අපේ ඩොලර් මල්ලට විද්ද ට්‍රම්පච්චිගේඅමුතු බද්ද

ලංකා ඉතිහාසයේ මේ දක්වා අපනයනවලින් වැඩිම ආදායම් ලැබුවේ පහුගිය 2024 වසර තුළදීය. එම ආදායම් මුදල ඩොලර් බිලියන 16.17කි. මේ අතරින් ඩොලර් බිලියන 12.7ක් වෙළෙඳ භාණ්ඩ අපනයන කර උපදවාගෙන  ඇත. අපි වැඩිපුරම නැවේ පටවා බඩු යවන්නේ ‘අලුත් ලෝකය’ හෙවත් ඇමරිකාව වෙතයි.  එනම් අපනයනවලින් කප් ගැසූ පහුගිය අවුරුද්දේ ඇමරිකාවට යවන එම බඩුවලින් ඩොලර් බිලියන 3,159ක් උපයාගෙන තිබේ. එම මුදල සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමෙන් සියයට 25ක් පමණ වේ. පහුගිය දශක ගණනාව පුරාවටමත් එක්සත් ජනපදය අපගේ ලොකුම ගැනුම්කරුවා බවට පත්වී සිටියේය. ඔවුන් අපෙන් වැඩිපුරම මිලදී ගත්තේ ඇඟලුම් වන නමුත් ඊට අමතරව තේ, රබර්, පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, කජු, කෝපි, කුළුබඩු, මැණික්, මත්ස්‍ය නිෂ්පාදන, සෙරමික් නිෂ්පාදන, යකඩ හා වානේ නිෂ්පාදන, දැව ආශ්‍රිත නිෂ්පාදන ආදී බොහෝ දෑ මිලදී ගත්හ.

එහෙත් ඇමරිකාව සමඟ ගනුදෙනු කරන රටවල් සඳහා අන්‍යොන්‍ය වශයෙන් තීරුබදු පනවන බව එක්සත් ජනපදයේ ජනාධිපති පුටුවට දෙවැනි වරට තේරුණු ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාර්තු මස 5 වැනිදා  කීවේය. එය හුදෙක් ප්‍රකාශයකට පමණක් සීමා නොවේ.  ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අධික සංඛ්‍යාවක් සඳහා ඔහු එම අන්‍යොන්‍ය තීරුබදු පැනවූයේය.

දෙවැනි ලෝක යුද්ධයට පෙර ඇමරිකාව ලෝකයෙන් වසන් වෙමින් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගනිමින් සිටියත් පහුගිය දශක කිහිපය පුරාම නිදහස් ආර්ථික ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළේය. වසර 2009 ලෝක ආර්ථික අවපාතයට පසුව කොවිඩ් – 19 වසංගත හේතුවෙන් නැවතත් ඇමරිකන් ආර්ථිකය බිඳවැටීමකට ලක්විය. මේ නිසාම යළි ‘පොහොසත් රටක්’ වීම ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ අරමුණ විය.

විදේශීය නායකයන් ඇමරිකානුවන්ගේ රැකියා සොරකම් කරන බවත් විදේශීය බොරුකාරයන් ඇමරිකන් කර්මාන්තශාලා කොල්ලකන බවත් ට්‍රම්ප් මහතා සඳහන් කරමින් රටවල් 60කට පමණ ආනයන භාණ්ඩ සඳහා තීරු බදු සීමා ඉහළ දැමුවේය. මෙය ප්‍රකාශ කළ පසුගිය 02 වැනිදා ට්‍රම්ප් නම් කළේ ඇමරිකානු ජනතාවගේ ‘නිදහස් වීමේ දිනය’ ලෙසය.  විවෘත ආර්ථික ක්‍රමය ඔස්සේ ඇමරිකාවට වෙළෙඳ භාණ්ඩ යවමින් ආදායම් ලැබූ ආසියාවේත්, ඉන් පිටතත්, බොහෝ රටවල් නම් ට්‍රම්ප් ප්‍රතිපත්ති හේතුවෙන් නිදහස් වීමක් නොව ඉහමොළ රත්වෙන තැනකට පත්වී තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව ගැන කාරණාව වෙනයම් එකකි.

