අල්ලස් රෑන්ක් එකෙන් ශ්‍රී ලංකාව Fail

  • වාර්ෂිකව ලැබෙන නාස්තිය, දූෂණය, වංචා පැමිණි බාගෙට භාගයක් අපතේ!

  • 2013 දී 79 ඉඳලා 2024 දී 115 බැහැලා

  • “අල්ලස් කොමිසමට අවශ්‍ය තරමට නිලධාරීන් හා සම්පත් නෑ”

යමෙක් ත්‍යාගයක් වශයෙන් හෝ ගෙවීමක් හෝ දීමනාවක් වශයෙන් තවත් කෙනකුට අල්ලසක් දීමට යොමුවන්නේ ඇයි? සැබවින්ම නීත්‍යනුකූල ක්‍රමයට හෝ සාධාරණ ලෙස තමන්ට අවශ්‍ය ක්‍රියාව, තමන්ගේ අභිමථාර්ථය අනුව සිදුකර ගැනීමට නොහැකි නම් එය නිසි කලට සිදුකරගත නොහැකි නම් මිනිසුන් අල්ලස් දීමට යොමුවේ. උවමනාවෙන් කටයුතු පමා කිරීමටත්, නිල බලය, ධන බලය හෝ දේශපාලනික බලය ආදී නොයෙක් කාරණා මත අනෙකාව පීඩාවට ලක් කළ හැකි තැනැත්තන්ගේ උවමනාවටත් අල්ලස් ගැනීම නිරන්තරයෙන් සිදුවේ.

රාජ්‍ය මුදල් වංචාව, සම්පත් අවභාවිතය, නාස්තිය, විවිධ ආකාරයේ දූෂණ අක්‍රමිකතා, අයුතු ඉපයීම්, වත්කම් රැස්කිරීම් ආදියෙන් කප් ගැසූ රටවල් අතර ශ්‍රී ලංකාවට එදා සිට හිමිවන්නේ ඉහළ ස්ථානයකි. ඒ බව ජාත්‍යන්තර දර්ශක තුළින් කාලාන්තරයක් තිස්සේ ඔප්පු වෙමින් පවතී. 2013 වර්ෂයේ 79 වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව Corruption Perceptions Index Rank (CPI Ranking) තුළ පසුගිය ආසන්නම වර්ගීකරණය තුළ 101 ස්ථානයේ සිට 115 ස්ථානය දක්වා තවදුරටත් පහළට ඇද වැටී තිබීම තුළ අල්ලස හා දූෂණයෙන් තොර වූ රාජ්‍යයක ඉලක්කයක් වෙත ගමන් කිරීම, දිනෙන් දින සිහිනයක් කරා යන ගමනක් සේ සැලකිය හැකිය.

අල්ලස් හෝ දූෂණ කොමිසමේ කාර්යය භාරය හා අභියෝග

අල්ලස් රෑන්ක් එකෙන් ශ්‍රී ලංකාව Fail

අල්ලස් හෝ දූෂණ සහ අයුතු වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීම, විමර්ශනය කිරීම, නඩු පැවරීම හා ඊට අදාළ නෛතික කටයුතු සිදු කිරීම මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික යන දෙපාර්ශවයේම සියලු අංශ අල්ලසට හා දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වීමට දැනුවත් කිරීම අල්ලස් කොමිසමේ කාර්ය භාරයයි. 1954 අංක ෂෂ දරන අල්ලස් පනත ස්ථාපනයේ සිට 1994 දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වැඩ කටයුතුත් සමග ශ්‍රී ලංකාවේ අල්ලස, දූෂණය, නීති විරෝධී ඉපයීම, ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් පැවතිය යුතුව තිබුණත් එය එසේ නොවන්නේ ඇයි? මේ සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය පදනම් කරගත් නීතිය, අවනීතිය වූ ක්‍රමවේදයට හේතු වූ අතර එය විසඳිය හැක්කේද, පිරිසිදු දේශපාලනයක් හා නිසි පරිදි නීතිය හා යුක්තිය ක්‍රියාත්මක කරවීමෙන් පමණක්මය.

  • අල්ලස් හා දූෂණ නඩු බහුතරයකදී ඔප්පු කිරීම සඳහා අධිකරණමය ක්‍රියාවලියේදී ලේඛන මත පදනම් වූ සාක්ෂි ඉදිරිපත් කිරීමේදී ගැටලු මතුවීම.
  • අල්ලස හා දූෂණයට එරෙහිව රාජ්‍ය අංශය තුළ ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම.
  • දූෂිතයන් පිළිබඳ හෙළි කිරීමට, උසාවියේදී සාක්ෂි දීමට, නඩුවලට ඉදිරිපත් වීමට ජනතා උනන්දුව අඩුවීම.

