ඇ. ඩො. බිලියන 25ක වෙළෙඳ භාණ්ඩ අපනයන ඉලක්ක සපුරා ගැනීමට අභිනව නායකත්වය සමග කටයුතු කරනවා

මාලිමාවට සුබ පතමින් ඒකාබද්ධ ඇඟලුම් සංසදය කියයි
වර්ෂ 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 25ක වෙළෙඳ භාණ්ඩ අපනයන ඉලක්කය කරා ළඟා වීමට සහාය වීමට අභිනව නායකත්වය සමග සමීපව කටයුතු කිරීම සඳහා කැපවන බව ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත සංගම් සංසඳය පවසයි.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය, පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් දිනාගත් ජාතික ජන බලවේගයට සුබ පතමින් ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ක්ෂේත්‍රය නියෝජනය කරන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මෙවර මහ මැතිවරණයෙන් පැහැදිලි හා ශක්තිමත් බහුතර ජනවරමක් දිනාගත් ජාතික ජන බලවේගයට සිය ශුභාශිංසන එක් කරමින් මෙම නව පරිච්ඡේදය සමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට, තිරසාර රැකියා උත්පාදනය කිරීමට සහ 2030 වන විට ඩොලර් බිලියන 25 ක වෙළෙඳ භාණ්ඩ අපනයන ඉලක්කය කරා ළඟා වීමට සහාය වීමට අභිනව නායකත්වය සමග සමීපව කටයුතු කරන බව පවසයි.

ශ්‍රී ලංකාවේ රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තය ජාතික ආර්ථිකයේ වැදගත් සාධකයක් වන අතර එය තීරණාත්මක අපනයන ආදායමක් උපයමින් සහ ලක්ෂ ගණනකට රැකියා සපයා දෙයි. රට ආර්ථික අභියෝගවලට මුහුණ දෙන අවස්ථාවේදී රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාව තුළින් ශ්‍රී ලංකාව ස්ථාවර සහ සංවර්ධනය කරා යන ගමනට ශක්තිමත් අඩිතාලමක් සකස් කළ හැකි බව එම සංසදය විශ්වාසය පළකරයි. ජාතික ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා තීරණාත්මක වන කර්මාන්තයේ තරඟකාරිත්වය සහ ආර්ථික දායකත්වය වැඩිදියුණු කරන ප්‍රතිපත්ති කෙරෙහි නව පාර්ලිමේන්තුව අවධානය යොමු කරනු ඇතැයි එම සංගමය අපේක්ෂා කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් එම සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවසුවේ “වත්මන් ගෝලීය වාතාවරණය තුළ වෙළෙඳාම, ආයෝජන සහ කාර්මික සංවර්ධනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම අන් කවරදාටත් වඩා වැදගත් වී තිබෙන බවයි.

නව රජය ආර්ථික ස්ථාවරත්වය ප්‍රවර්ධනය කරන, විදේශ ආයෝජන දිරිමත් කරන සහ ජාත්‍යන්තර වෙළෙඳාමේ විශ්වසනීය හවුල්කරුවකු ලෙස ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කීර්තිය තවත් ශක්තිමත් කරන ප්‍රතිපත්ති සම්පාදනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද පවසන යොහාන් ලෝරන්ස් මහතා පවසන්නේ නියාමන ක්‍රියාවලීන් විධිමත් කිරීම, වෙළෙඳ පහසුකම් වැඩිදියුණු කිරීම සහ හිතකර වෙළෙඳ ගිවිසුම් ආරක්ෂා කිරීම මගින් ඇඟලුම් කර්මාන්තයට තිරසාර ලෙස වර්ධනය වීමටත් ශ්‍රී ලාංකිකයින්ට නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත් හැකි වන බවයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

Leave A Comment