
ගැලෙව්වට පස්සේ ආණ්ඩුව ගහපු මොකක්ද මේ අල – ලුනු බද්ද
- Sujeewa Senerath
- September 11, 2025
- CNL සතියේ ව්‍යාපාරික විවරණය
- business posts, weekly business analyzes
- 0 Comments
-
දඹුල්ලේ ලොකු ලූනුවලට තාමත් මිලක් නෑ, බද්ද ගැහුවේ අල ගලවල ඉවර වුණාම…වාසිය රටින් ගෙනාපු වෙළෙන්දන්ට | නුවරඑළිය අර්තාපල් ගොවියෙක්
-
මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අල ගලවලා | වැලිමඩ ගොවියෙක්
-
බද්දෙන් රිංගූ ව්‍යාපාරිකයින්ගේ ලාභය රුපියල් කෝටි 100 පනී
වවන්නෝ දිනන්නෝ යැයි අප සමාජයේ කියමනක් තිබේ. නිසැකවම වවන බහුතරයක් දිනති. ඔවුන් තම අස්වැන්න විකුණා මිල මුදලින් අතමිට සරුකර ගනිති. අප කියන්නට තනන කතාව ද වවන්නෝ දිනන්නෝ කියා කටවහරේ කීවද අපේ රටේ අර්තාපල්, බී ලූනු ගොවියා නම් තවමත් දිනා නැති බවකි. ඒ නිසාම තමන් දුක්මහන්සි වී, බැංකුවලට ණය වී, මහපොළොවත් සමග ඔට්ටු වන මේ ගොවීන්ට අද රජයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. ඒ පසුගියදා රජය මගින් ඉහළ දැමූ ආනයනික අර්තාපල්, බී ලූනු බදු වාසිය යන්නේ ගොවියාටද, නැතහොත් ආනයනකරුවාට ද යන්න ය.
ඉහළ දැමූ අල – ලූනු බද්ද
පසුගිය මස 26 දා සිට ආනයනික අර්තාපල් සහ ලොකු ලූනුවලින් අය කරන විශේෂ බද්ද වැඩිකිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබිණි. ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ රුපියල් 60ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 80 දක්වා ඉහළ දමා තිබුණි. ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා රුපියල් 40කින් ඉහළ දැමීය. මෙම ආනයනික භාණ්ඩ බදු ඉහළ යැවීම පිළිබඳව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ මෙම බදු සංශෝධනය පසුගිය මස 26දා සිට මාස තුනක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන බවත්, මෙම බදු පැනවීම මගින් දේශීය අර්තාපල් සහ ලොකු ලූනු ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවය.
එහෙත් මෙහි කවුරුත් ඇසිය යුතු කාරණාව වන්නේ ආනයනික ද්‍රව්‍ය සඳහා බදු පැනවීමේ ප්‍රතිපත්තියට පටහැනිව අල සහ ලූනු සඳහා බදු ඉහළ දමන ලෙසට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලැබුණු නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්රතික්ක්ෂේප කළ මුදල් අමාත්‍යාංශයේම අධ්යක්ෂ ජනරාල්වරයකු සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබීමය. එහිදී එකී බදු පැනවීමට කැබිනට් අනුමැතිය ලබාගත යුතු බව අදාළ නීතියේ සඳහන් වුවද, මෙවර බදු පැනවීම සඳහා කැබිනට් අනුමැතියකින් තොරව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබීම එයට හේතුව ලෙස ද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර තිබුණි.
මෙරට අල ලූනු ගොවියා රැකගැනීමට රජය ගත් තීරණය නිවැරදිය. කාලෝචිත ද විය හැකිය. එහෙත් අප කියන්නට යන්නේ රජය එවැනි තීරණයක් ගත්ත ද එහි වාසිය මෙරට අල ලූනු ගොවියාට නොලැබෙන බවය. මෙරට අර්තාපල් ගොවියා හා ලොකු ලූනු ගොවියා දැන් කියන්නේ තවමත් තමන්ගේ අස්වැන්නට වටිනා මිලක් නොමැති බවය. ඔවුන් කියන්නේ එහි වාසිය දැන් ගොවියාට නොව ආනයනකරුවාට හා අතරමැදියන්ට යන බවය.
