උසස් පෙළ සමතුන්ට රජයෙන් විදේශ ශිෂ්‍යත්ව පිරිනමනවා

දිස්ත්‍රික් ලේකම් සමුළුව අමතමින් ජනපති කියයි

එළඹෙන වසරේදී උසස් පෙළ සමත් වන සිසුන් සැලකිය යුතු ප්‍රමාණයකට විදේශ අධ්‍යාපනය ලැබීමට රජයේ ශිෂ්‍යත්ව පිරිනැමීමට බලාපොරොත්තු වන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු ඒ බව සඳහන් කළේ නාරාහේන්පිට පිහිටි ‘නිල මැඳුර’ ගොඩනැඟිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගියදා (20) පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුව අමතමිනි.

කිසි සේත්ම රාජ්‍ය සේවය කප්පාදු කිරීමට බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යෑම සඳහා දරන වැය බර පිළිබඳ ගැටලුව පවතින බැවින් එක් අධිෂ්ඨානයක සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යන්ත්‍රණයකට ගෙන ආ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ජනවරමේ අපේක්ෂාවන්ට දේශපාලන අධිකාරිය පමණක් නොව රාජ්‍ය සේවයද වග විය යුතු මෙන්ම වගකිව යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය නව වසරේ ජනවාරි 1 දා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, මෙරට පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට පත් කළ නව කමිටුව මඟින් දේශපාලනිකව සිදු වන බලපෑම පිළිබඳ නොතකා, ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සිට දිස්ත්‍රික් ලේකම් දක්වා තනතුරු නාම වෙනස් වූ මේ සේවය වසර 200ක් පමණ පැරණි බවත්, අපේ රට නව දිශානතියකට යොමු කිරීම සඳහා එමඟින් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. එහෙත් අවසාන අරමුණ හා ඉලක්කය පිළිබඳ වත්මන් තත්ත්වය සෑහීමකට පත් විය නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය ආයතනයකින් සාධාරණ සේවයක් ලබාගැනීම පිළිබඳ ජනතාව තුළ කිසිදු විශ්වාසයක් නැති බවත්, රාජ්‍යක් ලෙස මුළු පද්ධතියම බිඳවැටී ඇති බවත් පැවසීය. එසේ බිඳවැටී ඇති පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සූදානම්ද නැද්ද යන්න අප අපගෙන්ම විමසා බැලිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

තමන්ට ඇත්තේ රාජ්‍ය සේවයේ තිබෙන පුටු පිළිබඳ ප්‍රශ්නය නොවන බවත්, පුටුවක අසුන් ගන්වන්න ඉන්නේ කවුද යන්න පමණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ලෝකයේ සිදු වන වෙනස්කම් උකහාගනිමින් ඒවා ගළපාගනිමින්, තම ක්ෂේත්‍රයට නායකත්වය දෙමින් ජයග්‍රහණය සඳහා මෙහෙයවීමට සමත් වන පුටුවල හිස්කමක් ඇති බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ නිසා නිලධාරීන් 1,500කට පමණ ඉන්දියාවේදී පුහුණුව දීමට පසුගිය ඉන්දීය සංචාරයේදී එකඟ වූ බව පැවසීය.

සමහර ආයතන මෙන්ම තනතුරු පවා ගොඩනැඟුණේ කුමන පදනමකින්ද යන්න ගැටලුවක් බවත්, අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යන්ත්‍රණයක් බවට පරිවර්තනය කරගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බවත් පැවසූ ජනාධිපතිවරයා, මේ සඳහා නව ව්‍යූහයක් අවශ්‍ය වනු ඇති බවද පෙන්වා දුන්නේය.

මේ කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන අධිකාරිය ලෙස සිය උපරිම දායකත්වය දෙන බවත්, මේ කර්තව්‍යය සාර්ථක වන්නේ රාජ්‍ය නිලධාරීන් ඊට දක්වන දායකත්වය මත බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජන වරමේ අපේක්ෂා 80%ක්ම පෙන්වා ඇත්තේ රාජ්‍ය සේවකයන් බැවින් දේශපාලන අධිකාරියේ කාර්යයන්ට සිය කැමැත්ත, අනුමැතිය දී ඇති බවත්, මේ ද්විත්වය පරස්පර කණ්ඩායම් දෙකක් නොවන සමපාත කණ්ඩායම් දෙකක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ඒ අනුව දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය සේවයේ අපේක්ෂාවත් අරමුණත් එකට සමපාත වී තිබෙන බව පසුගිය ජනවරමින් පෙන්නුම් කර ඇති බවද දෙපාර්ශ්වයම එකඟ වූ කාර්යයක් අප හමුවේ ඇති බවද ප්‍රකාශ කළේය.

අපේ රට නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් දුප්පත්භාවය තුරන් කිරීම, ඩිජිටල්කරණය, සමාජය ආකල්පමය වශයෙන් පරිවර්තනය කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා යන ක්ෂේත්‍ර තුන යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ කාර්යය ඉටු කිරීම සඳහා වැඩ කිරීමේදී යම් නිලධාරියකු අපහසුතාවකට, අයුක්තියකට, අසාධාරණයකට ලක් වන්නේ නම්, තමා එම පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කළ ජනාධිපතිවරයා යම් නිලධාරියකු එම කාර්යයන් කඩාකප්පල් කිරීමට, හිතාමතා අතපසු කිරීමට කටයුතු කරන්නේ නම් එයටද ඒ හා සමානව ක්‍රියාත්මක වන බවද පැවසීය.

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමැති පී. රුවන් සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අගමැති ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහත්ම මහත්මීන්, දිසාපතිවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න, ජයසිරි මුණසිංහ

Leave A Comment