අල්ලස හෝ දූෂණ විමර්ශන සභාවේ විශේෂඥ විමර්ශන නිලධාරීන්ගේ හා කාර්යමණ්ඩලවල මෙන්ම පවතින සම්පත්වල ඌනතාවය යනු නොයෙක් කාරණා මත ශ්‍රී ලංකාවට සුපිළිපන්න, සුපිරිසිදු රටක් කරා යෑම අභියෝගයක්ව පවතින අතර රට නිසි මාර්ගයට අවතීරණය කරගැනීමට අවශ්‍ය නම් පවත්නා රජය මේ පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුම වන්නේය.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත හා ශ්‍රී ලංකාවේ අනාගතය, නව රජයේ වගකීම!

දූෂණ නිවරණ කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංගමය සුවිශේෂි අවධානයන් යොමුකරන කාලයක පසුගිය රජයේදී සම්මත කරගනු ලැබූ 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත, ජාත්‍යන්තරය තුළින් ශ්‍රී ලංකාව කෙරෙහි නව බලාපොරොත්තුවක් ගොඩනැංවීමට සමත් විය. එහෙත් එය වඩා අරුත්බර හා ප්‍රතිඵල දායක වන්නේ එකී පනත වංචා, දූෂණ, අල්ලස් පිටු දැකීම හා තුරන් කිරීම සඳහා කෙසේ ප්‍රායෝගිකව භාවිත කරන්නේද යන කාරණා මතය. විශේෂයෙන් එම පනතේදී පාලනයේ විනිවිදභාවය වර්ධනය කිරීම පිළිබඳ අවධාරණය කර ඇති නිසා අභිනවයෙන් පත් වූ රජය දූෂණය හා වංචාව සැබෑවටම දුරු කිරීම සඳහා දක්වන වගවීමේ ක්‍රියාවලිය මහජනතාවට පැහැදිලිව හෙළිදරව් කළ යුතු අතර මාධ්‍ය සන්දර්ශනවලින් ඔබ්බට යා යුතුව ඇත.

පසුගිය දෙසැම්බර් 09 වන දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුමේදී ‘සුපිළිපන්න හෙටක් සඳහා තාරුණ්‍ය එකමුතු කරමු’ යන තේමාව යටතේ ශ්‍රී ලංකාව සැමරීමක් සිදු කළත් එම ජාතික උත්සවය අමතා ජනාධිපතිතුමා විසින් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව මහජනතාවට විවෘත නොවන ආයතනයන් ලෙස පැවතීම පිළිබඳ කරුණු ඉස්මතු කළේය. වසරකට ගොනු කරන සීමිත නඩු ප්‍රමාණයත් එම නඩු ඉතා වේගයෙන් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කර තිබෙන ආකාරයත් පිළිබඳ ජනතාව පැහැදිලිව දැනගත යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

අල්ලස් රෑන්ක් එකෙන් ශ්‍රී ලංකාව Fail

2021 සිට 2024 අගභාගය දක්වා අල්ලස හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි ඉහත ලෙස වර්ගීකරණය කළ හැකි අතර එම කොමිෂන් සභාව විසින් එකී වර්ෂවල පැවරූ නඩු හා ඉල්ලා අස්කරගත් නඩු සම්බන්ධ විස්තර පහතින් දැක්විය හැකිය.

අල්ලස් රෑන්ක් එකෙන් ශ්‍රී ලංකාව Fail

මේ අනුව බලන කල ලැබෙන පැමිණිලි ප්‍රමාණයත් වසරකට ගොනු කෙරෙන නඩු ප්‍රමාණයත් අතර විශාල පරතරයක් පවතින බවත් බහුතර පැමිණිලි ප්‍රමාණයක් අදාළ නොවන හා විවිධ තාක්ෂණික දෝෂ මත කල්යන හෝ අතහැරෙන තත්ත්වයද පැහැදිලිවම නිරීක්ෂණය කළ හැකිය.

පසුගිය දූෂණ විරෝධී සැමරුම් උළෙලේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි අල්ලස හෝ දූෂණ කොමිෂන් සභාව විසින් 2021 වසරේදී නඩු 69ක් පවරා ඉන් නඩු 40ක් ඉල්ලා අස් කරගත් බවත් 2022 වසරේදී නඩු 89ක් පවරා ඉන් නඩු 45ක් ඉල්ලා අස්කරගත් බවටත් වූ ප්‍රකාශය අනුවද අල්ලස හෝ දූෂණ කොමිෂන් සභාව නීතිය ක්‍රියාත්මක කර චූදිතයන්ට දඬුවම් දීමේදී දක්වන දුර්වල කාර්ය සාධනය පිළිබඳ ඉඟි මතු වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ප්‍රකාරව සිදුකළ විමසීම් අනුව හා අල්ලස් කොමිෂන් සභාවේ වැඩිදුර පැහැදිලි කිරීම් අනුව පසුගිය වසර කිහිපයේදී ඉල්ලා අස්කරගත් නඩු සම්බන්ධයෙන් අප විසින් පහත තොරතුරු අනාවරණය කරන ලදී.

