‘ඔහු නිර්භීත මිනිසෙක්’ ඩොනල්ඩ් ට්‍රම්ප්ට පුටින්ගෙන් සුබ පැතුම්
- 5opn1
- November 9, 2024
- විශේෂාංග
- ඩොනල්ඩ් ට්‍රම්ප්, පුටින්
- 0 Comments
සාකච්ඡා කිරීමටත් සූදානම් බව කියයි
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සුබ පැතුම් එක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ධෛර්යසම්පන්න මිනිසකු ලෙස හැඳින්වූ පුටින් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සහාය විය හැකි බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණය රැලියකදි කළ ප්‍රකාශය පිළිබඳ අවධානය යොමු කරන බව ද ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
රුසියාවේ සෝචි නුවර පෙරේදා පැවති උත්සවයකදි ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කළ රුසියානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ සිය පළමු ධුර කාලයේදී ට්‍රම්ප් සෑම අංශයකින්ම සාර්ථක වූ බව ද සිහිපත් කර ඇතැයි වාර්තා වේ.
තමා බලයට පත්වුවහොත් යුක්රේන යුද්ධය පැය 24කින් අවසන් කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ රැලියකදී ප්‍රකාශ කර ඇතැයි ද, ඒ ප්‍රකාශය කෙරෙහි පුටින්ගේ අවධානය යොමුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පසුගිය ජූලි මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහය පිළිබඳ සිහිපත් කරමින් පුටින් ප්‍රකාශ කර ඇත්තේ එය ඔහු කෙරෙහි හැඟීමක් ඇතිවීමට දැඩි ලෙස බලපෑ බවය.
එම වෙඩි තැබීමෙන් පසු බුද්ධි අංශ නිලධාරීන් ඔහු ඉවතට රැගෙන යෑමට පෙර සිය අතක් ඔසවා ‘සටන් කරන්න… සටන් කරන්න…‘ යනුවෙන් ඔහු හඬ නඟා සිය පාක්ෂිකයන්ට කියා සිටි බවත්, ඔහු ඒ මොහොතේ ඉතා නිවැරදි ආකාරයෙන් නිර්භීතව හැසිරුණු බවත් තම අදහස බව පුටින් සඳහන් කර තිබේ.
අමෙරිකාවේ නව ජනපති ධුරයට පත්වූ ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ද රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.