
“කරූ“ ගැන නොකීයූ කතාවක්
- Sujeewa Senerath
- October 7, 2025
- දේශපාලන, විශේෂාංග
- karu-jayasuriya, nmsj
- 0 Comments
ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාට සිය දෙවනියා ගැන කවදාවත් බයක් තිබුණේ නැත.නමුත් ජේ.ආර් ගේ අනුප්‍රාප්තිකයා දෙවනියන්ට බිය වූ බව ප්‍රසිද්ධ රහසකි.ආර් ප්‍රේමදාස ජනාධිපති වූ පසුව ලලිත් ගාමිණී පැත්තකින් තබා ඩී.බී. විජේතුංග වැනි චරිතයක් දෙවැනියා කර ගත්තේ ඒ නිසාය.ප්‍රේමදාස තමාගෙන් පසු ඉදිරියට එන්නට සිටින අයට බය වූ හැටි හොඳටම දන්නේ ආරියරත්න වෙදගේය.
ඔහු කොළඹ මහ නගර සභාවට ගොස් කලකට පසු දැක්කේ ප්‍රේමදාසගේ කතාවේ අනිත් පැත්තය.ඒ දවස කොළඹ පුරපති වූයේ කරූ ජයසූරිය ය.ආරියරත්න වෙදගේ කියන හැටියට කරු කවදාවත් සිය දෙවැනියාට බිය නොවූ මහත්තයෙකි. තමා ගෙන් පසුව තම පුටුවේ වාඩිවෙන පුද්ගලයා කරු දරුවෙකු සේ හොඳින් රැකබලා ගත්තේය.ඒ දවස කරු තමාගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරාගෙන තිබුණේ ඕමාර් කාමිල්ය. ඕමාර් සමග වෙදගෙ ආරෝවක් ඇති බව දැනගත් කරූට ඕනෑ වුයේ එය සමාදාන කිරීමටය.කරුගේ මෙහෙයවීමෙන් ඕමාර් කාමිලුත් ආරියරත්න වෙදගෙත් හෝටලයක දී එකතු කළේ කොළඹ නාගරික කොමසාරිස්වරයාගේ සහභාගිත්වයෙනි. ඔවුන් දෙන්නා කතාබහ පටන් ගත් පසු නාගරික කොමසාරිස්වරයා නැගිට කාමරයෙන් එළියට ගියේය.
ආරියරත්න වෙදගේ කළ කතාව පටන් ගත්තේ එතැන් සිටය.
“අපි දෙන්නට කතා කරන්න දීලා මාරසිංහ එහාට ගියා. කරූ ජයසුරිය මහත්තයා කතා කරලා මාරසිංහ ගෙන් සැරින් සැරේ අහනවා මොකද තත්ත්වය දැන් කියලා.
ඕමාර් කාමිල් ආව ගමන් එයාට මං පැහැදිලි කරලා දුන්නා එයා කරපු වැරදි වැඩේ. “ඔයා මගේ කම්මුලට ගැහුව වගේ වැඩක් කළේ. මගේ නාගරික ආසනයට මගේ දොරකඩට ඇවිල්ලා වැරදි, නීති විරෝධී වැඩක් කළා. මම නගර සභාවේ අයුතු වැඩ කරන මන්ත්‍රීවරයෙක් නෙමෙයි. ඔයා මට මේ වගේ වැඩක් කළාම මට දුකයි ලැජ්ජයි. මොකද විශේෂයෙන්ම මගේ දොරකඩට ඇවිල්ලා ඔයා මේ වැඩේ කළේ.ඔයාගේ ආත්ම ගරුත්වය රැක ගන්නනේ ඔයා මේ දැන් මෙතනට ඇවිල්ලා ඉන්නේ. එතකොට මගේ ආත්ම ගරුත්වය මොකක්ද?.”
සේරම අහගෙන ඉඳලා ඕමාර් කාමිල් කිව්වා “මචං ඕවා අත්ඇරලා දාන්න” කියලා එයා අවංකවම කණගාටු වුණා වෙච්ච වැඩේ ගැන . අපේ නාගරික මන්ත්‍රීවරු දෙන්නෙත් තමයි එයාට ලණුව දීලා අරන් ආවේ ඔය වැඩේට .
