ගණේමුල්ලේ සංජීවගේ ඝාතකයා පැය 8න් අල්ලයි

කොන්ත්‍රාත්තුව ලක්ෂ 150යි: ලැබුණේ ලක්ෂ 2යි

රට පනින්න යද්දී පුත්තලම පාලවියේදී කොටුවෙයි

ඝාතකයා හිටපු සෙබළෙක්

අලු­ත්කඩේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ අංක 05 අධි­ක­රණ ශාලාව තුළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා නඩු විභාග කට­යු­තු­වල නිර­තව සිටි­යදී විත්ති කූඩුවේ සිටි මත්කුඩු ජාවා­රමේ නිරත පාතා­ලයේ ප්‍රබල අප­රා­ධ­ක­රු­වකු වන සංජීව කුමාර සම­ර­රත්න නොහොත් මාකි­ලං­ග­මුවේ සංජී­වට (ගණේ­මුල්ලේ සංජීව) වෙඩි තබා ඝාත­නය කර පලා යමින් සිටි නීතිඥ වෙස් ගත් වෙඩි­ක්කරු වෙඩි ප්‍රහා­රය සිදුව පැය 08ක් වැනි කාල­යක් තුළ අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලිස් විශේෂ කාර්ය බළ­කාය සමත්ව ඇත.

කල්පි­ටි­යෙන් බෝට්ටු­වක වෙඩි­ක්කරු නැඟී රටින් පලා යෑමේ සූදා­න­මින් ගමන් කර­මින් සිටින බවට පොලී­සි­යට ලද තොර­තුරු මත සිදු කළ විශේෂ සෝදි­සි­ය­කදී ඔහු පොලිස් විශේෂ කාර්ය බළ­කා­යට හසු වී තිබේ.

මොහො­මඩ් අස්මාන් සෙරි­ෆ්ඩීන් නමැති 34 හැවි­රිදි වියේ පසු­වන මෙම වෙඩි­ක්කරු වෑන් රථ­යක නැඟී ගමන් කර­මින් සිටි­යදී පොලිස් විශේෂ කාර්ය බළ­කා­යට හසු වී ඇත්තේ පුත්ත­ලම පාල­විය ප්‍රදේ­ශ­යේ­දීය. මෙම සැක­කරු කුලී ඝාත­ක­යකු බව­ටත් යුද හමු­දාවේ සෙබ­ළකු බව­ටත් තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ. බුද්ධි අංශ­ව­ලට සම්බ­න්ධ­වත් ඔහු කට­යුතු කර ඇති බවට තොර­තුරු ද විම­ර්ශන නිල­ධා­රීන්ට ලැබී ඇත. ඒ සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් විම­ර්ශන පැවැ­ත්වෙන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

අධි­ක­ර­ණය තුළ සිදුවූ මෙම ඝාත­නය ඔහු විසින් කර ඇත්තේ රුපි­යල් ලක්ෂ 150ක කොන්ත්‍රා­ත්තු­ව­කට බව හෙළි වී ඇත. එම කොන්ත්‍රාත් මුද­ලින් ඔහුට ලැබී ඇත්තේ රුපි­යල් ලක්ෂ 02ක පමණ මුද­ලක් බව ද අනා­ව­ර­ණය වේ.

මෙම ඝාතන කොන්ත්‍රා­ත්තුව ඔහුට ලැබී ඇත්තේ ඩුබා­යිහි රැඳී සිටින ප්‍රබල පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වකු වන කෙහෙ­ල්බ­ද්දර පද්මේ නමැ­ත්තාගේ සමී­ප­ත­ම­යකු මඟින් බවට ද තොර­තුරු විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී ඇති බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. දැඩිව අයිස් මත්ද්‍රව්‍ය භාවි­ත­යට ඇබ්බැහි වී සිටි­න්නකු වන සැක­කරු ඒ සඳහා මුදල් සොයා ගැනී­මට කොන්ත්‍රාත් මිනිස් ඝාත­න­ව­ලද නිරත වී ඇති බව ද සඳ­හන්ය.