වැඩි කළ බද්දේ වාසිය ව්‍යාපාරිකයාටද

රජය මගින් කුමන භාණ්ඩ ආනයනයකට බදු පැනවූවද එහි වාසිය තමන් අතට හරවා ගැනීමට මෙරට ආනයනකරුවා කටයුතු කරන්නේ ය. මෙරටට අර්තාපල් ලොකු ලූනු ආනයනකරුවා ද එහි වාසිය මේ වනවිටද ලබමින් සිටීම ප්‍රසිද්ධ රහසකි. කොටින්ම කිවහොත් රජය පැනවූ බද්දෙන් රිංගා ඔවුන් ලැබූ ලාභයම රුපියල් කෝටි 100 ඉක්මවා තිබූ බව පසුගිය දිනක වාර්තා විය. කතාවට කියන හැටියට ලංකාවේ අල ලූනු කතාවට ද දෙපැත්තක් ඇත්තේ ය. එය දෙපැත්තම මුවහත් වූ ආයුධයකට සමානය. එනම් ආණ්ඩුවට ගොවියන් සතුටු කිරීමට නම් මෙරට පාරිභෝගිකයාට රිදවීමට සිදුවනු ඇත. පාරිභෝගිකයා සැනසීමට නම් ගොවියාට රිදවිය යුතුය. ආණ්ඩුවට කළ නොහැක්කේ මේ දෙපාර්ශ්වයම එකවර සතුටු කිරීමය. මේ කතාවේදීද අපට කියන්නට ඇත්තේ ‘ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජය මඟුල්’ යන කතාවමය. එනම් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය නිසා පිටතින් සිට ඒ වාසිය තමන්ගේ වාසියට ගන්නා අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව තවමත් සක්‍රීය ය. අර්තාපල් බී ලූනු ආනයනකරුවෝ ද එසේ ය. ඔවුන් කරන්නේ තමන් කාලයකට රැස්කර තිබූ භාණ්ඩ මිල රජය බදු පැවරීම හේතුවෙන් එකවර මිල ඉහළ යැවීමය. මෙවර බදු පැනවීම මතද ආනයනික අර්තාපල් හා බී ලූනු මිලද එකවර ඉහළ ගොස් තිබුණි. ඒ වෙළෙඳපොළෙහි මීට මාසයකට පෙර රුපියල් 120 තිබූ ආනයනික බී ලූනු සිල්ලර මිල රුපියල් 180 දක්වා වැඩිවී තිබුණි. රුපියල් 180 ට පැවැති ආනයනික අර්තාපල් මිල මේ වනවිට රුපියල් 240 දක්වා ඉහළ ගොස් ඇත.
පිටකොටුව හතරවන හරස්වීදියේ පසුගියදා අප කළ සංචාරයකදී එහි තොග මිල ගණන් පවා ඉහළ ගොස් තිබුණේය. ඒ ආනයනික ලොකු ලූනු තොග මිල රුපියල් 140කි. දේශීය අර්තාපල් තොග මිල වූයේ රුපියල් 300කි. ආනයනික අර්තාපල් තොග මිල රුපියල් 220කි. රජය විසින් පනවන ලද බද්දෙන් පසුව පිටකොටුවේ අර්තාපල් හා බී ලූනු මිල ඉහළ ගොස් තිබුණේ එසේය. වැඩි කළ බදු වාසිය එසේ ව්‍යාපාරිකයන් හා අතරමැදියන් අතට යද්දී රටේ පාරිභෝගිකයාට දැන් සිදුවන්නේ වැඩිමිලට මිලදී ගන්නටය. එපමණක් ද නොවේ, මේ නිසා මෙරට අර්තාපල්, බී ලූනු ගොවියාට දැන් සිදුව ඇති සන්තෑසියද ඇසිය යුතුය.
