උපාධි  අර්බූදය – ව්‍යාජ පුවත් අවලාදවලට එරෙහිව සොයන්න පොලිසියට පැමිණිලි

ඉංජිනේරුවරයෙකු ලෙස  සුදුසුකම් සපුරා ඇති තමන්ට උපාධියක් නැතැයි විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාජ පුවත් අවලාද නගනවූවන්ට එරෙහිව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා (16) දින සවස පරිගණක අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ලද උපාධි සහතිකයද මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම මත එහිදී ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලේඛාධිකාරී විසින් නිකුත් කළ සනාථකිරීමේ ලිපියක්ද ඉදිරිපත් කරමින්, ජාතික ජනබලවේගයේ ඇමතිවරයෙකු ලෙස තමන්ට ප්‍රකාශිත අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබියදී සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස හා අවලාද නැගීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් බංකොලොත් දේශපාලන කල්ලි කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කරන බවත් එමනිසා ජනතාවට සත්‍යය පෙන්වාදීම පිණිස මේ පියවර ගත් බවත් ප්‍රකාශ කළේය. රජයේ ඇමතිවරුන්ගේ සුදුසුකම්, උපාධි පිළිබදව සැක සංකා ඇති කරමින් ඇමතිවරු හා රජය අපහසුතාවයට පත් කිරීමට වෙරදැරීම පරාජය කිරීම පිණිස මෙම පියවර ගත් බවත් වැඩිදුරටත් සදහන් කළේය.

විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් සමහරවිට අනවර්ථ නම් වලින් විදේශගතව සිටිමින් කරන මේ ප්‍රචාරවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු යැයිද හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු තමන් ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස පාර්ලිමේන්තු ලේඛණ වල සදහන් කර තිබූ බවට කළ ප්‍රකාශයක් සිහිපත් කරමින් අවුරුදු විසිගණනකට පෙර උපාධි ලබාගත් තමාට ඉංජිනේරු ශිෂ්‍යයකු ලෙස සදහන් කිරීමට කිසි අවශ්‍යතාවක් නැති බවත් තමා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෙකු බවද වැඩිදුරටත් සදහන් කළේය.

තමන්ට උපාධියක් නැතැයි කියන අය එය ඔප්පු කරන්න යැයිද එලෙස ඔප්පු කළ හැකි නම් දේශපාලනයෙන් විශ්‍රාම යාමට තමන් සූදානම් බවත් හෙතෙම අභියෝගාත්මක ලෙස වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාද පැමිණිලි කළ බව සිහිපත් කරමින් කරුණු දැක්වූ අමාත්‍යවරයා, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සමහර විපක්ෂ දේශපාලකයන්ටද තම සුදුසුකම් ඉදිරිපත් කරන්නට සිදුවනු ඇතිබවත් සදහන් කළේය.

Leave A Comment