ඊට පස්සේ කරු ජයසූරිය මහත්තයා කතා කරලා ඇහුවා “මන්ත්‍රීතුමා දැන් හරි නේද වැඩේ” කියලා.මං කිව්වා “වැඩේ හරි හැබැයි. ඔබතුමා මෙතුමට කියන්න මීට පස්සේ මේ විදිහට දේශපාලන සදාචාරයට නොගැලපෙන දේවල් කරන්න එපා කියලා”.
කරු ජයසූරිය මහත්තයා එහෙම තමයි නගර සභාවේ වැඩ කළේ. එතුමට තමන්ගේ අනුප්‍රාප්තිකයා ගැන බයක් තිබණේ නැහැ.අනුප්‍රාප්තිකයා ගොඩනඟන එක තමයි එතුමා කළේ. එතුමා හැමවිටම විපක්ෂ විපක්ෂ කියලා නැහැ හැමෝම එක්ක බොහොම ගෞරවයෙන් වැඩ කළා. කරූ ජයසූරිය කියන්නේ කොළඹ නගර සභාවට ආව ඉතාම වැදගත් ගෞරවනීය නගරාධිපතිවරයෙක්. එයාට ලොකු ආසාවක් තිබුණා නගරයට වැඩක් කරන්න.නමුත් මහා දැවැන්ත ව්‍යාපාරිකයෙක් වෙච්ච එතුමට දේශපාලන ප්‍රායෝගිකත්වය ගැන මහ පොලවේ අත්දැකීම් තිබුණේ බොහොම ටිකයි. විශේෂයෙන් එතුමට දේශපාලනයේ දුරදකින හැකියාව තිබුණේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. මං එහෙම කියන්නේ මොකද ඒකනේ එයා ගිහිල්ලා බැසිල්ගේ කුණු කූඩයට අහු වුණේ. එදා යුද්දෙට සහයෝගය දෙන්න තිබුණා ඇමතිකම් ගන්නෙ නැතුව එළියෙ ඉඳගෙන.අන්තිමටම මොකද වුණේ රාජ්‍ය සේවය කිලුටු කරන්නෙ නැතුව
ඉතාම ප්‍රතිපත්ති ගරුක වැඩ කරන්න ගිය කරු ජයසූරිය ඇමතිතුමාට බැසිල්ට ඕනැ විදිහට ග්‍රාම සේවකලව දාන්න එකඟ වුණේ නැති නිසා ආණ්ඩුවෙන් එළියට එන්න වුණා. ඇත්තටම එතුමා තමන්ගේ ප්‍රතිපත්තිය සාක්කුවේ දාගෙන ඇමතිකම කුණු කූඩෙට දාලා තමයි එදා එළියට ආවේ.එතුමගෙ ප්‍රතිපත්තිය තමයි අදාළ රැකියාවට අවශ්‍ය කරන සුදුසුකම් තිබුණොත් තමයි කෙනෙක්ට උදව් කරන්නේ. නැතුව තනතුරට අදාල සුදුසුකම් නැති අයව රස්සාවල්වලට ගන්න එතුමා කවදාවත් තමන්ගේ බලය පාවිච්චි කළේ නැහැ.නමුත් කරු ජයසූරිය මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ හිටියා නම් අද ජාතික නායකයා එයා තමයි.ලංකාවේ අදටත් තියෙන ජාතික නායකත්වය හිඩස පුරවන්න පුළුවන් චරිතය තමයි කරු ජයසූරිය. එතුමගේ අවංකකම තිබුණට දේශපාලනයට අවශ්‍ය කරන මහ පොළොවේ දේශපාලනය එතුමට අහුවෙලා නැහැ.හරියට විජයට වගේ.