අල ලූනු ගොවීන්ගේ අවනඩුව
දේශීය ගොවියා නඟාසිටුවීමට ආණ්ඩුව ආනයනික අර්තාපල් ලොකු ලූනු සඳහා විශේෂ බද්දක් පැනවූවද, එය මෙරට අර්තාපල් ලොකු ලූනු ගොවියාට ලැබුණාද යන්න අපි සොයා බැලුවෙමු. මේ පිළිබඳව නුවරඑළිය හා දඹුල්ල ගොවීන් කිහිපදෙනෙකුගෙන් අපි තොරතුරු විමසුවෙමු. එහිදී නුවරඑළිය අර්තාපල් ගොවියකු වන නීල් හෙට්ටිආරච්චි මහතා කියාසිටියේ මෙවැනි කතාවකි.
“දැන් මේ ආණ්ඩුවෙන් බොරුවක් කරල තියෙන්නේ. දැන් නුවරඑළිය, වැලිමඩ අර්තාපල් ගලවල ඉවරයි. අර්තාපල් ගලවල ඉවර වුණාම තමයි ආණ්ඩුව මේ ටැක්ස් එක ගැහුවේ. නැවත කන්නයක් එන්න තව මාස තුනක් යනවා. මේකෙන් වාසිය වුණේ පසුගිය කාලය වෙනකන් අල, බී ලූනු රටින් ගෙන්නපු වෙළෙන්දන්ට. එයාල රුපියල් පනහට ගෙනාපු අල දැන් ටැක්ස් එක ගැහුවාම සීයට-දෙසීයට විකුණනවා. ආණ්ඩුව පහුගිය කාලයේ කළේ පුළුවන් තරම් අර්තාපල් ආනයනය කරන්න දුන්නා. ඊට පස්සේ දැන් ටැක්ස් එක ගැහුවා. ඒත් පසුගිය කාලයේ මහා පරිමාණයෙන් අල වගා කරපු ඇතැම් ගොවීන් අල ටික විකුණුවේ නැහැ. එයාල සල්ලි තියෙන ව්‍යාපාරිකයින්. ඒ අය මේක දැනගෙනම අර්තාපල් ටික තියාගත්තා. ඒත් දුප්පත් අහිංසක ගොවියා කළේ පසුගිය කාලයේ රුපියල් 220-230 අර්තාපල් ටික විකුණපු එක. මහා පරිමාණ ගොවියා තමන්ගේ අර්තාපල් ටික ගබඩා කරගෙන තියාගෙන දැන් විකුණලා ලාභ ලබනවා. මේ වැඩේ නිසා මෙහි වාසිය සාමාන්‍ය ගොවියාට යන්නේ නැහැ. මේක තනිකරම ගේම් එකක්. පසුගිය කාලයේ අපි ආණ්ඩුව වෙනුවෙන් ගොඩක් කතා කළා. අපිට කියන්න තියෙන්නේ නුවරඑළියේ ගොවියට තවමත් කිසිම සහනාධාරයක් නෑ කියලයි.”
“වැලිමඩ පැත්තේ මේ වෙනකොට අර්තාපල් ගලවල ඉවරයි. ආණ්ඩුව බද්ද ගහනකොට අපි අල ගලවල විකුණලත් ඉවරයි. මේවනවිට වැලිමඩ යල කන්නයේත් අල වගාකරන්න පටන් අරන්. ඒ අල ගැලවෙන්නේ දෙසැම්බර් මාසයේ.” වැලිමඩ ප්‍රදේශයේ අර්තාපල් ගොවියකු වන සරත් කරුණාතිලක එසේ කීවේය. දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු ගොවියකු වන නීල් ජයසිංහට ද කියන්නට කතාවක් ඇත. ඔහු කියන්නේ තවමත් තමන්ගේ බී ලූනු අස්වැන්නට සාධාරණ මිලක් වෙළෙඳපොළ තුළ නොතිබෙන බවය. මේ ඔහුගේ හඬය.
“දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අපේ බී ලූනු අරගෙන ගියාට ඔක්කොම විකුණගන්න පුළුවන්කමක් දැන් නෑ. මොකද ආනයනික ලූනු අපේ ලූනුවලට වඩා මිල අඩුයි. වෙළෙන්දෝ ඇවිත් අරගෙන යන්නේ ආනයනික ලූනු විතරයි. එහෙමම කෙනෙක් තමයි අපේ ලූනු අරගෙන යන්නේ. අනිත් එක තමයි අපේ ලූනු වගාව කරන කොට ගොවියා මුහුණ දීල තියෙන කෘෂි යෙදවුම් ප්රශ්නය. එතනදී ගොවියාට වෙලා තියෙන්නේ ණය වෙලා වගා කරලා අඩුවට තමන්ගේ අස්වැන්න විකුණන්නයි. නැත්නම් විනාශ කරන්නයි. පොහොර, කෘමිනාශක වියදමත් ඉතා වැඩියි. ඉතින් රජයෙන් බී ලූනු අර්තාපල්වලට අලුතෙන් බද්දක් ගැහුව කියල අපේ ගොවියට සෙතක් වෙලා නෑ. අපි කියන්නේ ඊට කලින් ගොවියාට අඩු මිලට බීජ ටික, පොහොර ටික, කෘමිනාශක ටික ලබාදෙන්න කියලයි. අන්තිමේදී ලංකාවේ වැඩිමිලට බී ලූනු වගාකරලා අස්වැන්න නෙළන කාලයට පිටරටින් ලූනු ගේනවා.
පාරිභෝගිකයාට වැඩි මිලට පිටරටින් ගෙනා බී ලූනු කවනවා. ඒක තමයි ඇත්ත. මේවා ආනයනකරුවන්, ව්‍යාපාරිකයෝ සනසන වැඩ.”
ලූනු ගැන ඇමැති කියන කතාව
ගොවියා වෙනුවෙන් වැඩි මිලට ගන්න පාරිභෝගිකයාට දැන් සිදුවෙලා – ඇමැති කේ. ඩී. ලාල් කාන්ත
මෙරට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග ඇමැති කේ. ඩී. ලාල් කාන්ත පසුගිය දිනක බී ලූනු ගොවියා ගැන කතා කළේය. එහිදී ඇමැතිවරයා ද පිළිගන්නා කාරණය වන්නේ මෙරට බී ලූනු අස්වැන්න නෙළමින් තිබියදී ද අදවනවිට මෙරට පාරිභෝගිකයාට වැඩි මිලට බී ලූනු මිලදී ගැනීමට සිදුව ඇති බවය.

“අපේ රටේ බී ලූනු නිෂ්පාදනය කරන්නේ අවුරුද්දේ මාස දෙකකට ඇතිවෙන්න විතරයි. ඒ නිසා අපිට බී ලූනු ගේන්න වෙලා තියෙන්නේ පිටරටින්. මීට කලින් අපි පිටරටින් ගේන බී ලූනු කිලෝ එකකට රුපියල් 10 බද්දක් පනවලා තිබුණා. අපේ බී ලූනු නිෂ්පාදනයේ පිරිවැය වැඩි නිසා මිල ඉහළයි. රටින් ගේන බී ලූනු මිල අඩුයි. එතකොට අපේ රටේ බී ලූනු පාරිභෝගිකයා ගන්නේ නැහැ. දැන් ඒවා වෙළෙඳපොළේ විකුණගන්න අමාරුයි. මේ නිසා අපේ ගොවියා කියන්නේ පිටරටින් ගේන බී ලූනු වල මිල වැඩි කරන්න කියලයි. දැන් අපි රුපියල් දහයට තිබුණ බද්ද රුපියල් පනහ දක්වා වැඩි කළා. හැබැයි ඒකෙන් දැන් බැට කන්නේ පාරිභෝගිකයන්. ඒ නිසා දැන් වෙළෙඳපොළේ බී ලූනු කිලෝ එකක් අඩුවට ගන්න තියෙන අවස්ථාව පාරිභෝගිකයාට නැතිවෙලා. අපේ රටේ බී ලූනු නෙළන මොහොතේදී පාරිභෝගිකයාට සිද්ධ වෙලා තියෙනවා ගොවියා වෙනුවෙන් වැඩි මිලට බී ලූනු මිලදී ගන්න.” ඒ මෙරට කෘෂිකර්ම ඇමැතිවරයාගේ කතාවය.