ට්‍රම්ප් තීරු බදු පැනවූ රටවල් ලැයිස්තුවේ වැඩිම බදු පැනවීමකට මුහුණදුන් රටවල් අතරින් අප ශ්‍රී ලංකාව එහි 5 වැනි තැන ලබා ගත්තේය. එම තැන ලැබෙන්නේ ට්‍රම්ප් සූත්‍රය අනුවය. ඇමරිකාවට භාණ්ඩ අපනයන කර ලබන ඩොලර් බිලියන 3.159 ආදායමෙන් අප ඇමරිකාවෙන් ආනයන කරන ඩොලර් මිලියන 368ක සංඛ්‍යාව අඩු කළ විට එය ඩොලර් බිලියන 2.791කි. එම ඩොලර් බිලියන 2.791ක මුදල අපනයනය කරන ඩොලර් බිලියන 3.159න් අඩු කරන විට සියයට 88ක ප්‍රතිශතය ලැබේ. ඒ අනුව ඇමරිකාව එම අගයෙන් සියයට 50කට එනම් සියයට 44ක් තීරු බදු අපට පනවා ඇත.  ට්‍රම්ප් සූත්‍රය  මෙයයි. මෙහිදී වට්ටමක් ලබාදී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. ‘ඔවුන් අපිට කරනවා නම් අපිත් ඔවුන්ට කරනවා. හරි සරලයි’ කියා බදු පනවා ලොවට ඇහෙන්නට කතාවක්ද කළේය.

දැනට බලයේ සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපතිට පෙර සිටි රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකන් ජනාධිපතිගේ තීරු බදු යුද්ධයට මුහුණදීම සඳහා ආනයන සඳහා පනවන සෙස් බද්ද (Comodity Export Subsidy Scheme – CESS) හා පැල් බද්ද port and airport levy – PAL) ආදිය ඉවත් කිරීමට අදාළව අය – වැය යෝජනා ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටියේය. එසේම අවුරුදු 5ක් තුළ එම බදු ඉවත් කරන බවත් ඔහු 2023 අය-වැය ඉදිරිපත් කරන විට කීවේය. එනම් ඇමරිකාව හා විවිධ රටවලින් කරන ආනයන බදු අඩු කිරීමටත් එසේ ආනයන බදු අඩු කර ආර්ථික රාජ්‍යතාන්ත්‍රික භාවය ඔස්සේ ඇමරිකාවට පෙන්වාදී තීරු බදු පැනවීමේදී ලංකාවට ඇමරිකාවෙන් සහනයක් ගැනීමේ  සැලසුමක් ඔහුට තිබිණි. අනෙක් කරුණ වන්නේ ට්‍රම්ප් සූත්‍රය අනුව වෙළෙඳපොළ මත තීරු බදු පැනවීම කර ඇති අතර හදිසියේම ඇමරිකානු මිලදී ගැනීම්වලට බදු අඩු කරන බවට අය-වැයෙන් සම්මත කළත් එය කොයිතරම් දුරට ට්‍රම්ප්ට ඒත්තු ගැන්වීමට හැකි දැයි දන්නේ නැත.

මේ තත්ත්වය හමුවේ අප කළ යුත්තේ කුමක්ද? එය අද රටේ ජනාධිපති මන්දිරයේ සිට කඩ පිල දක්වා හැම තැනකම කතාවෙන ප්‍රශ්නයකි.

එයට ස්වාධීන ආර්ථික පර්යේෂණ සංසදයක් වන ඇඩ්වෝකාටාහි ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු පවසන්නේ   වෙළෙඳපොළ ගිවිසුම්වලට පිටින් පාරිභෝගිකයාගෙන් අය වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඇමරිකානු සිත් රිදවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.

මේ සම්බන්ධව ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි මහතා මෙසේ ‘මව්බිම’ට පැවැසීය.

‘ඇමරිකාවට යවන එක එක නිෂ්පාදන අනුව තීරු බදු වෙනස්. තිසරපට සඳහා තීරු බදු අඩුයි. පිරිමි කලිසම්වලට බදු වැඩියි. ඒ මේ දක්වා එහෙම තිබුණට එක එක නිෂ්පාදන අංගවලට වෙන වෙනම වූ  බදු ක්‍රමයක් තිබුණ ඒවාටත් සියයට 44ක් දක්වා බදු  වැඩි වෙනවා.  සියයට 7, 8 තීරු බදු තිබුණු අයට සියයට 44 වුණාට පස්සේ ඒ නිෂ්පාදනවලට වන හානිය සෑහෙන වැඩියි.