මෙම කාන්තාව නීති­ඥ­ව­රි­යක ලෙස හැඟී යන ආකා­ර­යට අධි­ක­රණ භූමි­යට පැමිණ ඇත්තේ වෙඩි තැබූ රිවෝ­ල්ව­රය දණ්ඩ නීති සංග්‍ර­මයේ පිට­ප­තක සඟ­වා­ගෙ­නය. එම පොතේ පිටු ගිනි අවිය සැඟ­වී­මට හැකි ආකා­ර­යට කපා එය ඒ තුළ සඟ­වා­ගෙන අධි­ක­රණ පරි­ශ්‍ර­යට පැමිණ ඇති බව ද අනා­ව­ර­ණය වී තිබේ. ඇය එම පොතට අම­ත­රව ලිපි­ගොනු රැසක් ද අතේ රඳ­වා­ගෙන පැමිණ ඇති ආකා­රය ආර­ක්ෂක කැම­රා­ව­ලද සට­හන්ව තිබී ඇත. ගිනි අවිය රැඳවූ එම පොත නීති­ඥ­ව­රුන් රැඳී සිටින කාම­රයේ තිබී නීති­ඥ­ව­රුන් පිරි­ස­කට හමුවී තිබිණි. එම පොත පොලී­සි­යට එම නීති­ඥ­ව­රුන් විසින් භාර­දී­මට කට­යුතු කර තිබිණි. ආර­ක්ෂක කැමරා නිරී­ක්ෂ­ණ­යේදී පෙනී ගොස් ඇත්තේ ගිනි අවිය වෙඩි­ක්කරු අතට පත්ව තිබෙන්නේ අධි­ක­රණ පරි­ශ්‍රයේ වැසි­කි­ළිය අස­ලදී බව ද පෙනී­ගොස් ඇත.

මත්කුඩු ජාවා­රමේ නිරත ගම්පහ පාතා­ලයේ ප්‍රබ­ල­යකු වන කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඇතුළු පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන් පිරි­සක් එක්ව කළ සැල­සු­ම­කට අනුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් ඊට කමාන්ඩෝ සලින්ද, බටු­වත්තේ චාමර, ජා-ඇල ජූඩ්, කෙසෙ­ල්වත්තේ දිනුක සිටින බවට සැක­ක­රන තොර­තුරු ද බුද්ධි අංශ වෙත ලැබී තිබේ. ඒ සම්බ­න්ධ­න්ධ­යෙන් විම­ර්ශන මේ වන විටත් සිදු­වෙ­මින් ඇති බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­ගෙන් කරනු ලබන ප්‍රශ්න කිරී­ම්ව­ලදී ද ඒ සම්බ­න්ධ­යෙන් වැද­ගත් තොර­තුරු රැසක් අනා­ව­ර­ණය වන බව පොලිස් ආරංචි මාර්ග අනා­ව­ර­ණය කළේය.

අධි­ක­රණ ශාලාව තුළ නීති­ඥ­ව­රුන් අසුන් ගන්නා ස්ථානයේ අසු­න්ගෙන සිටි වෙඩි­ක්කරු සංජී­වගේ නඩුව විභා­ග­යට ගනි­මින් තිබි­යදී ඔහු රැඳී සිටි ස්ථාන­යෙන් නැඟිට විත්ති කූඩුව අස­ලට ප්‍රශ්න ඇසී­මට නීති­ඥ­වරු යන ආකා­ර­යට ගොස් එක­ව­රම වෙඩි තබා ඇති බව විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත. වෙඩි පහක් සංජීව වෙත එල්ල­කර ඇති බවත් වෙඩි වැදී ඇත්තේ පපු ප්‍රදේ­ශ­යට බවත් සඳ­හන්ය.

