අන්දමන් දූපත් අසල කැලඹිලි තත්ත්වයක්: හෙටින් පසු යළිත් වැසි

නිරිත දිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත අසල යළිත් වරක් කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බවත්, ඒ අනුව දෙසැම්බර් 9 වැනිදායින් පසු යළි වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය සුළි කුණාටු තත්ත්වයක්ද? අඩු පීඩන අවපාතයක්ද? යන්න තවමත් නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා “දිවයින” ට ඊයේ (06දා) පැවසීය.

දෙසැම්බර් 9, 10, 11, 12, 13 යන දිනවලදී මෙහි වක්‍ර බලපෑම් ඇතිවිය හැකි බවත්, 9 වැනිදායින් පසු උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බවද හේ කීය.

උතුර සහ නැගෙනහිර පළාත්වල අද (07දා) වැසිවාර කීපයක් ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද හෙතෙම කියා සිටියේය.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද හෙතෙම කීය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද ඒ මහතා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

Leave A Comment