එතුමා කවදාවත් නගර සභාවේ සත පහක්වත් හොරකම් කළේ නැහැ. වංචා කළේ නැහැ.බොරු කියන්නෙ නැහැ. හැම තිස්සෙම බැලුවේ නගරෙ මිනිස්සුන්ට මොකක් හරි යහපත් දෙයක් කරන්න. කාගෙවත් හිත රිදෙන්න කතා කරන්නේ නැහැ. ඒ නිසා එතුමා සමහර වෙලාවට ඔය නිලධාරි ගේන ෆයිල් ගැන වැඩිය හොයන්නේ නැතුව අත්සන් කළා. පස්සේ කාලෙක එතුමා ඒවත් තේරුම් ගත්තා. එතුමාට කවුරු හරි පෞද්ගලිකව පහර ගහනකොට එතුමාට හරි දුක හිතෙනවා. කන් දෙක රතු වෙනවා. එක සැරයක් සුනිල් ආනන්ද විතානගේ එතුමට හොරා නොකියා හොරා කිව්වා. එතුමා හරි කණගාටු වුණා ඒ ගැන. එතුමා කිව්වා කවුරුවත් මට කවදාවත් මේ විදිහට චෝදනා කරලා නැහැ කියලා.
කරූ ජයසූරිය වගේම ගනේශලිංගම් නගරාධිපතිතුමත් ඉතාම හොඳ අවංක රත්තරන් මනුස්සයෙක්. කොළඹ නගර සභාවට පත්වෙච්ච හොඳම නගරාධිපතිවරයෙක්. ඒගොල්ලෝ නගර සභාවේ දේවල් හොරකම් කළේ නැහැ. ඒවයෙන් යැපුනේ නැහැ.මේ අය මේ තනතුරු දැරුවේ තමන්ට ආලෝකයක් ගන්න හරි හම්බ කරගන්න නෙමෙයි කියන එක මම බය නැතුව කියනවා. කොහොම හරි අවසානයේ ඕමාර් කාමිල් නගරාධිපතිතුමාත් මගෙත් එක්ක ඉතාම සමීපව කටයුතු කළා.එතුමත් නගර සභාවට පත් වෙච්ච ඉතාම අවංක වැඩට කැපවුණු නගරාධිපතිවරයෙක්.
මම කර්මාන්තශාලා කමිටුවේ සභාපති ඉන්න කාලේ වැල්ලවත්තේ පාර අයිනෙ ව්‍යාපාරිකයෙක් බලහත්කාරයෙන් අනිත් ව්‍යාපාරිකයාගේ මෙම කොටස අල්ලා ගෙන ලොකු අසාධාරණයක් කළා. මේ පැමිණිල්ල අපේ කමිටුවට ගෙනාවේ හේමන්ත මන්ත්‍රීතුමා (වර්තමාන නියෝජ්‍ය නගරාධිපති).අපි ස්ථානිය පරීක්ෂාවක් කරලා බලන කොට හේමන්ත මන්ත්‍රීතුමාගේ පැමිණිල්ල සාධාරණයි.ඒක ඉවත් කරන්න කිව්වත් ඒ ව්‍යාපාරිකයා බලහත්කාරයෙන් ඉන්නකොට අපි නගර සභාවේ දිසානායක කියලා හිටිය අපේ ඉංජිනේරුවා ලවා ඒ බලහත්කාර වෙළද කොටස අයින් කළා. එතකොට ඔහු මානව හිමිකම් ගියා. නමුත් අපි මානව හිමිකම් කොමිසමට කිව්වා “දිසානායක ඉංජිනේරුතුමා සිදු කළේ නගර සභාවේ ස්ථාවර කමිටුවේ නියෝගය ක්‍රියාත්මක කිරීම පමණයි” කියලා. මේක මට මතක් වුණේ මෑතක දී දිසානායක ඉංජිනේරුතුමා මට පාරෙ දි හමුවෙලා ඒ සිද්ධිය මතක් කළා නිසයි.මොකද දේශපාලඥයෝ වෙන අපේ නියෝග ක්‍රියාත්මක කරන නිලධාරීන්ට නීතිමය පැත්තෙන් යම් තර්ජනයක් ආවොත් එම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින එක අපේ පරම යුතුකමක් හැටියට තමයි මම හැමදාම සැලකුවේ.