අල ලූනු බද්දත් තවත් ගේමක්ද
රජයේ වැඩි කළ අල ලූනු බද්ද පිළිබඳව සමගි ජන බලවේගයේ දයාසිරි ජයසේකර ආණ්ඩුවට එල්ල කරන්නේ බරපතළ චෝදනාවකි. ඔහු ඒ පිළිබඳව පසුගිය දිනක මාධ්‍යයට කියා තිබුණේ මෙවැනි කතාවකි.
“ආණ්ඩුව දැන් දැවැන්ත මංකොල්ලයකට අවශ්‍ය වැඩකටයුතු සකස් කරල තියෙන්නේ අල ලූනුවලින්. බී ලූනු ගලවන කොට රජය ආනයනික බී ලූනුවලට විශාල බද්දක් ගහනවා. වෙළෙඳ ඇමැතිවරයා ගහන මේ බද්දෙන් ලාභය හොයල තියෙන්නේ කවුරුත් නෙවෙයි ව්‍යාපාරිකයෝ විතරයි. ලංකාවට බී ලූනු අර්තාපල් ගෙන්වන්නේ අද ඉන්දියානු ජාතිකයින් හා පකිස්තාන ජාතිකයින්. කන්ටේනර් 700ක් ලංකාවේ ඇතුලෙ තියෙද්දී මේ මිල වැඩිකිරීම තුළ මේක සීනි බදු වංචාව, සුදු ලූනු වංචාවට එහා ගිය වංචාවක් තමයි මේ ආණ්ඩුව දැන් කරමින් ඉන්නේ. තමන්ගේ ගජ මිතුරන්ට සල්ලි හම්බ කරගන්න වැඩපිළිවෙළක් ආණ්ඩුව ක්‍රියාත්මක කර තිබෙනවා. මේකෙන් වසන්තය උදාවුණේ කාටද කියල අපි කල්පනා කරල බලන්න ඕනෑ.”
දේශීය අල ලූනු ගොවියා දිරිගැන්වීම රජයක වගකීමකි. ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශය කියා තිබුණේ ද මේ වනවිට දේශීය ගොවියන් වගා කළ අර්තාපල් සහ ලොකු ලූනු අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙමින් තිබෙන බැවින් ගොවියාට සාධාරණයක් ඉටුකිරීම සඳහා මෙලෙස බදු මුදල් වැඩි කළ බවය. ආණ්ඩුවේ සැලසුම ද මේ වනවිට පවතින මිල තාවකාලිකව බලපවත්වා ගොවීන්ගේ අස්වැන්න අලෙවි කිරීමෙන් අනතුරුව බද්ද අඩුකර වෙළෙඳපොළෙහි අල ලූනු මිල නැවත සාමාන්‍යකරණයට පත්කිරීමය. එමෙන්ම ආනයනික අල ලූනු බද්ද පැනවීම වර්තමාන රජය මගින් පමණක් ප්‍රථම වරට සිදුකරන ලද්දක් ද නොවේ. මීට පෙර පැවැති ආණ්ඩුවලින්ද අර්තාපල් හා ලොකු ලූනු අස්වැන්න නෙළන කාලයේදී දිගින් දිගටම සිදු කළේය. එහෙත් පෙර කී පරිදි සමගි ජන බලවේගයේ දයාසිරි ජයසේකර ආණ්ඩුවට එල්ල කරන චෝදනාව නම් බරපතලය. ඒ ගැන සොයා බැලීම රජයේ වගකීමක් ද වන්නේ ය.
