩ-ගල් ගලායාම බොහෝ විට පාලනය කළ නොහැකි වන අතර ව්‍යාපෘතියට විශාල තර්ජනයක් වනු ඇත” 2022 දී සිචුවාන් පළාත් භූ විද්‍යා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙක් පැවසුවේය.
චොන්ගි ජල සම්පත් කාර්යාංශයේ ඇස්තමේන්තුවලට අනුව ව්‍යාපෘතිය සඳහා යුවාන් ට්‍රිලියනයක් ($127bn; £109.3bn) තරම් වැය විය හැකිය.
BBC