හිතෙන හිතෙන විදියට සල්ලි අච්චු ගහන්න පුළුවන් ද?
- 5opn1
- November 3, 2024
- CNL සතියේ ව්‍යාපාරික විවරණය, ව්‍යාපාරික පුවත්
- 0 Comments
ආණ්ඩුව සල්ලි අච්චු ගහන කතාව මේ දිනවල බලවත් ලෙස කතාබහට ලක්වෙමින් තිබේ. දේශපාලන වේදිකාවේත් සාමාන්‍ය මහජනයා අතරත් මේ ගැන කතාබහට ලක්වෙමින් ඇත. ඇතැම් පුවත්වලින් වාර්තා වන්නේ මහ බැංකුව විසින් පසුගිය දිනවල විශාල වශයෙන් මුදල් අච්චු ගසා ඇති බවයි.
මේ ගැන පුවත් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ මෙන්ම ප්‍රසිද්ධ මාධ්‍යයේ පවා ප්‍රචාරය වී ඇත. මේ අනුව විශාල වශයෙන් ණය ගන්නා බවටත් මෙසේ මුදල් අච්චු ගසන බවටත් අලුත් ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. මේ සඳහා ආණ්ඩුවේ අය දැනටමත් පිළිතුරු දී තිබේ. මේ ගැන පසුගිය කැබිනට් මාධ්‍ය හමුවල පවා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීමට ලක් වූ අතර ඒ සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හා ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් මහතා ද පිළිතුරු ලබා දෙමින් මේ මුදල් අච්චු ගැසීමේ චෝදනාව ප්‍රතික්ෂේප කළේය. ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිවරිය ද මේ ගැන අදහස් දක්වා ඇත. එහෙත් මේ අය මේ මුදල් අච්චු ගැසීමේ චෝදනාව ප්‍රතික්ෂේප කළත්, ඔවුන් අදහස් දක්වන ආකාරයෙන්ම ඔවුන්ට ආර්ථිකමය වශයෙන් මුදල් අච්චු ගැසීම ගැන එතරම් අවබෝධයක් නොමැති බව ද පෙනෙන්නට තිබේ. ඇමැති විජිත හේරත් අලුත් ආණ්ඩුව පැමිණි පසු තවමත් නව මුදල් ඇමැතිවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතු මුදල් නෝට්ටු නිකුත් වී නැති බව කීවේය. එහෙම නෝට්ටුවක් තිබේ නම් අපටත් පෙන්වන්නැයි ඔහු ඉල්ලා සිටියේය. නව මුදල් ඇමැතිවරයාගේ අත්සනින් එසේ මුදල් නෝට්ටු තවමත් නිකුත් වී නොමැති බව ඇත්තය. එහෙත් මුදල් අච්චු ගැසීම ලෙස ආර්ථිකමය වශයෙන් අදහස් කරන්නේ මුදල් මුද්‍රණය කරන මැෂිමකින් කඩදාසි සහ තීන්ත දමා මුදල් නෝට්ටු මුද්‍රණය කරවා ගැනීමට වඩා පුළුල් අර්ථයකින් යුතු කරුණකි. එසේ නම් මේ ගැන අප වඩාත් නිරවුල්ව පැහැදිලි කරගත යුතුව තිබේ.
හිතෙන හිතෙන විදියට සල්ලි අච්චු ගහන්න පුළුවන් ද?