අධි­ක­රණ පරි­ශ්‍ර­යට මුලින්ම පැමිණ ඇත්තේ නීතිඥ වෙස් ගත් කාන්තාව බව ආර­ක්ෂක කැමරා නිරී­ක්ෂ­ණ­යේදී පෙනී ගොස් ඇත.

නීතිඥ වෙස් ගත් වෙඩි­ක්කරු අධි­ක­රණ පරි­ශ්‍ර­යට පැමිණ ඇත්තේ ලිපි­ක­ව­ර­යක් පම­ණක් අතින් ගෙන බව ද විම­ර්ශ­න­යේදී පෙනී ගොස් තිබේ. නීතිඥ වෙස් ගත් කාන්තාව අධි­ක­රණ පරි­ශ්‍රය තුළට නිරු­ප­ද්‍රි­තව ඇතුළු වීමෙන් පසු වෙඩි­ක්කරු ඇතුළු වී ඇති බව ද විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ.

ගිනි අවිය වෙඩි­ක්ක­රුට දීමෙන් අන­තු­රුව වෙඩි ප්‍රහා­රය එල්ල කිරී­මට පෙර නීතිඥ වෙස් ගත් කාන්තාව අධි­ක­රණ පරි­ශ්‍ර­යෙන් පිට­ව­ගොස් ඇති බවට සැක­ක­රන තොර­තුරු ද ලැබී ඇත. වෙඩි තැබී­මෙන් අන­තු­රුව වෙඩි තැබී­මට යොදා­ගත් 0.38 වර්ගයේ රිවෝ­ල්ව­රය විත්ති කූඩුව අස­ලට වීසි කර දමා විත්ති කූඩුව ආස­න්නයේ ඇති දොර­කින් වෙඩි­ක්කරු පලා ගොස් තිබේ. ඔහු පලා ගොස් ඇත්තේ ද අධි­ක­ර­ණයේ පඩි­පෙළේ සිටි පිරිස් ද පෙර­ළා­ගෙන “අන්න ගණේ­මුල්ල සංජීව පැන්නා. වෙඩි තිය­නවා. වෙඩි තිය­නවා.” යනු­වෙන් පව­ස­මිනි. එහිදී අධි­ක­රණ පරි­ශ්‍රයේ රැඳී සිටි පිරිස්ද කල­බල කරවා එම පිරිස් අත­රින් රිංගා පලා­ගොස් ඇති බව විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් තිබේ. සැක­ක­රු­ගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී ඔහු පවසා ඇත්තේ තමා අධි­ක­ර­ණයේ ප්‍රධාන දොර­ටු­වෙන් පිටව ගිය බවය. ඒ සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් විම­ර්ශන පැවැ­ත්වෙන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

මෙම ඝාතන සැල­සුම දීර්ඝ ලෙස අධ්‍ය­ය­න­යක නිර­තව සිදු කර ඇති බවත් වෙඩි­ක්කරු අවස්ථා කිහි­ප­ය­ක­දීම අධි­ක­රණ පරි­ශ්‍ර­යට පැමිණ කරුණු අධ්‍ය­ය­නය කර ඇතැයි පෙනී යන බවත් එම නිල­ධා­රියා කීය.

මෙම ඝාතන විම­ර්ශන සඳහා කණ්ඩා­යම් 05ක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී නීති­වේදී බුද්ධික මන­තුංග මහතා සඳ­හන් කළේය. කොළඹ අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ඉන්දික ලොකු­හෙට්ටි මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් ප්‍රධාන විම­ර්ශ­නය සිදු­වන බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. ඉදි­රි­යේදී විම­ර්ශන කට­යුතු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට භාර­දී­මට වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­ර­යාගේ අව­ධා­නය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා පැව­සීය.

සැක­කාර කාන්තා­වට ද රටින් පලා යෑමට නොහැකි වන ලෙස අවශ්‍ය ආර­ක්ෂක පිය­වර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නීති­වේදී බුද්ධික මන­තුංග මහතා සඳ­හන් කළේය.