මේ තත්ත්වය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්  කියන්නේ අපිට තීරුබදු ගහපු අයට අපිත් අන්‍යොන්‍ය වශයෙන් බදු ගහනවා කියලා. ඇමරිකාවේ ගණනය කිරීම්වලට අපේ රටට ඇමරිකාවෙන් ගෙන්වන ආනයනවලට සියයට 88ක් බදු අය කරනවා. අපේ තීරු බදු අපි අඩු කරන්න ඕනෑ. අපේ තීරු බදුවල වැඩිපුරම තියෙන්නේ අතුරු බදු. ට්‍රම්ප් කියනවා අපේ ආනයනවලට තීරු බදු විතරක් නෙමෙයි. සමහර රටවල් තීරු බදු නොවන අතුරු බදුත් ඒ කියන්නේ හංගපු බදුත් දානවා කියලා කියනවා. සෙස් බද්ද (Comodity Export Subsidy Scheme – CESS) එහෙම එකක්. පැල් බද්දත් (Port and airport Levy) එහෙමයි. මේ හංගපු බදු ගෙවන්නේ පාරිභෝගිකයා. මේ නිසා ඇමරිකාවත් ශ්‍රී ලංකාවත් අතර විශාල වෙළෙඳ පරතරයක් නිර්මාණය වෙනවා.

ධනනාත් ප්‍රනාන්දු යෝජනා කරන්නේ අපේ ආනයන බදු ප්‍රතිපත්තිය ලිහිල් කළ යුතු බවය. ඒ සඳහා සැඟවූ බදු වෙනුවට සරල බදු ප්‍රතිපත්තියක් තිබිය යුතු බව ප්‍රනාන්දු අවධාරණය කරයි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ හිටපු අධ්‍යක්ෂ හා ඇඩ්වොකාටා ආයතනයේ සභාපති මුර්ටාසා ජැෆර්ජි මහතා ට්‍රම්ප් ජනාධිපතිවරයා තීරුබදු ඉහළ දැමීම සම්බන්ධව අප රටක් ලෙස ලබාගත යුතු උපායමාර්ග මොනවාද යන්නට කළ විමසීමේදී ‘මව්බිම’ට මෙසේ පැවැසුවේය.

“අපිට ඇමරිකාවට ඇඳුම් විකුණන්න පුළුවන්. නමුත් අපිට ගොඩක් දේවල් ඇමරිකාවෙන් ගන්න බැහැ. ඔවුන්ගෙන් අපට ගත හැකි භාණ්ඩ සේවා තිබෙන්නේ සීමිත පරාසයක.  අපිට ඇමරිකාවෙන් ගෑස්, තෙල් හා බලශක්තිය ගන්න පුළුවන්. නමුත්  මැදපෙරදිග රටවලින් ගන්න එක ඊට වඩා ලාබයි. ලේසියි.  ඇමරිකාව හා ලංකාව අතර මේ වෙළෙඳපොළ පරතරය අඩු කරන්න නම් ගුවන් යානා වගේ මිල අධික භාණ්ඩ මිලදී ගත යුතුයි.  දැන් අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයත්  බංකොලොත්. අපිට ප්ලේන් ගන්න බැහැ. අපිට ආරක්‍ෂක උපකරණ ගන්න පුළුවන්. ඒත් ඕවා ගන්නත් අපිට සල්ලි නැහැ. අපි වැඩියෙන්ම ආනයන කරන්නේ චීනයෙන් හා ඉන්දියාවෙන්.