මූලික වශයෙන්ම කිව යුත්තේ මුදල් මුද්‍රණය කරන්නේ රජය විසින් නොව මහ බැංකුව විසින් බවයි. එය මහ බැංකුවේ රාජකාරියක් වන නිසාත්, දැනට නව මහ බැංකු පනත අනුව මහ බැංකුව ස්වාධීන කර ඇති නිසාත් ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණ ගනු ලබන්නේ මහ බැංකුවට පනතින් පැවරී ඇති බලතල අනුව මුදල් ප්‍රතිපත්තිය හැසිරවීමේ අවශ්‍යතා පරිදිය. මෙතෙක් කල් බරපතල ලෙස පැවැති චෝදනාව වූයේ මුදල් අච්චු ගැසීම නොව මුදල් අච්චු ගසා රජයට ණය ලබාදීම ගැනයි. එහෙත් මේ සඳහා නම් නව මහ බැංකු පනතින් බරපතල සීමා පනවා ඇත. එනම් 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී නීතිගත කරන ලද 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මගින් රජයේ අයවැය මූල්‍යනය සඳහා රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම තුළින් ඇතිවන මුදල් අච්චු ගැසීම මුළුමනින්ම සීමා කර ඇත. මේ අනුව පැහැදිලි වන්නේ නව මහ බැංකු පනත අනුව රජයට අවශ්‍ය අවශ්‍ය පරිදි ණය ලබාදීම සඳහා මහ බැංකුව විසින් මුදල් අච්චු ගැසීම සම්පූර්ණයෙන් පාහේ සීමා කර ඇති බවයි. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ මුදල් සම්පාදනය සම්බන්ධයෙන් වන තහනම මැයෙන් ඇති 86 (1) වගන්තිය බලන්න. එය මෙසේය.
1. මහ බැංකුව විසින්, ඍජුව හෝ වක්‍රාකාරව, ආණ්ඩුව මුදල් සම්පාදනය හෝ වෙත හෝ ආණ්ඩුවට අයත් යම් පොදු අධිකාරියක් වෙත වෙනත් යම් රාජ්‍ය අස්ථිත්වයක් වෙත ණය ප්‍රදානය නො කළ යුතු ය.
(86 වගන්තියේ සෙසු උප වගන්තිවල මෙසේ සඳහන් වේ.)
2. මහ බැංකුව විසින්, මේ පනතේ 113 වන වගන්තියේ 3 වන උපවගන්තිය යටතේ මහ බැංකුවේ කර්තව්‍යවලට අදාළව වන වියදම් සඳහා හැර, ආණ්ඩුව වෙනුවෙන් යම් පිරිවැයක් නොදැරිය යුතු ය.
(3) (1) වන උපවගන්තියේ දක්වා ඇති තහනම, පාලක මණ්ඩලය විසින් තීරණය කරනු ලැබිය හැකි යම් ආණ්ඩුව සතු හෝ මහජනතාව සතු බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන සඳහා අදාළ නොවිය යුතුය.
(4) ආණ්ඩුව විසින් හෝ ආණ්ඩුව සතු යම් අස්ථිත්වයක් විසින් හෝ වෙනත් යම් රාජ්‍ය අස්ථිත්වයක් විසින් නිකුත් කරන ලද සුරැකුම්පත් මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළෙඳපොළෙන් මිලදී නොගත යුතු ය. මහ බැංකුව විසින් ද්විතීයික වෙළෙඳපොළෙන් ඒ
සුරැකුම්පත් මිල දී ගනු ලැබිය හැකි අතර, එසේ වුව ද, ඒ මිල දී ගැනීමෙන් 1 වන උපවගන්තියේ දක්වා ඇති තහනම මඟ හැර යාමක් සිදු නො විය යුතු ය.
(5) (1) වන සහ (4) වන උපවගන්තිවල කුමක් සඳහන් වුව ද, මහජන ආරක්ෂාව සහ මහජන සාමය සුරක්ෂිත කිරීම සඳහා (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රකාශනයක් සිදු කිරීම මත හෝ ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක දී වෙළෙඳපොළ මූල්‍යනය සඳහා ආණ්ඩුවට ඇති ප්‍රවේශයට දැඩිව සහ සැලකිය යුතු ලෙස බාධා සිදුවන හෝ සීමා පැනවෙන තත්ත්වයක් තුළ පහත සඳහන් අවස්ථාවල දී, එනම්,
(අ) මහ බැංකුව, අමාත්‍යවරයා විමසා සහ මේ පනත යටතේ වූ ස්වකීය මුදල් ප්‍රතිපත්තියේ අරමුණුවලට යටත්ව, මේ උපවගන්තිය යටතේ මිලට ගත හැකි භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය සහ ඒවායේ කොන්දේසි නිර්දේශ කරන අවස්ථාවක දී;
(ආ) පාර්ලිමේන්තුව විසින් ඒ සෑම නිර්දේශයක් ම අනුමත කරනු ලබන අවස්ථාවක දී; සහ
(ඇ) පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පසුව මහ බැංකුව විසින් ඒ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට හේතු, ඒවායේ ප්‍රමාණය සහ කොන්දේසි ගැසට් පත්‍රයේ පළ කරනු ලබන අවස්ථාවක දී මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළෙඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනු ලැබිය හැකිය.
