
ගොවි ජනතාවගේ මැසිවිල්ල – වෙළෙඳ පොළේ සහල් මිල සහ කෘෂි ආර්ථිකයේ හෙට දවස
- CNL Reporter
- February 14, 2025
- CNL සතියේ ව්‍යාපාරික විවරණය, පුවත්
- weekly business analyzes
- 0 Comments
වී යනු සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව බුද්ධ බෝගයයි. එය දේශපාලනික අර්ථයෙන් ගත් විට දේශපාලනික බෝගය ලෙස ද සැලකිය හැකි අතර බත යනු මෙරට පුරවැසියන් බහුතරයකගේ ප්‍රධාන ආහාරයයි. සමාජ හා සංස්කෘතික අර්ථයෙන් ශ්‍රී ලාංකිකයින් බත් කන ජාතියක් ලෙස සැලකෙන්නේ මෙම පසුබිම නිසාය.
මෙරට ආර්ථික, දේශපාලන, සමාජයීය හා සංස්කෘතික වශයෙන් හිමි කරගෙන සිටින මෙම සුවිශේෂ තත්ත්වය හේතුවෙන් බලයට පත්වන සෑම ආණ්ඩුවක් මෙන්ම බලය අල්ලා ගැනීමට දේශපාලනය කරන සෑම දේශපාලන පක්ෂයක්ම වී වගාව ආශ්‍රිත සෑම කරුණක් දෙසම දැඩි අවධානයක් යොමු කිරීම ස්වභාවිකය. පොහොර සහනාධාර, අවම මිල ඇතුළු වී ගොවීන් තෘප්තිමත් වන බොහෝ දේ ආණ්ඩු විසින් ලබා දීම ඒ අනුව සිදු වේ.
වී ගොවීන් මේ ආකාරයෙන් තෘප්තිමත් කිරීමට යාමේ දී ආණ්ඩුවට සහල් වෙළෙඳපොළ ගැන ද දැඩිව සංවේදී වීමට සිදුවන්නේ මෙරට බහුතරයකගේ ප්‍රධාන ආහාරය බත් වන නිසාය. සහල් මිලේ සිදුවන වෙනස්වීම් බත් කන ජනතාවට දැඩිව බලපාන හෙයින් සහල් මිල ගැන ද සංවේදී වීමට මෙහි දී රජයට සිදුවෙයි.
ආර්ථික විද්‍යාඥයින්ට අනුව වී ගොවීන්ට උපරිම මිලක්ද සහල් පාරිභෝගිකයින්ට අවම මිලක් ද ලබා දෙමින් මෙය කළමනාකරණය කර ගැනීම දුෂ්කර ය. එනිසාම මෙය සදාකාලික ගැටලුවක් ලෙස පවතින අතර මෙයට අතරමැදියන්ගේ හෙවත් සහල් නිෂ්පාදකයින්ගේ මැදිහත් වීම ද සිදුවීම සමඟ තත්ත්වය තව දුරටත් සංකීර්ණ වේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවත්වනු ලැබූ කතිකාව සංවාදයේදී ගොවි ජනතාවගේ මැසිවිල්ල – වෙළෙඳ පොළේ සහල් මිල සහ කෘෂි ආර්ථිකයේ හෙට දවස යන කාලීන මාතෘකාව පවත්වනු ලැබුවේ ඉහත සඳහන් කළ උණුසුම් වාතාවරණය තුළය. මෙවර කතිකාව සංවාදය සඳහා සම්පත්දායකයින් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යායේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සහ පොළොන්නරුව දිස්ත්‍රික් බිත්තර වී නිෂ්පාදන හා සේවා සංගමයේ සභාපති ආනන්ද රාජපක්ෂ මහතා සහභාගී වූහ. මෙම සංවාදයේ දී අදාළ සම්පත්දායකයින් විසින් දක්වන ලද අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
වී වගාවේ නිෂ්පාදන පිරිවැය අඩු කරන්න පුළුවන් නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ පොළොන්නරුව දිස්ත්‍රික් බිත්තර වී නිෂ්පාදන හා සේවා සංගමයේ සභාපති ආනන්ද රාජපක්ෂ
වී අලෙවි මණ්ඩලය විසින් වියළි වී කිලෝවක් මිලදී ගන්නා මිල ගණන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් රජයට සිය කෘතඥතාව පළ කරමින් සාකච්ඡාවට සම්බන්ධ වූ ආනන්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ නාඩු වී කිලෝවක් සඳහා ගොවීන් අපේක්ෂා කළ අවම මිල වූයේ රුපියල් 130ක් බවයි. රජය විසින් නාඩු වී කිලෝවක් වෙනුවෙන් රුපියල් 120ක මිලයක් නියම කරනු ලැබුවත් ගොවීන්ගේ අපේක්ෂිත මිල වන රුපියල් 130 සහ රජයේ අවම මිල අතර පවතින පරතරය වැදගත් කරුණු කිහිපයක් හෙළි කරන බව ඔහු සඳහන් කළේය.