දේශපාලනය හා අල ලූනු
කන්ටේනර් 700ක් රටේ තියෙද්දී බදු වැඩිකිරීම සීනි, සුදු ලූනු වංචාවටත් එහා ගිය එකක් – මන්ත්‍රී දයාසිරි ජයසේකර

අල ලූනු කතාව රටේ ජනතාවට මින් පෙර නොඇසූ නුපුරුදු වචනයක්ද නොවේ. එනම් මීට පෙර මෙරට දේශපාලන වේදිකාවේ දේශපාලනික මෙවලමක් හැටියටද අල හා ලූනු පත්විය. බොහෝ මැතිවරණ වේදිකාවල අල කීයද? ලූනු කීයද? ලූනු කෑවාද යන්නෙන් ජනතාවගෙන් ඇසූ හැටි මතකය. ඒ නිසාම අල ලූනු කතාවද අලුත් කතාවක් නොවන වගද කිවයුතුය. තවද අල ලූනු ප්රශ්නය සෑම වසරකම පාහේම පැන නගින්නකි. කලකදී මිල ඉහළ යද්දී තවත් කලකදී මිල පහළ යන්නේ පැවැති සෑම ආණ්ඩුවක්ම දේශීය අල ලූනු ගොවියා නඟාසිටුවීමට ආනයනික බද්ද ඉහළ දැමූ නිසාය. එහෙත් අල ලූනු කියූ විට මේ දෙවර්ගයම ජනතාවට වඩාත් සමීප ආහාරයන් ය. තවත් විදිහකින් කිව්වොත් මේ දෙවර්ගයම ජනතාවගේ එදිනෙදා ආහාර වේලට සම්බන්ධ ය. ඒ නිසාම අල ලූනු මිල මෙරට පාරිභෝගිකයාගේ ජීවන වියදමට ද බෙහෙවින්ම බලපායි. මෙරට සාමාන්‍ය ජනතාව ද එදා වේල පිරිමසා ගැනීමට ද හුරුව සිටින්නේ හාල් හුණ්ඩුවක් හෝ ළිප තබා එයට අල වෑංජනයක්, පරිප්පු මාලුවක් සකසා ගැනීම අඩු මුදලකින් කළ හැක්කක් නිසාය. එහෙත් දැන් සිදුවන්නේ අල ලූනු බද්දෙන් ජනතාවගේ බත් පතට ද කණකොකා හැඬීමය. පසුගිය දිනවල මෙරට ගොවීන් ආණ්ඩුවට ප්‍රශංසා කරන අයුරු ද අපි දුටුවෙමු. එහෙත් රටේ පාරිභෝගිකයා ආණ්ඩුවට බඩු මිල නිසා දොස් තැබීම අප තවමත් දුටුවේ නැත. ආණ්ඩුව ද මේ බදු පැනවීම තුළ සිදුකරන්නේ දේශීය අල ලූනු ගොවියා රැකගැනීමටද, නොඑසේනම් දේශපාලන වාසි තකා ව්‍යාපාරිකයින් තුටු කිරීමට ද යන්න ගැටලුවක් දැන් නිර්මාණය වී ඇත. නොඑසේ නම් ආණ්ඩුව කරන්නේ එක්තැනකින් ගෙන තවත් තැනකට බෙදීමක්ද යන්න ඇතැමෙකුට සිතිය හැක. කෙසේ වුවද අප කියන්නේ වත්මන් ආණ්ඩුව මෙරට අල ලූනු ගොවියා දෙස මෙන්ම පාරිභෝගිකයා දෙස ද සානුකම්පිතව බැලිය යුතුය යන්නය.
| රමින්ද මාවතගේ | දිවයින