එසේ වුව ද, මේ උපවගන්තිය යටතේ මිලදී ගනු ලබන මුළු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය සමබන්ධයෙන් මේ පනතේ පහත කොන්දේසි ද පනවා ඇත.
(i) අදාළ මුදල් වර්ෂයට අදාළ වන, පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද භාණ්ඩාගාර බිල්පත් සීමාවෙන් සියයට පහක් නොඉක්මවිය යුතුය.
(ii) පවත්නා වෙළෙඳපොළ පොලී අනුපාත මත විය යුතුය.
(iii) මාස හයක් නොඉක්මවන කාලසීමාවක් සඳහා තාවකාලික පදනමක් මත විය යුතුය.
(iv) කල් පිරීමෙන් ඉක්බිතිවම මුදලින් පමණක් ආපසු ගෙවනු ලැබිය යුතුය.
(v) මාස හයක් නොඉක්මවන කල්පිරීමේ කාලයන් සඳහා විය යුතුය. සහ
(vi) ගෙවීම කල්දැමීම හෝ අලුත් කිරීම නොකළ යුතුය.
86 (5) වගන්තියට අනුව නව මහ බැංකු පනත අනුව හදිසි අවස්ථාවල දී කොන්දේසිවලට යටත්ව මහ බැංකුවට මුදල් අලුතින් නිකුත් කර රජයට ණය ලබාදීමට හැකියාව තිබෙන බව ද එහෙත් ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ද ලබා ගැනීමට සිදුවන බව ද පැහැදිලි වේ. අතීතයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ආර්ථිකයට මුදල් සපයන සාධකයක් වූයේ මහ බැංකුව මගින් රජයේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළෙඳපොළ හරහා මිලදී ගැනීම මගින් ආර්ථිකයට මුදල් සැපයීමයි. එහෙත් මේ සඳහා දැන් ඉඩකඩක් නැති බවත් පැහැදිලිය. මේ නිසා ආණ්ඩුවට හිතු හිතූ පරිදි මහ බැංකුවෙන් මුදල් අච්චු ගසා මුදල් ණයට ගත නොහැකි බව මේ අනුව පැහැදිලි වේ.
එසේ වුවත් මහ බැංකුවට මුදල් අච්චු ගැසීමට බැරිකමක් නැත. රටේ ගනුදෙනු කටයුතු සඳහා කාසි හා නෝට්ටු ප්‍රමාණයක් අවශ්‍ය වේ. ව්‍යවහාර වන මුදල් නෝට්ටු පැරණි වූ විට ඒවාට නව මුදල් නෝට්ටු නිකුත් කිරීමට ද මහ බැංකුවට මුදල් නෝට්ටු අවශ්‍ය වේ. එසේම ආර්ථිකය වර්ධනය වන විට ඊට සාපේක්ෂව ගනුදෙනු කටයුතු පහසු කිරීම සඳහා මුදල් සැපයුම වැඩි කිරීමට ද මහ බැංකුවට සිදුවේ. ඒ සඳහා අවශ්‍යතාව පරිදි මහ බැංකුව මුදල් සැපයුම වැඩි කරයි. ඒ සඳහා වරින් වර නිකුත් කිරීමට මහ බැංකුව විසින් මුදල් නෝට්ටු මුද්‍රණය කරවාගත යුතු වේ. එසේම කාසි ද ටංකනය කරවාගත යුතුය. එහෙත් ආර්ථිකමය වශයෙන් මුදල් අච්චු ගැසීමක් වන්නේ එම මුදල් මහ බැංකුවෙන් අලුත් මුදල් ප්‍රමාණයක් වශයෙන් පිටට නිකුත් වීමෙනි. ඒ නිසා ඒවා මහ බැංකුවේ අධිසුරක්ෂිතාගාරයේ තැන්පත් කර තබාගෙන සිටින, දැනටමත් මුද්‍රණය කරවාගෙන ඇති මුදල් නෝට්ටු වරින්වර මහ බැංකුව විසින් ව්‍යවහාරය සඳහා නිකුත් කරනු ලබයි. එය වෙනම කතාවකි.
