
අදානිගේ සුළං බලාගාරය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
- CNL Reporter
- March 26, 2025
- දේශපාලන
- අදානිගේ සුළං බලාගාරය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
- 0 Comments
මෙරටට වැඩි වශයෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීමට නම් අදානි වැනි ව්‍යාපෘති මෙරට ක්‍රියාත්මක කළයුතු බවත්, වසර 2060 වන විටදීවත් ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ඇති කිරීමට
නම් ඉන්දියාවේ සහයෝගය ලබාගත යුතු බවත්, ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම මගින් සිදුවන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් දුප්පත් තත්ත්වයේ සිටීමට බව යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් රචිත ‘‘ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය’’ නමැති කෘතිය එළිදැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජගිරියේ පිහිටි ‘‘බැංකු විදු පියසේ’’ ඊයේ (25 වැනිදා) පස්වරුවේ පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
බලශක්ති ගිවිසුම් වෙනස් කිරීම ආයෝජකයින් අධෛර්යමත් කිරීමක්
බලශක්තිය සම්බන්ධව සමාගම් සමඟ එකඟවූ ගිවිසුම් වෙනස් කිරීමට හා එහි මිල ගණන් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලුකාරී තත්ත්වයක් බව පැවසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එසේ කොන්දේසි මාරු කිරීමට කටයුතු කිරීම මගින් රටට ආයෝජකයන් නොපැමිණීමේ තත්ත්වයක් උද්ගත වන බවද කීවේය.
ඩොලර් බිලියන දෙක තුනක බලශක්ති යෝජනා මෙරටට ඉදිරිපත් කර තිබෙන බවත්, මෙම මුදල්වලට ලෝකයේ විශාල ඉල්ලීමක් තිබෙන බැවින් මේ යෝජනා ලාභදායක වෙනත් රටවල්වලට ලබා ගැනීමේ අවස්ථාව වැඩි බවද ඔහු කියා සිටියේය.
මෙරට අවදානම් තත්ත්වය තවමත් පවතින බැවින් ආයෝජකයන් නිපදවන බලශක්තියට වැඩිපුර ගෙවීමට සිදුවන බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.
“මේ දවස්වල විශේෂයෙන්ම බලශක්ති සමාගම් සියල්ලන්ටම කියනවා තමන් එක්ක තිබුණ ගිවිසුම් අපි අත්සන් කරලා, කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා, අන්තිම ගිවිසුම විතරයි අත්සන් කරන්න තිබුණේ. ඒ ගිවිසුම් සියල්ලම අලුතින් ගේන්න ඕනේ. තමන්ට කියනවා මිල අඩු කරන්න කියලා. තමන්ට කියනවා අලුත් ගිවිසුම්වලට එන්න. මේක පිටරට ගියාම අපේ ආයෝජකයෝ මොකක්ද හිතන්නේ ? මේක විශ්වාසදායක රටක් නෙමෙයි. එන්නේ නෑ. මෙතෙන තියෙන විශේෂ බලශක්ති යෝජනා බැලුවහම ඩොලර් බිලියන 2ක් තුනක් තියෙනවා. එක එක විදියට තියෙනවා. බැටරි දාලා ගේන ඒවා, සුළඟින් කරන ඒවා තියෙනවා. කවුද මුදල් දාන්නේ. මම හිතන්නේ නෝර්වේ අරමුදලින් මුදල් දානවා. මේ අය ගෙනාවහම මේ මුදල්වලට විශාල ඉල්ලුමක් තියෙනවා. අපිට වඩා ලාභදායි විදියට අනෙක් තැන්වලට ගන්න පුළුවන්. මොකද අපේ තාම තියෙන අවදානම් තත්ත්වය ඉවත් වෙලා නෑ. ඒවා ඉවත් කරලා නෑ. ඒ නිසා අපිට වැඩියෙන් ගෙවන්න සිද්ධ වෙනවා.”
තම රජය පැවති කාලසීමාව තුළ ආදානි සමාගම සමග ක්‍රියාත්මක කිරීමට එකඟවූ යෝජිත සුළං බලාගාරයේ මිල ගණන් සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස අදහස් පළ කළේය.
“එකඟවුණාට පස්සේ කඩන්න බෑ. ආණ්ඩුව යළිත් හිතලා බලන්න ඕනේ මේ පියවර යන එක හරිද නැද්ද කියලා. ඒ පියවර ගන්න එක නවත්වන්න ඕනේ. නවත්තලා පරණ ක්‍රමවේදය අනුව යන්න ඕනේ. මේකෙන් විශාල දෙයක් වෙලා තියෙන්නේ අදානි ගිවිසුම. අදානි ගිවිසුම දිහා බලනවා නම් විශේෂයෙන්ම අදානි සමාගම සමග අපේ කොමිටියයි ඒ සමාගමයි සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරද්දි අගය පිළිබඳ මිනුම් දණ්ඩයක් අපි ඇති කළා. දෙන්න පුළුවන් අඩුම මිලයි දෙන්න පුළුවන් වැඩිම මිලයි. ඒක ඇතුළේ අපි කළේ. එකෙන් පිට පැන්නහම මොකද්ද හිතන්නේ ? අන්න එතැනයි තියෙන්නේ. විශේෂයෙන්ම ඒ එකඟත්වයට ආවේ ඇමෙරිකානු ශත 8.26ක. දැන් මේක මාරු කරද්දි කොහොම ද කරන්නේ ?”
මෙරට ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීමට ආර්ථිකයේ වර්ධනයක් තිබිය යුතු බවත්, ඊට ප්‍රාග්ධනය සහ තාක්ෂණය තිබිය යුතු බවත්, අප සතුව එය නොමැති නිසා ඒවා වෙනත් රටවලින් ලබාගත යුතු බවත්, චීනය, වියට්නාමය ආදී රටවල් ද එය සිදුකළ බවද ඔහු කීවේය.