එජාපය කොළඹට නගරාධිපති අපේක්ෂකයකු නම් නොකරයි ! – ඡන්දයෙන් පසු පොදු එකඟතාවයක්

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ මහ නගර සභාව සඳහා ‘අලියා’ ලකුණ යටතේ තරඟකරන එක්සත් ජාතික පක්ෂය, සිය කණ්ඩායම වෙනුවෙන් නගරාධිපති අපේක්ෂකයකු නම් නොකිරීමට තීරණය කර ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එජාප කොළඹ කණ්ඩායම් මෙහෙයවන එම පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක පසුගියදා එබව ප්‍රකාශකර ඇත්තේ, කොළඹ මහා නගරසභාව වෙනුවෙන් ඉදිරිපත්ව සිටින එජාප අපේක්ෂකයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ජාවකදීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවති එම රැස්වීමේදී එජාප ජාතික සංවිධායක වරයා, තව දුරටත් පවසා ඇත්තේ මැතිවරණයේ ප්‍රතිපල ප්‍රකාශ විමෙන් අනතුරුව, විපක්ෂයේ සියලු පක්ෂවල සහයෙන් කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීමේදී විපක්ෂයේ වැඩිම ආසන ගණනක් හිමිකර ගන්නා පක්ෂයට නගරාධිපති ධුර ලබාදීමට එකඟ බවයි.

විපක්ෂයේ පොදු සන්ධානයක් ලෙස කොළඹ මහ නගර සභාවට කණ්ඩායමක් ඉදිරිපත් කිරීමටත් එහිදී නගරාධිපති අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රීවරයකු වන ඉරාන් වික්‍රමරත්න නම් කිරීමට එජාප නායකත්වය එකඟව සිටි බවද සාගල රත්නායක මෙහිදී ප්‍රකාශකර ඇත.

එජාප නායකයාගේ එම තීරණය තමා විසින් ඉරාන් වික්‍රමරත්න වෙතත්, සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වෙතත් දැනුම්දුන් බවද එජාප ජාතික සංවිධායකයා පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් සජබ පාර්ශවයෙන් මුලදී යහපත් ප්‍රතිචාරයක් ලැබුන හෙයින් එජාප කොළඹ ලැයිස්තුව අවසන් මොහොත දක්වා ම නිමා නොකර සිටිබවද ඔහු මෙගිදී සඳහන් කර තිබේ.

කෙසේවුවද මෙම මැතිවරණයෙන් පසු විපක්ෂයේ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට වැඩි අවස්ථාවක් හිමිවනු ඇති බවට සාගල රත්නායක අනාවැකි පළකර ඇත.

theleader.lk

Leave A Comment