කපිල හා උදයංගගේ දූෂණ හෙළි කිරීමෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හොඳ උත්තේජනයක් දුන්නා – කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන දෙදෙනා දූෂිත පුද්ගලයන් බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ගත් තීන්දුවෙන් ශ්‍රී ලංකාවේ දූෂණ වැළැක්වීමේ සහ දූෂිතයන්ට දඬුවම් දීමේ ක්‍රියාවලියට උත්තේජනයක් සහ සහනයක් ලැබෙන බව කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

මිග් යානා ගනුදෙනුව සහ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් එම දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී රජයටත් මෙය පහසුවක් වනු ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමරිකාව විසින් කපිල චන්ද්‍රසේන සහ උදයංග වීරතුංග යන දෙදෙනාගේ නම් දූෂණ චෝදනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කිරීම ගැන රජයේ ස්ථාවරය කුමක්දැයි ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේය.

මේ ගනුදෙනු සිදුකර තිබෙන්නේ අපේ සීමා ඇතුළේ නෙවෙයි, ජාත්‍යන්තර මට්ටමින්. ඒ නිසා මේ පරීක්ෂණ සඳහා ඒ රටවල සහායත් ලබාදේවි. මෙයින් ඔප්පු වන්නේ මේ දූෂිතයන් ලෝක පරිමාණයෙන්ම මේ කටයුතු සිද්ධ කරල තියෙනවා කියන එකයි. අපි රජයක් ලෙස ශක්තිමත්ව ඒ නීති ක්‍රියාත්මක කරනවා. මේ අය නිවැරදි කරගන්න උත්සාහ කරපු අයට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැත්තෙන් හොඳ පණිවුඩයක් ලබාදීල තියෙනවා යැයි ද ඇමැතිවරයා පැවැසීය.

පසුගිය කාලයේ ප්‍රමාද වූ සහ අත්හිටුවන ලද විමර්ශන යළි ආරම්භ කර ඇති බවත්, ඒවට නඩු පැවරීමේ කටයුතු සිදු කරගෙන යන බවත් සඳහන් කළ කැබිනට් ප්‍රකාශකවරයා නීතිය ක්‍රියාත්මක කිරීමේදී මේ දූෂණවලට සම්බන්ධ අයගේ ඝෝෂාවලට යටත් නොවන බව ද කීය.

සිය රජය ප්‍රමාණවත් කාලයක් ලබාගනිමින් නිසි පරිදි විමර්ශනය කරමින් එම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු අවධාරණය කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Leave A Comment