තව සැරයක් සිද්ධියක් වුණා.නගර සභාවට කොළපාට පාට කුණුලොරි තොගයක් ප්‍රංශෙන් ද කොහෙද ගෙන්න යෝජනාවක් ආවා. මේක සිද්ධ වුණේ ගනේෂ්ලිංගම් නගරාධිපති කාලේ.මේ බිස්නස් එක කළේ ගල්කිස්සේ හිටිය ලලිත් ඇතුලත්මුදලිගේ ගෝලයෙක්. මේ යෝජනාව මුදල් කමිටුවට ආවහම මම කිව්වා මේක ඇවිල්ලා තියෙන විදිය හරි නැහැ, නැවත මේක යවලා
(Refer back) හරි විදිහට තොරතුරු හොයලා බලලා මේ ගනුදෙනුව කරන්න කියලා මම කෑගහලා සද්දේ දැම්මා. මොකද මම හොයාගත්තා මේකට මුදල් අමාත්‍යංශයේ ලොකු බදු සහනයක් දෙනවා. හැබැයි මේක මෙතන වහලා ගහලා තිබුණේ කියලා මට තේරුනා මෙතන මොකක් හරි වැරැද්දක් තියෙන බව. මුදල් කමිටුවේ මේ සිද්ධිය වෙලා විනාඩි දහයක් ගියේ නැහැ, ගනුදෙනුවේ ව්‍යාපාරික පාර්ශවය ගල්කිස්ස සේනානායක කියන කෙනාට මේ පණිවිඩය ගියා, ආරියරත්න වෙදගේ මන්ත්‍රීවරයා මේකට ලෙඩක් ඇද්දා. කියලා.
සිටීබී එකේ හිටියා ගුණසේකර කියල එක් කෙනෙක් .කචල් ගුණසේකර කිව්වොත් තමයි දන්නේ. ඒගොල්ලෝ සිරිනාත මැල්, ගාමිණී ලොකුගේලගේ බයිසිකල් චේන් බලකායේ අය.මම සාමාන්‍යයෙන් මිනිහා එක්ක වැඩිය ආශ්‍රය කරන්නේ නැහැ. මම ඉන්න බෝලමේසවත්ත ෆ්ලැට් එකේ ඉන්නවා මිනිහගේ අක්කා. මිනිහා මගෙන් ඇවිල්ලා ඇහැව්වා “ආරි අර ලොරි වගයක් ගන්න එකේ යෝජනාවක් තියෙනවා නේද ඒකට මොකද වුණේ” කියලා. මම කිව්වා “මම දන්නේ නැහැ” කියලා. මොකද මිනිහා ඕක අහන්නේ මගෙන් මේක පාස් වුණා කියලා දැනගත්ත ගමන් මිනිහ ගිහිල්ලා සේනානායකට කියනවා වැඩේ හරි. මම තමයි කතා කරලා වැඩේ ශේප් කළේ කියලා සේනානායක ගෙන් ගානක් කපා ගන්නවා. සාමාන්‍යයෙන් ඒක තමයි යූඑන්පී සයිට් සපෝටස්ලාගේ “ඇස් කුලී” ස්ටයිල් එක.
ඔය අතර අපේ නාගරික කර්මාන්තශාලාවේ ඉංජිනේරුවෙක් මට කතා කරලා අහනවා “මන්ත්‍රීතුමා ඔබතුමාව හම්බවෙන්න ඕනේ කියනවා සේනානායක මහත්තයාගේ පුතෙක්. කොහොමද කරන්නේ කියලා?”එයත් ගුණසේකර. මම කිව්වා “ගුණසේකර ඉංජිනේරු මහත්තයා මේක මුදල් කමිටුවේ තියෙන ප්‍රශ්නයක්. ඒ වෙලාවේ මම ගිහිල්ලා ඔය ව්‍යාපාරිකයෝ හම්බවෙන එක වැරදි වැඩක්.මම මේ සිද්ධිය ගනේෂලිංගම් මහත්තයට කිව්වා. එතකොට ගනේෂලිංගම් මහත්තයා කියනවා “පේනව නේද ආරි. මුං මේ ෆිනෑන්ස් කොමිටි එකේ ඉන්න හැම එකාවම අල්ලා ගෙන.ෆිනෑන්ස් කොමිටිය මේක කතා කරලා විනාඩි දහක් යනකොට නැත්නම් කොහොමද උන් දැන ගත්තේ අයිටම් එක රිජෙක්ට් කියලා”කිව්වා.