පාතාල කල්ලි අතර ඇති ගැටුම් හේතු­වෙන් ජීවිත තර්ජ­න­ය­කට ලක්ව සිටි සංජීව බන්ධ­නා­ග­රයේ සිට අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට රැගෙන එන්නේ පොලිස් විශේෂ කාර්ය බළ­කායේ ආර­ක්ෂා­වක් සහි­ත­වය. බොහෝ අව­ස්ථා­ව­ලදී නඩු විභා­ග­යක් පැවැ­ත්වෙන විට ඔහු බන්ධ­නා­ගා­රයේ සිට ස්කයිප් තාක්ෂ­ණය ඔස්සේ ඉදි­රි­පත් කර තිබිණි. අත්‍ය­වශ්‍ය විශේෂ කාර­ණා­ව­කදී හැරු­ණු­කොට ඔහුව බූස්සේ සිට අධි­ක­ර­ණය වෙත රැගෙන ඒමට කට­යුතු කළත් ඊයේ දින­යේදී ද ස්කයිප් ඔස්සේ නඩු විභා­ගය අධි­ක­රණ ශාලා 05 පැවැ­ත්වී­මට නිය­මි­තව තිබී ඇත. එහෙත් අංක 09 අධි­ක­රණ ශාලාවේ විභාග වන නඩු­වක් සඳහා ඔහුව ඊයේ අධි­ක­ර­ණ­යට ගෙන ඒමට සිදුව තිබී ඇත. ඒ අනුව ඊයේ සන්නද්ධ ආර­ක්ෂ­ක­යන් 12 දෙන­කුගේ ආර­ක්ෂා­වක් සහි­තව අලු­ත්කඩේ අධි­ක­ර­ණය වෙත රැගෙන ඒමට බන්ධ­නා­ගාර බල­ධා­රීන් කට­යුතු කර තිබිණි. එහෙත් ඊයේ දින 09 අධි­ක­ර­ණයේ මහේ­ස්ත්‍රා­ත්ව­රයා නොසිටි බැවින් 05 අධි­ක­ර­ණයේ නඩු­වට ද ඔහුව යොමු කර තිබේ. ඔහුට ඊයේ දිනයේ අංක 05 අධි­ක­ර­ණය තුළ නඩු 03ක් විභාග වීමට තිබී ඇත.

ඊයේ පෙර­වරු 9.45ට පමණ අති­රේක මහේ­ස්ත්‍රාත් පවිත්‍රා සංජී­වනී පති­රණ මහ­ත්මිය අධි­ක­රණ කට­යුතු ආරම්භ කිරී­මෙන් අන­තු­රුව සැක­කාර ගණේ­මුල්ලේ සංජීව නමැ­ත්තාගේ නඩු පළ­මුව කැඳ­වී­මට කට­යුතු කළාය.

ඔහුට එරෙ­හිව අධි­ක­ර­ණය හමුවේ නඩු තුනක් විභා­ග­යට ගැනී­මට නිය­මි­තව තිබූ අතර සැක­කාර සංජීව නමැ­ත්තාගේ නඩු පළ­මුව විභා­ග­යට ගනු ලැබූ අතර සැක­කාර ගණේ­මුල්ලේ සංජීව නමැත්තා විත්ති කූඩුවේ සිට නඩු සඳහා පෙනී සිටි බව පොලී­සිය අධි­ක­ර­ණ­යට දැන්වීය. සංජී­වට එරෙ­හිව පැවැති නඩු තුනෙන් පළමු නඩුව කැඳ­වී­මෙන් අන­තු­රුව දෙවැනි නඩුව කැඳ­වී­මට සූදා­නම් වූ අව­ස්ථාවේ නීතිඥ වෙස් ගත් වෙඩි­ක්කරු සිය ඉණෙහි සඟ­වා­ගෙන සිටි ගිනි අවිය එක­වර පිට­තට ගෙන එක­පිට එක වෙඩි තබා තිබිණි.

