ඔන්ලයින් වංචා: ‘වංචාකාරී ඇමතුමක් ද කියලා’ දැන ගන්නේ කොහොම ද?

මෙම වසරේ පළමු මාස දෙක තුළදී මෙරට පුද්ගලයින් අන්තර්ජාලය ඔස්සේ විවිධ වංචාවන්ට හසු වූ සිදුවීම් 108ක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ ලැබෙන විවිධ දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ ඔස්සේ ජනතාව විවිධ වංචාවන්ට හසුවන බව යි.

විදේශ දුරකථන අංක ද යොදා ගනිමින් පුද්ගලයින්ව රැවටීමට ලක් කිරීමට ගන්නා උත්සාහයන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන්නේ බොහෝ කලක සිට ය.

‘වංචාකාරී ඇමතුමක් ද කියලා’ දැන ගන්නේ කොහොම ද?

තමන්ට ලැබෙන දුරකථන ඇමතුම හෝ කෙටි පණිවුඩය කිසියම් හෝ වංචාවකට හසුකර ගැනීමට දරන උත්සහයක් ද යන්න සැකහැර දැන ගත හැක්කේ කෙසේදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල ඒ සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේය.

“සමහර වෙලාවට මේ වගේ වංචාකාරී මැසේජස් එන්නේ මොකක් හරි දිනුමක් තියෙනවා කියලා එහෙම නැත්නම් පාර්සල් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ එන මැසේජ් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කළා ම අපේ මොබයිල් ෆෝන් එකේ තියෙන සියලුම විස්තර මේ වංචාවට සම්බන්ධ පිරිස් වලට ලබා ගන්න පුළුවන්.

ඒ නිසා මේ වගේ මැසේජ් එකක් ආවොත් ඒක ගැන කල්පනාකාරීව කටයුතු කරන එක තමයි වැදගත්. ගොඩක් වෙලාවට මේ වගේ දේවල්වලට විදේශ රටවල පාවිච්චි කරන දුරකථන අංක පවා යොදා ගන්නවා.

“ඒ නිසා නොදන්නා දුරකථන අංකවලින් හරි සමහර වෙලාවට දන්න කියන කෙනෙක් ගේ අංකයකින් ලැබෙන කෙටි පණිවුඩයක් වුණත් හොඳට කල්පනාකාරීව බලලා කටයුතු කරන්න. මොකද මේ වගේ වංචාකරන අය විවිධ කාලවලදී විවිධ විදිහට මිනිස්සුන්ව රවට්ටනවා,” ඔහු පැවසුවේය.

විදේශ කේත අංකයක් සහිතව අප ප්‍රවෘත්ති කණ්ඩායමේ මිතුරියන් දෙදෙනෙකුගේ WhatsApp වෙත ලැබී තිබුණු එක ම පණිවිඩය

‘දන්නේ නැත්නම් ආන්සර් කරන්න එපා’

විදේශ දුරකථන අංක ඔස්සේ ලැබෙන මෙවැනි වංචාකාරී කෙටි පණිවුඩ සහ දුරකථන අංකවලින් ආරක්ෂා වෙන්නේ කෙසේදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර කියා සිටියේ, තමන් නොදන්නා අංකයකින් ලැබෙන දුරකථන අංකයක් ඔස්සේ ලැබෙන ඇමතුම් සහ කෙටි පණිවිඩවලට පිළිතුරු සැපයීමට පුද්ගලයින් උත්සාහ නොකළ යුතු බවයි. එමගින් මෙවැනි වංචාවලින් ආරක්ෂාවීමට පහසු බව ද ඔහු පැවසුවේය.

“පළවෙනියට ම ගොඩක් වෙලාවට අනවශ්‍ය දුරකථන ඇමතුම් වගේ ම මැසේජස් එන්නේ වට්ස්ඇප් ඇතුළු කෙටි පණිවිඩ හුවමාරු කරන්න යොදා ගන්න ඇප්ස් හරහා. වට්ස්ඇප් යෙදුමේ ලබා දීලා තියෙනවා ‘Silence Unknown Callers’ ඔප්ෂන් එකක්. ඒක ඇක්ටිව් කළා ම අපි නොදන්න අංක වලින් දුරකථන ඇමතුම් එන්නේ නැහැ. මගේ උපදෙස තමයි තමන්ගේ ඥාතීන් හෝ දන්න කියන කවුරුත් නැති රටක ඉදලා එන දුරකථන ඇමතුම් වගේම විවිධ වංචාවන්ට ලක් කරන්න පුළුවන් කියලා හිතෙන කෙටි පණිවිඩවලට පිළිතුරු දෙන්න යන්න එපා කියන එක.”