ඔය වෙළෙඳ පරතරය පියව ගන්න  අපිට ඇමරිකාවෙන් ගන්න දේවල් නෑ. ඇමරිකාව ලෝකයේ ලොකුම වෙළෙඳපොළ. ලෝක වෙළෙඳපොළෙන් සියයට 20ක් ඇමරිකාවට අයිතියි. ඒගොල්ලෝ ලෝකේ වැඩියෙන්ම පොහොසත් රට. ඒ රටේ පාරිභෝගිකයන්ට තමයි වැඩියෙන්ම සල්ලි තියෙන්නේ බඩු ගන්න. අපි හදන බඩු චීනෙට හෝ ඉන්දියානුවන්ට ඕනේ වෙන්නේ නැහැනේ. හැබැයි මේ ලංකාවෙ ආනයන බදු නිසා අපේ පාරිභෝගිකයාට කාලයක් තිස්සේ අවාසිදායක තත්ත්වයක් තිබුණා. මේ ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීමට හේතුව ඒ රටෙන් ආනයන කරන දේට පවතින අධික තීරුබදු. මේක පිට ඔය බදු ඔක්කොම අඩු කර දාන්න පුළුවන්. මේ අවුල තුළ අපේ තීරු බදු ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. ඒකෙන් අපේ පාරිභෝගිකයන්ටත් වාසියක් වේවි.

ඇමරිකාවේ නව තීරු බදු ක්‍රමය ගැන සොයා බලා ලංකා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (3දා) කමිටුවක් පත් කළේය. එම කමිටුව නියෝජනය කරමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලනෙත්තිරාජා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන පෙරේරා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අශ්රොෆ් ඔමාර්, මාස් හෝල්ඩිංග් සම නිර්මාතෘ ෂෙරාඩ් අමලීන්, ලංකා ගාමන්ට් කළමනාකරණ අධ්‍යක්ෂ සයිෆ් ජැෆර්ජි, මිචලින් ලංකා පෞද්ගලික සමාගමේ නිලන්ති වැලිවේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තීරු බදු පැනවීමේ පසුබිම සහ පදනමත්  විශාල අගයකින් තීරු බදු පැනවීම නිසා කුඩා ආර්ථිකයක් හිමි අප වැනි රටවලට මුහුණදීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳවත් මෙහිදී පුළුල්ව විමසා බැලිණි. උද්ගතව ඇති නව තත්ත්වය හමුවේ රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම යන අයත් එක්වී සිටියහ.

තීරු බදු පනවන බවට ඇමරිකාව නිවේදනය කළ දිනවලම ඉන්දියාව වොෂින්ටන් ඩී.සී. නුවර ගොස් ඇමරිකන් නියෝජිතයන් සමඟ සාකච්ඡා කළහ. ඒ අනුව සාකච්ඡාවන් සාර්ථක වී ඇත. ඇමරිකන් තීරුබදු පැනවීම ඉන්දියාවට අඩු වී තිබෙන බව පැහැදිලිය. එසේම ඉන්දියාව ඇමරිකාවෙන් ගෙන්වන භාණ්ඩවල තීරුබදු ප්‍රමාණය අඩු කළ අතර වියට්නාමයත් ඇමරිකාව සමඟ කතා කරමින් සිටී. එය රාජ්‍යතාන්ත්‍රිකභාවයයි. ලංකා රජයටත් මේ ගැන එම රටවලට වඩා හොඳ සැලසුමක් පවතිනවා විය හැකිය.

ට්‍රම්ප් ජනාධිපතිගේ තීරු බදු පැනවීම ලංකා අපනයනවලට බලපාන ආකාරය විමසීමේදී ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ හිටපු ලේකම් රොහාන් මාසකෝරළ මහතා කතාව ‘මව්බිම’ ට කීවේ මෙසේය.

‘අපේ අපනයන ක්ෂේත්‍රයට මරු පහරක් වදිනවා. අපේ කලාපයේ ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය වගේ රටවලට සියයට 26, 37, 29 වගේ ප්‍රතිශතවලින් ට්‍රම්ප් තීරු බදු පනවලා තිබෙන්නේ. අපි තමයි දකුණු ආසියාවේ අවාසනාවන්තම තත්ත්වය. මොකද අපි තමයි දකුණු ආසියාවේ පළමු විවෘත ආර්ථිකය. 1977 වසරෙදී සාර්ථකව විවෘත කළා. නමුත් අපේ වටේ තිබුණු රටවල් අපිව සාර්ථකව අභිභවා ගියා. අපේ රටේ මිනිස්සුන්ට අනුව අපනයන හොඳයි ආනයන හොඳ නැහැ. එයාගේ වෙළෙඳපොළ වහනවා නම් මගේ වෙළෙඳපොළ මොකටද මම දෙන්නේ කියන මතයේ ඇමරිකන් මනුස්සයා ඉන්නේ. දේශීය දේ බේරගන්න කියලා තීරුබදු තාප්පයක් ගැහුවොත් මොකද වෙන්නේ. එතකොට තරගකාරිත්වය නැති වෙනවා. ට්‍රම්ප් ජනාධිපති මේ තීරුබදු පනවන බව කලින්ම කිව්වා. අපේ ජනාධිපති හොයන්න කමිටුව දාන්නේ දැනුයි.

