කමිටුවේ නිර්දේශ මත හිටපු ජනපතිවරුන්ගේ රැකවලුන් 60ට බස්සයි

සේවා මුර ක්‍රමයට දිනකට 20 බැගින්
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා උපරිම ආරක්ෂකයන් ගණන 60ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශවලට අනුව මෙම තීරණය ගෙන තිබේ.

මේ සම්බන්ධව පොලිස් මූලස්ථානයේ මානව සම්පත් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සිසිර කුමාර මහතා විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක ප්‍රධානීන් වෙත මේ බව දැනුම් දී ඇත.

එම තීරණයට අනුව හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ලැබෙන උපරිම ආරක්ෂකයන් ගණන 60කි. එම ආරක්ෂකයන් සේවා මුර ක්‍රමයකට අනුව දිනකට 20 දෙනකු බැගින් යොදවන ලෙස උපදෙස් ලබාදී තිබේ.

මෙලෙස ආරක්ෂකයන් ගණන අඩු කිරීම යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සඳහා නිලධාරීන් 67 දෙනකු රඳවා සෙසු පිරිස මාරුකර යවා ඇතැයි පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ මහතාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 116ක් යොදවා තිබුණි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 58ක් ද මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 51ක් ද ලෙස සීමා කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

DVN

Leave A Comment