කෝටි 18 ක කුෂ් සහ හෂීස් අරන් සේද මාවතෙන් පිටවීමට ගිය තායි කත අත්අඩංගුවට

රුපියල් දහඅට කෝටි හැටලක්ෂයක් වටිනා කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ රැගෙන යාමට තැත් කළ 37 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාවක පෙරේදා (14දා) මධ්‍යම රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය පෙරේදා මධ්‍යම රාත්‍රී 11.55 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 22 ක් සඟවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ. පසුව සැකකාරිය සහ ඇය රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.

ඔවුන් මෙම කාන්තාව ඊයේ (15 දා) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ලබන 22 දක්වා රඳවා තබාගෙන විමර්ශන සිදු කිරීමට අවසර ලබාගෙන තිබේ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

Leave A Comment