
ඇමැති කේ.ඩී. ලාල්කාන්ත
- CNL Reporter
- February 17, 2025
- ව්‍යාපාරික පුවත්
- ඇමැති කේ.ඩී. ලාල්කාන්ත
- 0 Comments
ඇමැති කේ.ඩී. ලාල්කාන්ත
මෝල් හිමියන් රජයේ පාලන මිලට වඩා වැඩි මුදලකට වී මිල දී ගත්ත ද එය පදනම් කර ගනිමින් ඉදිරියේ දී සහල් මිල වැඩි කිරීමට ඔවුන්ට කිසිසේත් ඉඩ නොදෙන බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
නාඩු කිලෝවක සහතික මිල රුපියල් 120 ක් ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබිය දී මෝල් හිමියන් ඊට වැඩි මිලට ද වී මිල දී ගනිමින් තිබෙන බවත් මේ නිසා ගොවියාගේ පැත්තෙන් මේ වනවිට ප්‍රශ්නයක් නොමැති බවත් ඒ මහතා කීය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය ලාල්කාන්ත මහතා මෙසේද පැවසුවේය. ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී ලබාදීම දැන් ආරම්භ කර තිබෙනවා. මණ්ඩලයට අම්පාරෙන් විශාල වී තොගයක් ලැබුණා. ප්‍රදේශ රැසක තවමත් වී නොකැපෙන තත්ත්වයකුත් තිබෙනවා. පෞද්ගලික අංශයත් වී මිලදී ගැනීම් කරනවා. ගොවියාට වී විකුණා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ. ගොවියාගේ පැත්ත රජය හොඳට කියවාගෙන තිබෙනවා. මේ නිසා තමයි ගොවියාට වැඩි මිලකට වී විකුණා ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ගොවියාට මෙතෙක් කල් තිබුණු ලොකුම ප්‍රශ්නය වුණේ නිෂ්පාදන වියදමටත් වඩා අඩුවෙන් වී විකිණීමට සිද්ධවීමයි. මෙවර රජය මුළුමනින්ම ඒ ප්‍රශ්නය විසඳලා තිබෙනවා. අපි නාඩු වී කිලෝව රුපියල් 120 යි කියලා ප්‍රකාශ කළා. ඊට වඩා වැඩි මිලට ගොවීන් වී විකුණනවා. ඒ නිසා ඇත්තටම දැන් ගොවියාගේ පැත්තෙන් ප්‍රශ්නයක් නැහැ. ඉදිරියේ දී ප්‍රශ්නයක් එනවා නම් එන්නේ පාරිභෝගිකයාගේ පැත්තෙන් තමයි. ඉහළ මිලකට වී මිල දී ගත්තම සමහර විට වී මෝල් හිමියෝ හාල් මිල වැඩි කිරීමට නැඹුරු විය හැකියි. අපි හාල් මිල තීරණය කර තිබෙනවා. මෝල් හිමියෝ කුමන මුදලකට වී මිල දී ගත්තත් හාල් මිල වැඩි කරන්න රජය දෙන්නේ නැහැ. ජාතික වශයෙන් තීරණය කර තිබෙන මිලට පාරිභෝගිකයින්ට සහල් ලබා දෙන්න කටයුතු කරන අතර ඒ සඳහා පාරිභෝගික අධිකාරිය තවදුරටත් ශක්තිමත් කරනවා.
රජය තීරණය කර තිබෙන මිලට වැඩියෙන් සහල් විකුණන වෙළෙඳුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. සහල් නිෂ්පාදකයින් වෙළෙඳ ස්ථානවලට සහල් ලබා දීමේ දී රජයේ පාලන මිල ඉක්මවා බිල් කිරීම නිසා පාරිභෝගිකයින්ට සහල් විකිණීමේ දී කඩ හිමියන් දැඩි අසීරුතාවට පත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. සහල් නිෂ්පාදකයින් තොග වශයෙන් හාල් මුදාහරින අවස්ථාව සඳහාත් සහතික මිලක් ගේන්න ඕන තත්ත්වයක් තමයි දැන් නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව තිබෙනවා. මහජන මුදලින් තමයි රජය ගොවීන්ට පොහොර ලබා දෙන්නේ. ගොවිතැන් සඳහා ලබාදෙන ජලය වෙනුවෙනුත් වැය කරන්නේ මහජන මුදල්. මේ නිසා පාරිභෝගිකයාගේ පැත්ත ගැනත් හිතා කටයුතු කරන්න ගොවීන්ට වගකීමක් තිබෙනවා. එහෙම හිතන ගොවීන් මේ වනවිට වී අලෙවි මණ්ඩලයට වී රැගෙන එමින් සිටිනවා. මේ නිසා අවශ්‍ය වී තොග රැස්කර ගන්න වී අලෙවි මණ්ඩලයට පුළුවන් කියන විශ්වාසය අපට තිබෙනවා.
අසේල කුරුළුවංශ, මධ්‍යම පළාත් විශේෂ