
සෞඛ්‍ය ඇමැති නලින්ද ගමේ රෝහල බලන්න යයි
- CNL Reporter
- February 11, 2025
- දේශපාලන
- සෞඛ්‍ය ඇමැති නලින්ද ගමේ රෝහල බලන්න යයි
- 0 Comments
අඩුපාඩු විසදන්නත් උපදෙස්
ඖෂධයකට, ඇඳකට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවාවකට පමණක් සීමා නොවී රෝගියා මානසිකව සුව කරන ස්ථානයක් බවට රෝහල් පද්ධතිය සකස් කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රෝහල් පද්ධතිය දියුණු කිරීමේදී රෝහලකට පැමිණෙන රෝගියකුට අවශ්‍ය මානසික නිදහස රෝහලේ තිබිය යුතු බවත් සෑම රෝහලක්ම සංවර්ධනයේදී භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන පරිසරයේ අලංකාරය ද ආරක්ෂා කරමින්, ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂතා ද මතු කරමින් රෝගියාට මානසික සුවය ලබාදෙන ස්ථානයක් ලෙස දියුණු කිරීමට සැලසුම් කළ යුතු බවත් ඇමැතිවරයා පැවසීය.
අගලවත්ත පිඹුර රෝහලේ රෝගී ප්‍රතිකාර සේවා ගැන සොයා බැලීමෙන් අනතුරුව නිලධාරීන් සහ රෝහල් කමිටු සාමාජිකයන් සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය. රෝහලේ රසායනාගාරය, විකිරණ ඒකකය, ඖෂධාගාරය, දන්ත සායනය, ඛන්තු රේඛන අංශය, සූතිකාගාරය, ශල්‍ය ගබඩාව හා ඖෂධ ගබඩාව, ශල්‍යාගාරය, භෞත චිකිත්සක ඒකකය, මිතුරු පියස, සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය සහ මුළුතැන්ගෙය ද ඇමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා සැපයීමේදී වැදගත්ම අංශය වන ද්විතීයික හා තෘතීයික රෝහල් 130කින් යුත් සේවා පද්ධතියට අවශ්‍ය කරන පහසුකම් ලබා දීමට මූලිකත්වය ගෙන කටයුතු කරන බව ද ඇමැතිවරයා මෙහිදී පැවසීය.
පිඹුර රෝහලේ දැනට වසා දමා ඇති නාරි හා ප්‍රසව වාට්ටු ගොඩනැඟිල්ල නිරීක්ෂණය කළ ඇමැතිවරයා එම ගොඩනැඟිල්ල ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයේ පවතින නිසා කඩිනමින් ප්‍රතිසංස්කරණ කටයුතු කර රෝගී ප්‍රතිකාර සේවාවන්ට යොදා ගැනීමට ක්‍රියා කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
වෛද්‍ය, ළමා, මානසික, චර්ම රෝග, ශල්‍ය, නාරිවේද හා පවුල් සැලසුම්, පෝෂණ, ශ්වසන රෝග, සුවදිවි සායනය, ලිංගාශ්‍රිත රෝග සඳහා පිඹුර මූලික රෝහලේ සායන ක්‍රියාත්මක වන බවට රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ඩී.ඒ.ආර්.කේ. දිල්රුක්ෂි මහත්මිය පෙන්වා දුන් අතර, මේ වසර තුළ අලුතින් ලේ බැංකුව, අංගසම්පූර්ණ ශල්‍යාගාරය සහ අභ්‍යන්තර ඖෂධාලය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව ද ඇය පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව රණසිංහ, දනුෂ්ක රංගනාත්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල, පිඹුර රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ඩී.ඒ.ආර්.කේ. දිල්රුක්ෂි, කාර්යභාර වෛද්‍ය නිලධාරි වෛද්‍ය මොහාන් කරුණාතිලක මහත්ම මහත්මීහු ද රෝහල් සංවර්ධන කමිටුවේ නිලධාරීන් විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
සන්ධ්‍යා කරුණාරත්න
a