උසාවි නියෝග කඩ කළැයි දේශබන්දුට හා මෝටර් රථයේ හිමිකරුට නොතිසි

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා පිටව යෑමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25 වැනිදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙන යෑමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට මාතර මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.

ඉකුත් අප්‍රේල් 10 දා දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප ලබා මාතර මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යෑමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (21දා) අධිකරණයට කරුණු දක්වා තිබුණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා කරුණු දක්වමින් හිටපු පොලිස්පතිවරයා ඇප ලබා පිටව යන අවස්ථාවේදී ඇප කොන්දේසි කඩ කළ බවත් ඒ සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලබන 25 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කිරීමට අදහස් කර ඇති බැවින් හිටපු පොලිස්පතිවරයාටද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කරන මෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම හිටපු පොලිස්පතිවරයාට අධිකරණ භුමියෙන් පිටව යන අවස්ථාවේ දී ආරක්ෂාව දෙන්නැයි කළ ඉල්ලීම ද එදින අධිකරණය ප්‍රතික්ෂේප කළ පසුබිමක නීතිඥවරයෙකුගේ නොවන වාහනයකින් අධිකරණ භූමිය තුළට පැමිණ ඇත්තේ පොලිස්පතිවරයාට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සැකකරුවකු ලෙස නම් කර වෙනත් නඩුවක් පවරා ඇති පුද්ගලයා සමග බවත් ඒ පැමිණි වාහනය ද රොශාන් නමැත්තකුට අයිති එකක් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් සඳහන් කළේය.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ලබන 25 වැනිදා දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ එම වාහනයේ රියදුරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කළ අතර එදින අධිකරණයේ ගේට්ටුව අසල රාජකාරි කළ පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසද නියෝග කළේය.

ඒ අනුව එදිනට අධිකරණය හමුවේ මේ සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා වැඩිදුර කරුණු වාර්තා කිරීමට නියමිතය.

ඒ.ජේ.ඒ. අබේනායක

 

Leave A Comment