පහුවෙනිදා මම ගියා ඒ කාලේ Solid Waste එකේ හිටිය ඉංජිනේරුවා ලලිත් වික්‍රමරත්න හමුවෙන්න. ගිහිල්ලා එයාට කිව්වා, “මේක කෝටි ගානක බිස්නස් එකක්. ඔයාගේ අංශයෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඔයා මට ඇත්ත කියන්න.මේ ලොරි ගෙනල්ලා මොකක් හරි වුණොත් ඒකෙ වගකීම ගන්නේ කවුද?” කියලා. එතකොට ලලිත් වික්‍රමරත්න කිව්වා “මේවා ප්‍රංශයෙත් පාවිච්චි කරනවා මේකේ කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ” කියලා. මම කිව්වා “ඔයා එහෙම මට සහතිකයක් දෙනවා නම් මට ප්‍රශ්නයක් නැහැ.මොකද අපි වියදම් කරන්නේ මේ කොළඹ නගරයේ මිනිස්සු ගෙවපු බදු සල්ලි. අපි ඒවට වග කියන්න ඕනේ අත උස්සන කොට” කියලා. මොකද මේ වගේ කුණු අදින වාහන මීට කලින් ලංකාවේ පාවිච්චි කරලා නැහැ. ඊට පස්සේ ඊළඟ ෆිනෑන්ස් කොමිටියට මම ගිහිල්ලා කිව්වා “මම මේ ගැන හෙව්වා මේකෙ ප්‍රශ්නයක් නැති බව මට තේරෙනවා. ඒ නිසා මම මගේ විරෝධය ඉවත් කරගන්නවා” කියලා. ඒ ගත්ත ලොරි තවම දුවනවා.
ඇත්තටම මම මේ වගේ හැමදේමත් නූලට තිතට හොයන්න පුරුදු වුණේ ප්‍රේමදාස මහත්තයත් එක්ක වැඩ කරනකොට ලැබිච්ච අත්දැකීම් නිසයි. මොන වාසි ප්‍රයෝජන තිබුණත් වැරදි දේකට අත උස්සන්න මම පුරුදු වුණේ නැහැ. පස්සේ ප්‍රේමදාස මොන තත්වෙට වැටුණත් මුල් කාලෙ එයාට ඒ කොලිටි එක තිබුණා.මම එයා ගෙන් එළියට එනකොට ඒ කොලිටි එක අරගෙන ආවා. අදටත් මගේ ජීවිතයේ මම ඒ කොලිටි එක නඩත්තු කරනවා. ඒ නිසා තමයි අදත් මම නගර සභාවට ගියහම ඕනැ නිලධාරියෙක් මට උදව් කරන්නේ. ලීලා ස්ටෝර්ස් මුදලාලි කිව්ව “ආත්ම ශක්තියයි ආත්ම ගෞරවයයි තියෙනවා නම් බයවෙන්න එපා” කියපු දේ තමයි මම පිළිගන්නේ අදත්.
සිරිසේන කුරේත් ඇත්තටම මට නගර සභාවේ දි කිසිම හිරිහැරයක් සිත් රිදවීමක් කළේ නැහැ.රත්නසිරි රාජපක්ෂව නගරාධිපතිකමෙන් ඉවත් කරන්න මම විශ්වාස භංගය ගෙනාවේ නගරාධිපති නිල නිවසට කියලා එයා ඉඳිආප්ප තට්ටු , වංගෙඩි, මෝල් ගස්, මිරිස් ගල් එයාගේ ගෙදරට ගෙනිච්ච අසික්කිත වැඩේට විරුද්ධවයි.ඒ වෙලාවේ අපේ සුමතිපාල ජයවර්ධන කිව්වා “මේ වැඩේ කරන්න එපා, මේ සිංහල බෞද්ධ මිනිහෙක්” කියලා. මම එයාට කිව්වා “සිංහල බෞද්ධ වුණත් බලු වැඩ කරනවා නම් මෙතන තියන්න මේ තනතුරට සුදුසු නැහැ” කියලා.