මේ අතර පසුගිය දිනවල රු. බිලියන 100 ක් අච්චු ගැසූ බවට මහ බැංකුවට එල්ල වූ චෝදනාව ගැන මේ ලියුම්කරු කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද කීවේ මෙය අසත්‍ය පුවතක් බවයි. එසේම විවට වෙළෙඳපොළ කටයුතු ගැන වැරදි අර්ථකථනයක් බවත්ය. මේ මුදල් අච්චු ගැසීමේ චෝදනාවට පසුගිය ඔක්තෝබර 29 වැනිදා මහ බැංකුව විසින් නිල වශයෙන් පිළිතුරක් දී තිබේ. එය මහ බැංකු අධිපතිවරයා මේ ලියුම්කරුට ලබාදුන් පිළිතුරට වඩා වැඩි පැහැදිලි කිරීමකි. මේවා ආර්ථිකමය හා තාක්ෂණික කරුණුය. ඒ නිසා මහ බැංකුව එවැනි ආර්ථිකමය හා තාක්ෂණික පිළිතුරක් මේ සඳහා ලබා දී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ එම පිළිතුරේ මෙසේ සඳහන් වේ.
‘බැංකු පද්ධතිය තුළ දිගුකාලීනව පැවැති ද්‍රවශීලතාව බෙදී යෑමේ අසමතුලිතතාව හේතුවෙන්, 2024 වසර තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට ද්‍රවශීලතාව ලබාදීම සඳහා නිරන්තරයෙන් විවට වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු සිදු කළේය. මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතා අතිරික්තයක් පැවැතිය ද මෙම ද්‍රවශීලතාව අසමතුලිත ලෙස බැංකු අතර බෙදී පැවතීම නිසා දේශීය බැංකුවලට ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය ගනුදෙනුකරුවන්ගේ ණය ඉල්ලීම සපුරාදීම ඇතුළු ඔවුන්ගේ දෛනික මෙහෙයුම් කටයුතු සඳහා ද ද්‍රවශීලතා අවශ්‍යතාවන් ඇති වේ. රාජ්‍ය ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළට වැටීම හේතුවෙන් සමහර බැංකුවලට තවත් බැංකුවක් සමග ණය ගනුදෙනු කිරීම සඳහා දැඩි ලෙස සීමා පනවා තිබීම නිසා සමහර බැංකු දැඩි ද්‍රවශීලතා හිඟයකට මුහුණපා ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කර ඇති විදේශීය බැංකුවලට අතිරික්ත අරමුදල් පැවැතිය ද ඔවුන් සතු අතිරික්ත අරමුදල් මෙම සීමා නිසා තවත් බැංකුවකට ණයට දීමට නොහැකි වී ඇත. මෙවැනි පසුබිමක, ශ්‍රී ලංකා මහ බැංකුව ද්‍රවශීලතාව ලබාදීම තුළින් කෙටිකාලීන පොලී අනුපාතික විශේෂයෙන්ම බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය ස්ථාවරව පවත්වා ගැනීම සහතික කරමින් මෙම හිඟය සමනය කිරීමට හැකි වී ඇත. එවැනි මැදිහත්වීමක් නොකළේ නම් ආර්ථික කටයුතු මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවට මැදිකාලීන උද්ධමන ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වන ලෙස බාධා ඇති කරමින් කෙටිකාලීන පොලී අනුපාතික දැඩි ලෙස ඉහළ යනු ඇත. මාධ්‍ය වාර්තාවල පළවී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන සාමාන්‍ය විවට වෙළඳපොළ කටයුතුවලදී ක්‍රියාත්මක කරන වෙන්දේසි සහ මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳවය. එමගින් රජයේ අයවැය මූල්‍යනය සඳහා මුදල් අච්චු ගැසීමක් හෝ අනිසි ලෙස මුදල් නිකුත් කිරීමක් කිසිසේත්ම සිදුවී නොමැත.’
