වැරදි ආහාර භාවිතයෙන් කරන ප්‍රතිකාර සඳහා අයුර්වේදයට වියදම් කරන මුදල මෙන් හතලිස් ගණයක් වැය කරනවා – සෞඛ්‍ය අමාත්‍ය

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට රජය  වාර්ෂික ව වියදම් කරන මුදල මෙන් හතළිස් ගුණයකටත් වඩා වැඩි මුදලක් වැරදි ආහාර භාවිතය හේතුවෙන් ඇති වන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමට වියදම් කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු අනාවරණය කළේ ජාතික ඔසු වගා ව්‍යාපෘතිය සහ ඔසු එකතු කිරීමේ වැඩසටහන යටතේ  ආයුර්වේද දෙපාර්තමේන්තුව මහනුවර  දිස්ත්‍රික්කයේ පල්ලේකැලේ පිහිටි “ජනසවිගම” පිහිටුවා ඇති “පර්යේෂණ හා ව්‍යාප්ත සේවා ඔසු උයන”  නිරීක්ෂණයට පසුගිය දා එක් වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, වැරදි ආහාර රටාවන් සමග ඇති වී තිබෙන රෝග තත්ත්වයන් අප රටට දරාගත නොහැකි ගැටළුවක් බවට පත් වී තිබෙන බවත් ප්‍රතිකාර සේවාවන් සඳහා විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුව ඇති බවත්, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට රජය වියදම් කරනවා මෙන් හතළිස් ගුණයකටත් වඩා වැඩි මුදලක් වැරදි ආහාර භාවිතය නිසා ඇති වන ලෙඩ රෝගවලට ප්‍රතිකාර ලබාදීම සදහා රජයට වාර්ෂික ව වියදම් කිරීමට සිදුව ඇති බව ද පැවසීය.

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සෞඛ්‍ය යනුවෙන් හඳුන්වන්නේ ප්‍රතිකාර කිරීම පමණක් නොවන බවත්, ආහාර එම වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන කොටසක් බව ද පැවසූ අමාත්‍යවරයා රෝග වැළැක්වීමට කටයුතු නොකර ඖෂධ සහ ප්‍රතිකාර වෙනුවෙන් කොතරම් මුදල් වියදම් කළ ද ඉන් ඵලක් නොවන බව මෙහි දී අවධාරණය කළේ ය. එම කරුණු සලකා බලා සියලු  අංශ එක් කරමින් වසර 03 ක අඛණ්ඩ යහපත් පෝෂණ වැඩසටහනක් සකස් කළ යුතු බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මඟ පෙන්වීම මත ආයුර්වේද ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබන ඖෂධ නිෂ්පාදන ජාලය ශක්තිමත් කිරීමට ජාතික ඔසු වගා ව්‍යාපෘතියක් සහ ඔසු එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක අතර ඉදිරි වසර 05 ක කාලය ඉලක්ක කර ගනිමින් එය ක්‍රියාත්මක කෙරෙන බව ද මෙහි දී අනාවරණය විය. මෙම වැඩසටහනේ පළමු අදියර මේ වන විට ක්‍රියාවට නංවා ඇත.

දැනට ආයුර්වේද දෙපාර්තමේන්තුව සතුව ඇති පර්යේෂණ ඔසු උයන් 07 ක් වන අතර ගිරාදුරුකොට්ටේ, පල්ලෙකැලේ, හල්දුම්මුල්ල, පින්නදූව, පටිටිපොල, කන්නෙලිය, නාවින්න ඔසු උයන් ඒ අතර වේ. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යටතේ නිකවැරටිය, මැදවච්චිය, දංගොල්ල හා අඹන්පොල  ඔසු උයන් පිහිටුවා ඇත.

මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට මෙරට ඔසු උයන් ජාලය ශක්තිමත් කරමින් දේශීයව ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරන බවයි. දේශීයව ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඖෂධීය අමුද්‍රව්‍ය 130 කට අධික ප්‍රමාණයක් විදේශයන්ගෙන් මෙරටට ආනයනය කරනු ලබන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සදහා වාර්ෂිකව විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බව ද පැවසී ය. විදේශයන්ගෙන් ආනයනය කරන ඖෂධීය අමුද්‍රව්‍ය වර්ග අතුරින් විශාල ප්‍රමාණයක් මෙරට වගා කළ හැකි ඖෂධ වන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

ඔසු උයන් කේන්ද්‍රීයව දේශීය ඖෂධ මෙරට නිෂ්පාදනය කරමින් අතිරික්ත දේශීය ඖෂධීය අමුද්‍රව්‍ය විදේශ රටවලට අපනයනය කර විදේශ විනියම උපයා ගැනීමටත්, දේශීය ඖෂධ මෙරට නිෂ්පාදනය කිරීම තුළින් මෙරට ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සවිබල ගැන්වීමටත් මෙම  ජාතික ඔසු වගා ව්‍යාපෘතියේ සහ ඔසු එකතු කිරීමේ ව්‍යාපෘතියේ අරමුණක් වන බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි.

ඔසු උයනේ වූ ශාකමය ඖෂධ පැළෑටි සිය නිරික්ෂණයට ලක් කළ අමාත්‍යවරුන් ඔසු උයන් භූමියේ ඖෂධීය වටිනාකමකින් යුත් ශාක රෝපණය කිරීමට ද කටයුතු කරන ලදී.

මෙම නිරීක්ෂණ චාරිකාවට සහ සාකච්ඡාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී.එස් අබේකෝන්, මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් ඩබ්.ඩි.සි වික්‍රමතිලක, ආයුර්වේද කොමසාරිස් ආචාර්ය වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් සෞඛ්‍ය ලේකම් ජගත් අධිකාරි, පර්යේෂණ හා ව්‍යාප්ත සේවා ඔසු උයනේ අධීක්ෂණ වෛද්‍ය නිලධාරි .ආර්.ආර්.එම්.ආර්.වී. ඩබ්.කේ මැදගම යන මහත්ම  මහත්මින් සහ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

Leave A Comment