දැන් ඒ බද්ද ඇමරිකාව පැනෙව්වා. අප්‍රේල් 9 ඉඳන් බදු වලංගුයි. මේ වෙනකොට මහ මුහුදේ අතරමඟ ගමනේ යන නැව්වල තිබෙන අපේ බඩුවලටත් අලුත් බද්ද ගෙවන්න වෙනවා.  අපේ කර්මාන්තවලට තරග කරන්න අමාරු වෙනවා. දැන් කරන්න තියෙන්නේ විවෘත ආර්ථිකයේ අපි විසින් හදාගත්ත විකෘති බදු ක්‍රම ඉවත් කිරීමයි. ඇමරිකාව අපිට ඇඟිල්ල දික්කරගෙන ඒවා හරිගස්සගෙන යම්කිසි එකඟතාවකට එන්න පුළුවන්. ඒත් මේකේ දරුණුකම මොකද්ද කියලා අද අහන තැනකට අද ආණ්ඩුව වැටුණා. අපි කවුරුත් දැනන් හිටියනෙ ට්‍රම්ප් ජනාධිපති මේක දැනට මාසෙකට එකහමාරකට කලින් කතා කළා කියලා. එතකොට අපිට තිබෙන වැදගත්ම වෙළෙඳපොළ ගැන අපි මේ විදිහට නම් ක්‍රියාත්මක වෙන්නේ? ඇමරිකාව මේ ගැන අපිට නම්‍යශීලී බවක් වුණේ නැත්නම් රටේ ආර්ථිකයට දරුණු ලෙස වදිනවා. මෙතැන අපිට ඇමරිකන් වෙළෙඳපොළ නැති වීම පමණක් නෙමෙයි. ඉන්දියාවට සියයට 26ක් පමණයි කියන්නේ අපේ රටේ නිෂ්පාදන කරන භාණ්ඩ සියල්ල ඉන්දියාවෙත් කරන්න පුළුවන්. එතකොට ආයෝජකයොයි අපේ රටේ භාණ්ඩයි ඉන්දියාවට යනවා. සියයට 26ක් පමණයි එහෙ බදු. අපේ රටේ නිෂ්පාදන කරන භාණ්ඩ සියල්ල ඉන්දියාවෙත් කරන්න පුළුවන්. එතකොට ආයෝජකයොයි අපේ රටේ භාණ්ඩයි ඉන්දියාවට යන්න පුළුවන්. මේ වෙලාවෙ ඇමරිකාව යුරෝපයටත් හොඳට තීරු බදු පනවලා සියයට 20ක් විතර. එතකොට ඔවුන්ගෙත් පාරිභෝගිකයාට මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා. එතකොට එක පැත්තකින් ලංකාවෙ භාණ්ඩවල මිල වැඩි වෙනවා. ඔවුන්ගේ ගැනීමේ ශක්තිය අඩු වෙනවා. එතකොට ඒකත් බලපාන්නේ අපනයන කරන රටට. මේවා හුඟක් එකකට එකක් බැඳිලා තියෙන්නේ. ලෝක වෙළෙඳපොළ සැපයුම් දාමය මේ. ඉතින් ඒ විතරක් නෙමෙයි.  අපේ ආර්ථිකයට මූල්‍යමය නොවන බාධකත් තියෙනවා. ඒවා ඉවත් කරන ක්‍රමය තිබුණේ ආර්ථික පරිවර්තන පනතේ. ඉතින් මේවා ගැන ලංකාවෙ මිනිස්සුන්ට ගානක් නෑ. එහෙම තේරෙන්නේ නෑ. ‘

| සචිත්‍ර පෙරේරා | මව්බිම

Tags:

Leave A Comment