
ඉදිරියේදී ගෘහ සේවකයන් සඳහා රැකියා ගිවිසුම අනිවාර්යය වෙයි
- Sujeewa Senerath
- June 17, 2025
- දේශපාලන, විශේෂාංග
- domesticworkers
- 0 Comments
ජාත්‍යන්තර ගෘහ සේවක දිනය (ජූනි 16) දිනය යෙදී තිිබිණි. ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන්ගේ ජීවිත වෙනස් විය හැකි අලුත් බලාපොරොත්තුවක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කාර්යාලය විසින් අද ලබා දුන්නා. එනම් ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන් සඳහා රැකියා ගිවිසුම් ආකෘතියක් (Model Contract) ප්‍රකාශයට පත් කළා. ILO විසින් ප්‍රොටෙක්ට් සංගමය, ගෘහස්ථ කම්කරු සංගමයේ සාමාජිකයන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡා, ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් ලබා ගන්නා තොරතුරු මේ සඳහා පාදක කරගෙන ඇත. එසේම ක්ෂේත්රයේ අද්දැකීම් සහිත වෘත්තීය සමිති නායකයින්, හාම්පුතුන්ගේ සම්මේලනය, නීතීඥයින් සහ කම්කරු දෙපාර්තමේන්තුව මේ සඳහා සහය දක්වා ඇත.
මෙය ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ යහපත් රැකියා කොන්දේසි සඳහා වන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. මෙම සන්ධිස්ථාන මුලපිරීමේ අරමුණ වන්නේ ගෘහ සේවිකාවන් සහ ඔවුන්ගේ සේවායෝජකයින් අතර රැකියා සබඳතා සහ නියමයන් පැහැදිලි කිරීම සහ එක් එක් පාර්ශවයන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව දැනුවත් කිරීම මගින් ගෘහ සේවිකාවන් සඳහා යහපත් රැකියා ප්‍රවර්ධනය කිරීමයි.
ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා මෙම වැදගත් පියවර සනිටුහන් කිරීම සඳහා මෙම වැඩසටහන සඳහා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස මහතා සහ වසන්තන් මහතා, වෘත්තීය සමිති නියෝජනය කරමින් ප්‍රොටෙක්ට් සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, DWU, LJEWU, NUSS, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, Center for Working women, CWC ඇතුළු වෘත්තීය සමිති කිහිපයක්ද, සේවා යෝජක සංවිධාන සහ සිවිල් සමාජ සංවිධානවල නියෝජිතයින් සහභාගී විය.
මෙහිදී වැඩසටහන ආරම්භය කරමින් ILO හි දේශීය අධ්‍යක්ෂිකා ජෝනි සිම්ප්සන් මහත්මිය රැකියා ගිවිසුමෙහි ඇති වැදගත්කම සහ ILO හි භූමිකාව පිළිබඳව පැහැදිළි කරන ලදී. කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස මහතා සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නියෝජිත වරියක්ද අදහස් දක්වන ලදී.
මෙහිදී මණ්ඩල සාකච්ඡාවක් (Panel Discussion) පැවැත්වුණු අතර එහි දේශකයන් ලෙස ILO හි කම්කරු ආරක්ෂණය සහ අවිධිමත්භාවය පිළිබඳ විශේෂඥ ඇනා ඔල්සන් මහත්මිය, ILO හි උපදේශක පද්මිණී රත්නායක මහත්මිය සහ PROTECT සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග සහභාගී විය.
ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුකූලව කොන්ත්‍රාත්තුවේ ප්‍රධාන අංග පිළිබඳව ILO හි කම්කරු ආරක්ෂණය (Labour Protection) සහ අවිධිමත්භාවය (Informality) පිළිබඳ විශේෂඥ ඇනා ඔල්සන් මහත්මිය, රැකියා කොන්ත්‍රාත්/ ගිවිසුම් සංවර්ධන ක්‍රියාවලිය සහ ජාතික කම්කරු ප්රමිතීන් සමඟ එහි පෙළගැස්ම පිළිබඳ අවබෝධය ILO හි උපදේශක පද්මිණී රත්නායක මහත්මිය විසින්ද, ගෘහ සේවකයන් සඳහා යහපත් රැකියාවක් කරා යන දිගු ගමනක වැදගත් පළමු පියවරක් ලෙස රැකියා කොන්ත්‍රාත්තුව පිළිබඳව PROTECT සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග මහතා දේශන සිදු කරන ලදී.
කෙසේ වුවද ශ්‍රී ලංකාව තුළ පවතින කම්කරු නීති අණපනත් මගින් ගෘහ සේවකයන් ආවරණය වී නොමැති බැවින් මෙම කොන්ත්‍රාත්තුව (Contract) කෙතරම් දුරට ප්‍රායෝගික වේදැයි ගැටළුවක් පවතී. එබැවින් රජයේ වගකීම වන්නේ පවතින කම්කරු නීති අණපනත් සංශෝධනය කර ගෘහ සේවකයන්ටද ඒවායේ ආවරණය ලබා දී යහපත් රැකියා කොන්දේසි ප්‍රවර්ධනය කිරීමයි.