ශිෂ්‍යත්වය යළි පැවැත්වීම සුදුසු නෑ – කැබිනට් තීරණය නීතිපති උසාවියට දන්වයි

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වීම නුසුදුසු බවට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (02දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හා ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත විභාගය පැවැත්වීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් කීපයක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා, විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා ඒ බව දැනුම් දුන්නේය.

එම පෙත්සම් ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙන්නප්පුලි හා මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි. පෙත්සම්කරුවන් ඉල්ලා ඇති පරිදි ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව දැනුම්දීම සඳහා එම නඩුව ඊයේ (02දා) කැඳවිණි.

පසුගිය 26 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කීපයක් ඉදිරිපත් කොට ඇති බවත් එහිදී පෙන්වාදුන් සොලිසිටර් ජනරාල්වරයා විභාගයට මුහුණදුන් සියලුම සිසුන්ට ප්‍රශ්නගත ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීම ඉන් ප්‍රධාන නිර්දේශයක් බව පැවැසීය. එකී ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට ඉඩ ඇති බැවින් එම විභාගය දෙවැනිවරට පැවැත්වීම නුසුදුසු බවට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි ද පැවැසීය. එමෙන්ම එලෙස යළි ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම මගින් විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට පැවැත්වීමට සැලසුම් කර ඇති සෙසු විභාගවලට දැඩි බලපෑමක් සිදුවිය හැකි බවද සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවැසීය. එමගින් හය වන ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාදාමය ද ප්‍රමාද විය හැකි යැයි ද පැවැසූ සොලිසිටර් ජනරාල්වරයා එම පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේදී විභාගයට ගන්නා ලෙසට ද ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනුකර ඇතැයි ද පැවැසීය. පෙත්සම් විභාගය ලබන දෙසැම්බර් 11 වැනිදා දක්වා කල් තැබිණි.

එම පෙත්සම් පසුගිය 18 වැනිදා කැඳවූ අවස්ථාවේදි එකී පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම, ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු අත්හිටුවීම ඇතුළු අතුරු තහනම් නියෝග හතරක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කොට තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

Leave A Comment