අල්ලස් රෑන්ක් එකෙන් ශ්‍රී ලංකාව Fail

නඩු ගොනු කිරීමේ ඇතිවන තාක්ෂණික දෝෂ, අල්ලස හා දූෂණ පනතට අනුකූල නොවීම, ප්‍රමාණවත් සාක්ෂි හා කරුණු ඉදිරිපත් කර ගැනීමට නොහැකි වීම, නැවතත් ඉදිරියේ විධිමත්ව නඩු ගොනු කිරීමට බලාපොරොත්තුව යන කාරණා මතත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 01/2011 හි තීන්දුව ප්‍රකාරවත් යම් නඩු සංඛ්‍යාවක් ඉල්ලා අස්කරගෙන ඇති බව කොමිසම දැනුවත් කරයි.

කෙසේ නමුත් ජනාධිපතිතුමාට ඇති වූ සැකය හා මහජනතාවට ඇතිවන සැකය තවදුරටත් තීව්‍ර කරමින් අල්ලස හා දූෂණ මැඩලීමේදී නිලධාරීන්ගේ හා නෛතික ක්‍රියාවලිය පැහැදිලි විනිවිදභාවයකින් තොරව ගලා යන්නක් බව පෙනේ.

  • නඩු අවසන් කිරීම්, චූදිතයන් හා දඩ මුදල් හා අය කරගැනීම්!
  • අල්ලස් හා දූෂණ නඩුවලින් සෑම වසරකම නිදහස් වන ප්‍රමාණය වැඩියි!
  • අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් මහෙස්ත්‍රාත් හා මහාධිකරණවල පැවරූ නඩුවලින් 2021දී නඩු 69ක් අවසන් වී ඇති අතර 2022දී 96ක්ද 2023දී 69ක්ද 2024

අගභාගය වනවිට නඩු 67 වශයෙන්ද අවසන් වී තිබේ. නමුත් පහත විශ්ලේෂණය අනුව සලකා බැලෙන කළ එම පවරන නඩුවලින් සැලකිය ප්‍රමාණයක් නිදහස්භාවය ලබා තිබීම ද අවධානයට ලක් කළ යුතු කරුණක් වී තිබේ.

අල්ලස් රෑන්ක් එකෙන් ශ්‍රී ලංකාව Fail

ඒ අනුව වසරකට අල්ලස් දූෂණ සම්බන්ධයෙන් නිදහස් හා නිදොස්කොට නිදහස් වීම් වනු ලබන විත්තිකරුවන් ප්‍රමාණය එම නඩුවලින් වැරදිකරුවන් වන ප්‍රමාණයට වඩා සෑමවිටම ඉහළ අගයන් ගෙන ඇත. පසුගිය වසර කිහිපය තුළ නඩු 301කින් 128 දෙනෙක් නිවැරදි කරුවන් වී ඇති අතර චෝදනාවලට වැරදිකරුවන් වී ඇත්තේ 75 දෙනකු පමණයි. ඉල්ලා අස්කර ගත් හෝ වෙනත් කරුණු සම්බන්ධයෙන් වූ නඩු 98 පිළිබඳ බලන කල එයින් ද ගම්‍යවන්නේ අල්ලස් හා දූෂණ කොමසමේ කාර්ය ප්‍රගතියේ දුර්වලකමයි. මෙලෙස 25%ක් වන අල්ලස් නඩුවල වරදකරුවන් ප්‍රමාණය 50%ක් 75%ක් දක්වා යෑමට, නිසි සැලැස්මක් වර්තමාන ආණ්ඩුවටද තිබේ යැයි සැක සහිතය.

නඩු පැවරීම් මගින් මහෙස්ත්‍රාත් හා මහාධිකරණවලින් දඩ මුදල් ලෙස රජයට ආදායම් ලැබෙන අතර 2022දී රුපියල් 1,340,000ක මුදලක් ද, 2023දී රුපියල් 6,18,000ක මුදලක් පමණක් ද, 2024.11.30 වනවිට රුපියල් 51,467,500 මුදලක් ද ලැබුණු බවට එම කොමිසමේ වාර්තා පෙන්වා දෙයි. නමුත් ගැටලුවක් වී ඇත්තේ මහා පරිමාණ, වංචා, දූෂණ, නීති විරෝධි ඉපයීම්, අයථා දේපළ පිළිබඳ චෝදනා විනා ඒවා අත්පත් කර ගැනීම් හෝ වෙනත් තහනම් කිරීම් දන්ඩන ආදියෙන් රටට විශාල නැවත අයවීමක් සිදු නොවන බවයි. නව දූෂණ විරෝධී පනතින්වත් මේ ගැටලු සඳහා විසඳුම් ලැබෙන ලෙස ඵලදායි කර ගැනීමට වර්තමාන රජය උනන්දු නොවන්නේ නම් ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ සඳහන් කරන පරිදි ‘කොපමණ නීති සම්පාදනය කළත් කොපමණ ආයතන ගොඩනැඟුවත් ඒවා හොබවන පුද්ගලයින් නිසියාකාරව ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට නිසි සාධාරණයක් නොවන බව’ සැමදෙනාම ප්‍රත්‍යක්ෂ කරගත යුතු කරුණක් වන්නේය.

|ජනක බෝකුඹුර

(දිවයින ඉරිදා සංග්‍රහය)

Leave A Comment