මුදල් අච්චු ගැසීමේ අදහස
ආර්ථිකමය වශයෙන් මුදල් අච්චු ගැසීම යනු හුදෙක් මහ බැංකුව විසින් අලුතින් ඇණවුමක් ලබා දී මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට බලයලත් ආයතනයකින් මුදල් අච්චු ගසා ගැනීමම නොවේ. එයත් සාමාන්‍ය අර්ථයෙන් එක්තරා ආකාරයක මුදල අච්චු ගැසීමක් බව ඇත්තය. ඒ අර්ථයෙන් අලුත් ආණ්ඩුව පැමිණි පසු මුදල් මුද්‍රණයක් වීමට නම් නව මුදල් ඇමැතිවරයා වන අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතු මුදල් නෝට්ටු නිකුත් වී තිබිය යුතුය. එවැන්නක් නම් තවමත් සිදුව නැත. එය ඉදිරියේ දී සිදුවෙන දෙයකි. එහෙත් ඇත්ත වශයෙන්ම ආර්ථිකමය වශයෙන් මුදල් අච්චු ගැසීම යනු යම් බලයලත් ආයතනයක් මුද්‍රණ යන්ත්‍ර යොදාගෙන අලුතින්ම මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම නොවේ. එනම් ඉතාම සරලව මුදල් අච්චු ගැසීම යනු ආර්ථිකයට අලුත් මුදල් ප්‍රමාණයක් නිකුත් කිරීම ලෙස හඳුන්වා දිය හැකිය. ඒවා දැනටමත් මහ බැංකුවේ ගබඩා කර ඇති කලින් මුද්‍රණය කළ මුදල් නෝට්ටු අලුතින් නිකුත් කිරීමක් ද විය හැකිය. ඒ සඳහා නව මුදල් ඇමැතිවරයාගේ අත්සනින්ම නෝට්ටු නිකුත් විය යුතු නොවේ. විවට වෙළෙඳපොළ කටයුතුවල දී මෙන්ම මහ බැංකුව අලුතින් විදේශ විනිමය මිලදී ගැනීමේ දී ද මේ පවතින මුදල් නිකුත් වේ. ඒ නිසා මුදල් නෝට්ටු මුද්‍රණය කර ඒවා මහ බැංකුවේ අධි සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබෙන තෙක් ඒවා ව්‍යවහාර මුදල් තොගයට අයත් නැත.
මහ බැංකුවේ කරුණු දැක්වීම
මුදල් අච්චු ගැසීම ගැන මහ බැංකුව මෙසේ කියයි.
හිතෙන හිතෙන විදියට සල්ලි අච්චු ගහන්න පුළුවන් ද?
‘මුදල් අච්චු ගැසීම යන්නෙන් අදහස් කරන්නේ මහ බැංකුව ආර්ථිකයට අලුතින් මුදල් නිකුත් කිරීමයි. ආර්ථික විද්‍යාත්මක අර්ථයෙන් ගත් කල, අලුතින් මුදල් නිකුත් කිරීම යනු සංචිත මුදල් හෙවත් පදනම් මුදල් නිකුත් කිරීමකි. මහ බැංකුවේ මුදල් නිකුත් කිරීම මත වාණිජ බැංකුවලට මුදල් මැවීමට ඇති හැකියාව නිසා මෙම සංචිත මුදල් අධි බලැති මුදල් ලෙස ද හඳුන්වනු ලබයි. මහ බැංකුවේ ශේෂ පත්‍රයේ මෙම සංචිත මුදල්, මුදල් වගකීම් ලෙස දක්වනු ලබයි. මෙයට මහ බැංකුව විසින් නිකුත් කළ සමස්ත සංසරණයේ පවතින මුදල් සහ මහ බැංකුව සතු වාණිජ බැංකුවල තැන්පතු ඇතුළත් වේ. ආර්ථිකයේ කටයුතු සඳහා පහසුකම් සැලසීමට ප්‍රමාණවත් වන පරිදි 2024 වසර තුළ මේ දක්වා ශ්‍රී ලංකාවේ සංචිත මුදල් වැඩි වී ඇත්තේ රුපියල් බිලියන 147 කින් පමණි. 2024 වසරේදී සංචිත මුදල්වල මෙම ඉහළ යෑම ප්‍රධාන වශයෙන් මහ බැංකුව විදේශ විනිමය මිලට ගැනීම තුළින් සිදු වී ඇති අතර, මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් පහළ යෑමක් ද මෙම කාලය තුළ සිදුව තිබේ.’