“අපිට ලැබෙන කෝල් එකට හෝ SMS එකකට පිළිතුරු දුන්නොත් තමයි ඔවුන්ට හැකියාව තියෙන්නේ අපිව වංචාවට ලක් කරන්න. සමහර වංචාවන් තියෙනවා එක පාරක් ඇමතුමක් දීලා ෆෝන් එක කට් කරනවා. පස්සේ අපි ඒ නම්බර් එකට කෝල් කරනවා කවුද කියලා බලන්න. එතැනින් තමයි අපි වංචාවට ලක් කරන්න ඔවුන් පටන් ගන්නේ. හොඳ ම දේ තමයි නොදන්නේ කෙනෙක් නම්, දන්නේ නැති කෙනෙක් නම් ඒ ඇමතුමට පිළිතුරු දෙන්න යන්න එපා කියන එක,” අසේල වෛද්‍යලංකාර පවසයි.

ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව අඩු වීම හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචා සඳහා වැඩි වශයෙන් ගොදුරු වීමේ ප්‍රවණතාවක් පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලබා දෙන නව තාක්ෂණික සේවා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා නුවරඑළියේදී පැවැත්වූ වැඩමුළුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේය.

ගනුදෙනු කිරීමේදී නෝට්ටු හෝ කාසි භාවිත කිරීම වෙනුවට ඒ සඳහා ඩිජිටල් ක්‍රම භාවිත කිරීම සඳහා පාරිභෝගිකයින් දිරිගැන්වීම වැදගත් වන අතර ම ඒ ගැන දැනුවත් භාවය ලබාදීම ද සිදුකළ යුතු බව මෙහිදී මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඔහු පැවසුවේ චීනයේ යාචකයින්ට යම් මුදලක් දෙනවා නම් ඒ සඳහා මුදල් නෝට්ටු භාවිතය වෙනුවට ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ මුදල් ලබා දීමට දිරි ගන්වා ඇති බව සහ එය ඉතා වැදගත් පියවරක් බව යි.

“මේක ජනතාව වෙත වඩාත් ප්‍රචලිත කිරීමේ වගකීම විශේෂයෙන් තියෙනවා පාර්ශවකරුවන් රාශියකට. පළමුවෙන් ම ඒ සඳහා ගෙවීම වගේම පියවීම ඩිජිටල්කරණය නියාමනය කිරීමේ ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුවට තියෙනවා විශාල වශයෙන් වගකීමක්. ඒ වගේම ලංකා QR වගේ ඔන්ලයින් පේමන්ට් ගැන පහසුකම් සපයන Lanka Pay වගේ ආයතනවලට වගේ ම සියලු ම මූල්‍ය ආයතන වලටත් වගකීමක් තියෙනවා,” යනුවෙන් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

‘ඔන්ලයින් පේමන්ට්වලට ක්‍රෙඩිට් කාඩ් යොදා ගන්න’

අන්තර්ජාලය ඔස්සේ විවිධ යෙදුම් (Apps) භාගත කිරීමේදී ඒවා සුරක්ෂිත ද යන්න පිළිබඳව හා ඒ හරහා සිදුකරන මූල්‍ය ගෙවීම් කිරීම ආරක්ෂාකාරී ලෙස සිදුකිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි බීබීසී සිංහල සේවය කළ විමසිකමදී සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල විද්‍යාලංකාර කියා සිටියේ අන්තර්ජාල යෙදුම් භාගත කිරීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව ය.

“ප්‍රධාන දේ තමයි ගොඩක් අය විවිධාකාර අවශ්‍යතාවලට ඇප්ස් පාවිච්චි කරනවා. මෙතැනදී මුලින් ම දැනුවත් වෙන්න ඕන දේ තමයි ඇප් එකක් පාවිච්චි කරද්දී ඒක ඩවුන්ලෝඩ් කරන්න ඕන නිල වශයෙන් ඒ ඇප්ස් ඩවුන්ලෝඩ් කරන්න පහසුකම් දීලා තියෙන ඇප් ස්ටෝර් (App Store) එකකින් කියන එක.

“සමහර අය ක්‍රිප්ටෝ වගේ ගණුදෙනුවලට පාවිච්චි කරන ඇප්ස් ඩවුන්ලෝඩ් කරනවා. ඒවා හරහා වගේ ම තෙවන පාර්ශවයේ ඇප් හරහා ගොඩක් වෙලාවට වංචාවන්වලට අහුවෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ඇප් එකකට තමන්ගේ බැංකු කාඩ්වල විස්තර වගේ ම තමන්ගේ වෙනත් පුද්ගලික තොරතුරු ඇතුළත් කිරීම ම ලොකු රිස්ක් එකක්.

“ඇප් එකකින් ගනුදෙනු කරද්දී ඒකට ගෙවීම් ක්‍රමවේදයට හොඳ ම දේ තමයි ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිත කරන එක. මොකද යම් විදිහකින් අපිට නොදැනුවත්ව මුදලක් ගෙවීමක් වෙලා තිබුණොත් ඒ ගැන බැංකුවට කතා කරලා නැවත ඒක හරවා ගන්න පුළුවන්. නමුත් ඩෙබිට් කාඩ් එකකින් එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ,” සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් වන අසේල විද්‍යාලංකාර වැඩිදුරටත් පැවසුවේය.

| BBC සිංහල සේවය

Leave A Comment