ගුණාත්මකභාවය ආරක්ෂා කරගත් නවීකරණය වූ ගුවන්විදුලි සේවාවක් ඉදිරි සියවස තුල ස්ථාපිත කිරීම රජයේ අරමුණයි – වෛද්‍ය නලින්ද ජයතිස්ස
-
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට වසර 99 ක් සපිරෙයි.
වසර 99 ක් සපිරෙන ශ්‍රී ලංකා ගුවන්විදුලිය ජාතික වස්තුවක් සහ ජාතික සම්පතක් බවත්, වසර 99 ක් ආරක්ෂා කර ගනු ලැබූ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ගුණාත්මකභාවය, අඛණ්ඩතාවය ආරක්ෂා කරන අතරම ඉදිරි සියවස නවීකරණය කරන ලද ගුවන්විදුලියක් ලෙස පවත්වාගෙන යාම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
1925 ආරම්භ වූ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 99 ක් සපිරීම නිමිත්තෙන් වූ සැමරුම් උත්සවයක් (16) දින “සියවස අභියස – ජාතික ගුවන්විදුලි සංස්ථාව” (1925-2024) යන්න තේමා කර ගනිමින් කොළඹ ජාතික ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේ දී පවත්වන ලදි. මෙම අවස්ථාවට ප්‍රධාන අරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දක්වන ලදි.
ජාතික කාරයභාරයකින් යුක්ත ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතුව දැනට පවතින මානව හා භෞතික සම්පත් ප්‍රයෝජනය ගෙන වඩා හොද සැළසුමක් සහිතව ඉදිරියට යා යුතු බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි වසර 05 තුල දී මෙම නව තත්ත්වය අත්පත් කර ගත යුතු බව අවධාරණය කළේය.
ප්‍රාදේශීය සේවාවන් 03 ක් හරහා නව පරම්පරාවට සන්නිවේදන කාර්යභාරය අත්පත් කරදීම වෙනුවෙන් වන වැඩපිළිවෙල වේගවත් සහ පුළුල් කළ යුතු බවත්, රජයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග එක්ව ඒ සදහා ශක්තිමත් වැඩපිළිවෙලක් ගොඩනගන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි. මෙරට ශිෂ්‍යයෙකුට, තරුණයෙකුට ගුවන්විදුලි ක්ෂේත්රයට පිවිසීමට යම් අධිෂ්ඨානයක් තිබෙනවා නම් ඔවුන්ගේ තිඹිරිගෙය බවට ජාතික ගුවන් විදුලිය පත්විය යුතු බවද පැවසීය. දේශීය විදේශිය සංචාරකයින් ආකර්ශණය කර ගන්නා, ඔවුන්ට දැනුමක්, අධ්‍යාපනයක් ලබාදෙන තැනක් බවට ද ජාතික ගුවන්විදුලිය පත්විය යුතු බව මෙම උත්සවය අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සියවසක් අභියස සිටින ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය වෙනුවෙන් ගුවන් විදුලි සියවස් සැමරුම් මුද්දරයක් ද මෙහිදී නිකුත් කෙරිනි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර, අධ්යක්ෂ ජනරාල් බී.එන් දමින්ද කුමාර, තැපැල්පති රුවන් සත්කුමාර, රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, සභාපතිවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.