ශ්‍රම වෙළෙඳපොළට සරිලන පුහුණු ශ්‍රම බළකායක් අවශ්‍යයි

-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

රජයේ සංවර්ධන දැක්ම අනුව රටට අවශ්‍ය වන්නේ දේශීය සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීමට සූදානම් පුහුණු ශ්‍රම බළකායක් ගොඩනැඟීම බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. අගමැතිවරිය මේ බව කියා සිටියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (27) පැවති ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ඩිප්ලෝමා හැදෑරූ සිසුන් වෙනුවෙන් සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ විෂයයන් 13ක් යටතේ ඩිප්ලෝමාව හැදෑරූ තරුණ තරුණියන් 761 දෙනකු වෙත සහතික පත් ප්‍රදානය කෙරුණු මේ අවස්ථාවේදී අගමැතිවරිය මෙසේද පැවසුවාය:

“රටක්, ජාතියක් දියුණු වීමට, සමාජයක් දියුණු වීමට විවිධ කුසලතා ඇති පුද්ගලයන් අවශ්‍යයි. රටේ අධ්‍යාපන ක්‍රමය මඟින් කිසිවකු අත් නොහැර ඉදිරියට ගැනීමයි අපේ රජයේ අරමුණ. අපේ තාරුණ්‍ය කුසලතා පූර්ණ රැකියා සඳහා ඍජුවම අදාළ වන පුද්ගලයන් ලෙස සන්නද්ධ කළ යුතුයි. ඒ වගේම ව්‍යවසායකත්ව දක්ෂතා ඇති ශ්‍රම බළකායක් කළ යුතුයි. ඒ මඟින් ශ්‍රම වෙළෙඳපොළ සහ තරුණ ප්‍රජාව අතර පවතින කුසලතා පරතරය අඩු කළ හැකියි. වෘත්තීය අධ්‍යාපනය, කාර්මික අධ්‍යාපනය හෝ ශ්‍රම වෙළෙඳපොළට ඍජුවම සම්බන්ධ වූ පුහුණු අවස්ථා බොහෝ දෙනකුට අත් කරගත හැකි පරිදි පාසලේ සිට තෘතීයික මට්ටම දක්වා තරුණ තරුණියන්ට තාක්ෂණික අධ්‍යාපනය සහ වෘත්තීය කුසලතා ඇති කරදීමට අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අප සැලසුම් කර තිබෙනවා.

“සෑම වෘත්තියකටම වටිනාකමක් ලැබිය යුතුයි. තමන් කැමැති ඕනෑම වෘත්තියකට පිවිසෙන සෑම පුද්ගලයකුම සමාජයේ වැදගත් සහ වටිනා සාමාජිකයකු ලෙස හැඟෙන බවට සහතිකයක් ඇති විය යුතුයි. තෝරාගත් වෘත්තිය තුළ, ඔහුට හෝ ඇයට දියුණු විය හැකි බවට විශ්වාසයක් ඇති කිරීමත් අවශ්‍යයි.

“අපේ රටට යහපත් අනාගතයක් නිර්මාණය කරන්න ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට හොඳ හැකියාවක් තිබෙනවා. ඒ සඳහා වන අවස්ථා වැඩි කරන්න වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය සංවර්ධනය කිරීම ඉතා වැදගත්. විශේෂයෙන් පුහුණු මධ්‍යස්ථානවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ධාරිතා සංවර්ධනයෙන් පුහුණුවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ වෘත්තීය අධ්‍යාපනය තුළ තරුණයන්ට ගමන් කළ හැකි විවිධ මාර්ග සහතික කිරීම සහ නිර්මාණය කිරීම අවශ්‍යයි. වෘත්තීය හා කාර්මික අධ්‍යාපන ක්ෂේත්‍රය ඇසුරෙන් තරුණ තරුණියන්ට ඉහළ අවස්ථා සලසා දීමට රජය කටයුතු කරනවා. රජයේ සංවර්ධන දැක්ම අනුව රටට අවශ්‍ය වන්නේ දේශීය සහ ගෝලීය වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීමට සූදානම් පුහුණු ශ්‍රම බළකායක් ගොඩනැඟීමයි.”

වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩ බලන සභාපති සමන්ති සේනානායක, අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් ප්‍රියන්ත වීරසිංහ මහත්ම මහත්මීන් සහ ඩිප්ලෝමාලාභීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

නුවන් කොඩිකාර

 

Leave A Comment