වෙඩි ප්‍රහා­ර­යට ලක් වූ ගණේ­මුල්ලේ සංජීව නමැත්තා බර­ප­තළ තුවාල සහි­තව විත්ති කූඩුව තුළ ඇද­වැ­ටී­මෙන් අන­තු­රුව බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ගේ හා පොලිස් නිල­ධා­රීන්ගේ මැදි­හ­ත්වීම මත කඩි­න­මින් ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතු­ළත් කරනු ලැබීය. ඒ වන විටත් ඔහු සිට ඇත්තේ මිය­ගො­සිනි.

සිද්ධි­යෙන් පසුව අධි­ක­රණ භූමිය පුරා දැඩි ආර­ක්ෂක තත්ත්ව­යක් ක්‍රියා­ත්මක කෙරුණු අතර ඒ අව­ස්ථාවේ අධි­ක­ර­ණය තුළ රැඳී සිටි කිසිදු පුද්ග­ල­ය­කුට අධි­ක­ර­ණ­යෙන් පිට­තට බැහැ­ර­වී­මට හෝ අධි­ක­ර­ණ­යෙන් පිටත රැඳී සිටි කිසිදු පුද්ග­ල­ය­කුට අධි­ක­රණ භූමි­යට ඇතුළු වීමට ආර­ක්ෂක නිල­ධා­රීන් විසින් ඉඩ ලබාදී නැත. අදාළ සිද්ධි­යෙන් මොහො­ත­කට පසු ඇඟිලි සල­කුණු නිල­ධා­රීන් හා පොලිස් සුන­ඛ­යන් අධි­ක­රණ භූමි­යට රැගෙන ගොස් අවශ්‍ය සෝදිසි කිරීම් කට­යුතු සිදු­කළ අතර පොලිස් සුන­ඛ­යන් අධි­ක­ර­ණයේ ප්‍රධාන දොර­ටු­වෙන් පිට­තට පැමිණ ඒ ආස­න්නයේ දකුණු පස පිහිටි නීති විද්‍යා­ලය දෙසට යන අයුරු ද දක්නට ලැබිණි.

අදාළ වෙඩි තැබීම් සිද්ධි­යක් සමඟ එම අධි­ක­රණ සංකී­ර­ණයේ සියලු අධි­ක­ර­ණ­වල නඩු කට­යුතු විභා­ග­යට ගැනීම නවතා දැමුණු අතර පසුව පස්ව­රුවේ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු කට­යුතු විභා­ග­යට ගැනුණි.

අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කර, මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වට­ගල, වැඩ­බ­ලන පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහ­ත්ව­රුන් ඇතුළු පොලී­සියේ උසස් නිල­ධා­රීහු රැසක්ම අධි­ක­රණ පරි­ශ්‍රය වෙත පැමිණ සිටි­යහ.

මෙතෙක් කලක් බන්ධ­නා­ගා­ර­යට ඇතුළු වන නීති­ඥ­ව­රුන් නීති­ඥ­ව­රි­යන් පරී­ක්ෂා­වට ලක් නොකෙ­රුණු නමුත් එම වෙඩි­තැ­බීමේ සිද්ධි­යෙන් පසුව අධි­ක­රණ භූමි­යට ඇතුළු වන නීති­ඥ­ව­රුන් නීති­ඥ­ව­රි­යන් මෙන්ම සෙසු සියලු දෙනාම දැඩි පරී­ක්ෂා­වට ලක් කරන අයුරු දක්නට ලැබිණි. පොලිස් අප­රාධ ස්ථානීය පරී­ක්‍ෂණ නිල­ධා­රීන් පිරි­සක් ඊයේ සිද්ධිය සිදුවූ අංක පහ අති­රේක මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත පැමිණ විම­ර්ශන කට­යුතු ආරම්භ කළහ.

ඡායා­රූප – වාසිත පට­බැ­ඳිගේ, ශාන් රූප­ස්සර

 

Leave A Comment