මේ පැහැදිලි කිරීමෙන් මහ බැංකුව කියන කරුණක් වන්නේ, ආර්ථිකයේ කටයුතු සඳහා පහසුකම් සැලසීමට ප්‍රමාණවත් වන පරිදි 2024 වසර තුළ මේ දක්වා ශ්‍රී ලංකාවේ සංචිත මුදල් රුපියල් බිලියන 147 කින් වැඩි වී ඇති බවයි. ආර්ථික විද්‍යාත්මක අර්ථයෙන් ගත් කල, අලුතින් මුදල් නිකුත් කිරීම යනු සංචිත මුදල් මුදල් නිකුත් කිරීමක් බව ද මහ බැංකුව විසින්ම පවසා ඇත. එසේ නම් රු. බිලියන 147 කින් නව මුදල් නිකුතුවක් සිදුව ඇත. මෙය සිදුව ඇත්තේ 2024 වසර මුල සිට මේ දක්වාමය. පසුගිය සතිය තුළ නොවේ. මේ සම්බන්ධයෙන් මේ ලිපිය සමග පළවෙන මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධනගේ අදහස දෙස බැලීමෙන් ද මෙය වඩාත් පැහැදිලි කරගත හැකිය.
එසේම මේ රු. බිලියන 147 කින් සංචිත මුදල් වැඩි වීම සිදුව ඇත්තේ ද රජයට මුදල් ණයට දීම නිසා නොව ප්‍රධාන වශයෙන් මහ බැංකුවේ විදේශ විනිමය මිලට ගැනීම තුළිණි. මේ කාලය තුළ මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් පහළ යෑමක් ද සිදුව තිබෙන නිසා මේ මුදල් නිකුතුව සිදුව ඇත්තේ රජයට ණයට මුදල් ලබා දීමට නොවේ. මෙසේ මහ බැංකුවේ නව විදේශ විනිමය මිල දී ගැනීම් හරහා මේ වන විට මහ බැංකුව සතු විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක් පමණ දක්වා වැඩි වී, මහ බැංකුව සතු විදේශ වත්කම් ද වැඩි වී ඇත.
විවට වෙළඳපොළ කටයුතු මගින් මුදල් නිකුත් වීම
විවට එසේ නැත්නම් විවෘත වෙළෙඳපළ කටයුතු යනුවෙන් අදහස් කරන්නේ මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් විකිණීම හා මිලදී ගැනීමයි. චෝදනා එල්ල වී ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුව මෙම විවට වෙළෙඳපොළ කටයුතු හා මුදල් අච්චු ගැසීම සිදුකර ඇති බවයි. මේ ගැන කරුණු පැහැදිලි කරමින් මහ බැංකුව කියා සිටියේ, විවට වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100 ක් අච්චු ගැසූ බවට මෑත කාලයේ පළවී ඇති වාර්තා පදනම් විරහිත බවයි. මහ බැංකුව විවට වෙළෙඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් වේ. විවට වෙළෙඳපොළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහාය. මේ නිසා එය හුදු මුදල් මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකි බව මහ බැංකුව පවසයි.