සාමාන්‍යයෙන් කොළඹ නගරාධිපතිවරු පත්වෙන්නේ යූඑන්පී එකෙන් නිසා විපක්ෂයේ අයට මොනවා හරි වාසියක් දීලා ඒ අයගේ කට නිහඬ කරන එක තමයි ඒගොල්ලෝ කරන්නේ.නමුත් මම නගර සභාවේ ඉන්න තුරා ඒ වගේ නගරාධිපතිවරුන්ගේ ටොපි කන්න ගියේ නැහැ.ඒ අයට ඕනැ විදියට මගේ කට වහ ගත්තේ නැහැ.ඒ නිසා තමයි මම අදත් කොන්ද කෙලින් තියාගෙන පාරේ ඇවිදින්නේ.
මට නගර සභාවෙන් ලැබුණ ලොකුම දේ තමයි විදේශ රටවල් කිහිපයකටම මට යන්න අවස්ථාව ලැබීම. ඒවා මට පුද්ගලිකව දීපු සංචාර නෙමේ අනිත් අයටත් එක්ක මටත් අවස්ථාවක් දුන්නා.හැබැයි මම ගියාම එහේ තියෙන මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගෙන තමයි එන්නේ.මම බලන්නේ කොහොමද ඒ රටවල්වල නගරයේ කාණු, drainage line system,කුණු අරන් දාන සිස්ටම් වගේ දේවල් තමයි.කරු ජයසූරිය මාව සිංගප්පූරුව සහ චීනය ට යැව්වා. ගනේශලිංගම් ප්‍රංස සහ ජර්මන් සංචාරයක් දුන්නා. ඕමාර් කාමිල් මට ඒ වගේ අවස්ථා දුන්නා.ඒ වගේම බණ්ඩාරනායක මැතිනිය මාව රුසියාවේ යැව්වා.ඒ චාරිකාවේ දී අපිත් එක්ක අනුර බැස්ටියන්,රනිල් වික්‍රමසිංහ මහත්තයා යූඑන්පී එකෙන් ආවා.අපෙන් මහින්ද අබේකෝන් ගියා.මහින්ද විජේසේකර තමයි අපේ කණ්ඩායමේ නායකයා. එයා එතකොට දෙවිනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක.
මහින්ද විජේසේකරත් මට හමුවෙච්ච ඉතාම යහපත් හොඳ මනුස්සයෙක්.මුල්කිරිගල අතුරු මැතිවරණයේ දී කොළඹින් ගිය
මල්ලිමාරච්චිගේ කට්ටියට දෙවිනුවර දේවාලෙ ලඟදී මහින්ද විජේසේකර ගහලා එලෙව්වෙ ආයිත් දකුණ දිහා නොබලන්න.එයා බණ්ඩාරනායක මැතිණි වෙනුවෙන් සෑහෙන්න කැපවෙලා වැඩ කරපු කෙනෙක්.එයා මැතිණිට හරි ආදරෙයි. හරියට ගරු කළා.පක්ෂය වෙනුවෙන් සෑහෙන්න මහන්සිවෙලා වැඩ කරපු මිනිහෙක්. අනික මාතර බලය තිබුණේ මහින්ද විජේසේකරටයි මංගලටයි තමයි. ප්‍රධාන කුල දෙකේ ඡන්ද.
අපි රුසියාවේ ඉන්න කොට එක කොල්ලෙක් ඇවිල්ලා මම ඇඳගෙන හිටිය ඩෙනිම් කලිසම ඉල්ල ඉල්ලා මගේ පස්සෙන්ම ආවා දවස් ගානක්. ආවාම බැරිම තැන මං එයාට ඒක වික්කා.තව කොල්ලෙක් මගේ ඔරලෝසුවත් සල්ලිවලට ගත්තා.ඒ සල්ලිවලින් තමයි අපේ ගෙදරට සහ යාලුවන්ට මම බඩු මුට්ටු ටිකක් ගත්තේ .
පස්සෙ දවසක මම මහින්ද විජේසේකරට මේක කියලා එයාගේත් ඒ වගේ බඩු ටිකක් ඉල්ලගෙන විකුණලා ඒ සල්ලි ටික එයාට දුන්නා. මොකද මේවා අපිට ඕනේ තරම් ලංකාවේ තියෙනවා.නමුත් රුසියාවේ ඩෙනිම්, රට ඔරලෝසු නැති නිසා ඒවා වටින්නේ රුසියාවේ මිනිස්සුන්ට තමයි. ඉතින් ඒ අයට ඒවා දීලා එන එක ලොකු උදව්වක්නේ.