දේශීය මිල ස්ථායිතාව පවත්වා ගැනීම
කලින් සඳහන් කළ විවට වෙළෙඳපොළ කටයුතුවල අරමුණ මහ බැංකුව පැහැදිලි කරන්නේ මෙසේය.
‘ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානතම අරමුණ වන්නේ දේශීය මිල ස්ථායිතාව පවත්වා ගැනීමයි. එනම් උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමයි. මුදල් ප්‍රතිපත්තිය යනු එලෙස මිල ස්ථායිතාව ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් ආර්ථිකයක් තුළ පොලී අනුපාතික සහ මුදල් සැපයුම කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියයි. විවට වෙළෙඳපොළ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ උපකරණයකි. වර්තමානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, වෙළෙඳපොළ පදනම් කරගත් ප්‍රතිපත්තිමය උපකරණ උපයෝගී කර ගනිමින් සිදු කෙරේ. ඒ අනුව, වර්තමානයේ දී ප්‍රධාන වශයෙන් භාවිතයට ගනු ලබන මුදල් ප්‍රතිපත්ති උපකරණයක් වනුයේ විවට වෙළෙඳපොළ කටයුතු වේ. විවට වෙළෙඳපොළ හරහා මහ බැංකුව වාණිජ බැංකුවලට ණයට සැපයීම සිදු කරයි. විවට වෙළෙඳපොළ කටයුතු හරහා මෙලෙස ද්‍රවශීලතාව ලබාදීමේ අරමුණ වනුයේ ආර්ථිකය අස්ථාවර භාවයකට ලක් කළ හැකි පොලී අනුපාතිකයේ හදිසි වෙනස්වීම් ඇතිවීම වැළැක්වීමයි.
ඒ අනුව, කෙටිකාලීන පොලී අනුපාතික, විශේෂයෙන්ම අන්තර් බැංකු මුදල් වෙළෙඳපොළේ පොලී අනුපාතික ස්ථායී ලෙස පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විවට වෙළෙඳපොළ කටයුතු භාවිතා කරයි. වෙළෙඳපොළ ද්‍රවශීලතාව කළමනාකරණය තුළින් කෙටිකාලීන එක්දින පොලී අනුපාතික ස්ථාවරව පවත්වා ගෙන යෑම සඳහා විවට වෙළෙඳපොළ කටයුතු පවත්වනු ලැබේ. විවට වෙළෙඳපොළ කටයුතු රජයේ සුරැකුම්පත් ස්ථාවර හෝ තාවකාලික පදනම යටතේ මිලදී ගැනීමේ/විකිණීමේ වෙන්දේසි හරහා සිදු කරනු ලැබේ. ඒ අනුව, විවට වෙළෙඳපොළ කටයුතු යනු බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවයේ ඇති වන අසමතුලිතතාවක් කළමනාකරණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් කෙටිකාලීනව සිදු කරනු ලබන මෙහෙයුමකි. මහ බැංකුව මගින් මේ වසරේ (2024) දී මෙම ද්‍රවශීලතාව එක්දින පදනම සහ කෙටි කාලීන පදනම මත (දින 7 ක්) ලබාදී ඇත. මෙය තාවකාලික පදනමින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ද ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන ආර්ථිකයේ පොලී අනුපාතික ඉහළ යෑම පාලනයට බැංකුවලට ලබාදී ඇති පහසුකමක් පමණක් වන අතර, මෙය මුදල් අච්චු ගැසීමක් ලෙස අර්ථ නිරූපණය කිරීම නිවැරදි නොවන බව මහ බැංකුව කියයි. ලෝකයේ වෙනත් මහ බැංකු ද ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම සඳහා මේ හා සමාන විවට වෙළෙඳපොළ කටයුතු නිතිපතා සිදු කරයි. මෙම මෙහෙයුම් සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වන අතර, මුදල් ප්‍රතිපත්තිය හැසිරවීමේදී ද්‍රවශීලතාව කළමනාකරණය සඳහා මෙම විවට වෙළෙඳපොළ කටයුතු මහ බැංකුව විසින් සිදු කරනු ලබන කටයුත්තක් බව මහ බැංකුව කියන දෙයයි. මේ කියන සංචිත මුදල්වල පසුගිය වසරවල ද වැඩි වීම් සිදුව ඇත. ඒ නිසා මේ දේ නව ජනපතිවරයා පත් වීමෙන් පසු සිදු වී ඇති අලුත්ම දෙයක් නොවේ.
මුදල් අච්චු ගැසීමක් වන්නේ සංචිත මුදල් වැඩි වුණොත් පමණයි
සාමාන්‍යයෙන් මුදල් නෝට්ටු අච්චු ගහනව කියලා කියන්නේ මුදල් සැපැයුම වැඩිවීමයි. එනම් සංචිත මුදල් වැඩි වෙන්න ඕන. සාමාන්‍යයෙන් මහ බැංකුව සංචිත මුදල් ලෙස රුපියලක් නිෂ්පාදනය කරලා බැංකු ක්‍රමයට සැපැයුවොත් බැංකු මේ රුපියල භාවිත කරලා විශාල වශයෙන් ණය සහ තැන්පතු මවනවා. ඒ ක්‍රියාවලියට තැන්පතු ගුණකය කියල කියනවා. මේ ගුණකය සාමාන්‍යයෙන් ලංකාවේ 9ක වගේ තියෙන්නේ. එතකොට රුපියලක් මහ බැංකුව වාණිජ බැංකු ක්‍රමයට දුන්නොත් වාණිජ බැංකු මාස 18ත් 24ත් අතර කාලයක් තුළදී රු. 9ක් මවනවා. මේ මවන රු. 9 තමයි අපි කියන්නේ විශේෂයෙන් මුදල් නෝට්ටු අච්චු ගැහුව කියලා. මේ කියන ක්‍රියාවලිය වෙලා තියෙන්නේ මහ බැංකුව හැමදාම උදේ රැස්වෙලා වාණිජ බැංකුවලට ද්‍රවශීලතාව සැපැයීම සඳහා අනුගමනය කළ
ක්‍රියාමාර්ගයක් අනුවයි. මේ ක්‍රියාමාර්ගය නිසා නිසැකයෙන්ම මුදල් සැපැයුම වැඩි වන්නේ නැහැ. මුදල් සැපැයුම වැඩිවීමට නම් රටේ සංචිත මුදල් වැඩි වෙන්න ඕන. මේ සංචිත මුදල් වැඩි වුණත් ඒ වහාම මුදල් සැපැයුම වැඩි වෙන්නේ නෑ. මොකද හේතුව වාණිජ බැංකු මාස 18ත් 24ත් අතර කාලයක් ගත කරනවා මේ මුදල් ආපහු මවන්න. එතකොට අපි ගත්තහම දැන් පසුගිය සතියක වගේ කාලය තුළ දිනපතාම මහ බැංකුව ද්‍රවශීලතාව රු. බිලියන 100ක් හෝ ඊට වඩා සුළු ප්‍රමාණයක් වැඩියෙන් බැංකු ක්‍රමයට විදල තියෙනවා. ඒ විදීම නිසා කෙනෙක් හිතන්න පුළුවන් අර සංචිත මුදල් වැඩිවෙයි කියලා. නමුත් සංචිත මුදල් ප්‍රමාණය ගත්විට පසුගිය මාස හය වගේ කාලය අපි ගත්තොත් එහෙම ඒ කාලයේදී සංචිත .මුදල් විචලනය වෙලා තියෙන්නේ රු. බිලියන 1485 ත් රු. බිලියන 1500ත් අතර. මින් අදහස් වෙන්නේ සංචිත මුදල් වැඩිවෙලා නැහැ. සංචිත මුදල් වැඩිවෙලා නැති නිසා මේ කියන ක්‍රියාවලිය මුදල් මුද්‍රණය කිරීමට එහෙම නැත්නම් මුදල් අච්චු ගැසීමට මගපාදන ක්‍රියාවක් නොවේ.
ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන
මහ බැංකුවේ හිටපු
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති
(ශ්‍යාම් නුවන් ගනේවත්ත – ඉරිදා දිවයින)