වී වගාව වෙනුවෙන් බිම් සැකසීමේ සිට අස්වැන්න නෙළා ගෙන නිසි ප්‍රමිතියට වේලා ගැනීම දක්වා සංකීර්ණ ක්‍රියාවලියක් පවතින බවත්, ඒ සෑම අවස්ථාවකම බාහිර යෙදවුම් ගණනාවක් මිල දී ගැනීමට වී ගොවියාට සිදුවන බවත් කී ආන්නද රාජපක්ෂ මහතා, පසුගිය හෝ ඊට ආසන්න කන්න කිහිපයට පෙර පැවැති මිල ගණන් වලට වඩා රසායනික පොහොර හැර අන් සියලුම යෙදවුම්වල මිල ගණන් අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ද පෙන්වා දුන්නේ ය. එහිදී ඔහු චෝදනා කළේ ඩොලරයේ මිල ඉහළ යාම සමඟ විශාල ලෙස ඉහළ ගිය ඇතැම් කෘෂිකාර්මික යෙදවුම් හා උපකරණවල මිල ගණන් මේ දක්වා පහත දැමීමට අදාළ සමාගම් පියවර ගෙන නොමැති බවයි.
ගොවීන් දීර්ඝ කාලයක සිට ඉල්ලා සිටින ආකාරයට මේ යෙදවුම් මිල ගණන් පහළ දාන්න පුළුවන් නම් වී කිලෝවක් රුපියල් 100ට වුණත් දෙන්න ගොවියට පුළුවන් වෙයි. අපි කියන්නේ මේ යෙදවුම් මිල ගණන් පහළ දාන්න කියලයි. එසේම කෘෂිකාර්මික යෙදවුම් හා සේවාවන්වල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම සහ නිසි ප්‍රමිතියක් නැති වීම, වී සඳහා සාධාරණ මිලක් නොලැබීම ආදි මැසිවිලි රැසක් ගොවීන්ට හැමදාම තිබුණා. මේ ගැන සොයා බලන්න බලය තිබෙන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන ගණනාවක් තිබුණත් ඒ ආයතන හරහා මේවාට නියම විසඳුමක් ලැබිලා නැහැ. ගොවීන්ගේ ගැටලු හැමදාම, හැම කන්නයකම එළියට එන්නේ මේ නිසයි. වී ගොවීන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙන ප්‍රමුඛ ගැටලු කිහිපයක් සංෂිප්ත කරමින් ආනන්ද රාජපක්ෂ මහතා පැහැදිලි කළේ ය.
මේ කෘෂිකාර්මික යෙදවුම් මිල ඉහළ යාම හා නිසි ප්‍රමිතියක් නැතිවීම තමයි වී ගොවීන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව ඔහු දැඩිව අවධාරණය කළේය.
ආනන්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනා මේ ආකාරයෙන් සංෂිප්ත කළ හැකිය.
පසුගිය කොවිඩ් වසංගත සමයේ විශාල වශයෙන් මිල ඉහළ දැමූ වී වගාවට අදාළ යාන්ත්‍රික යෙදවුම්වල (උදළු තලයේ සිට සීසාන මැෂිම දක්වා) මිල ගණන් යළි පහළ දැමීම සහ එහි මිල නියාමනය කිරීම, වී වගාවට අදාළ බිම් සැකසීමේ සිට අස්වැන්න නෙළීම දක්වා වන ක්‍රියාවලියට අදාළ සියලුම අංශවල සේවා ගාස්තු පහළ දැමීම හා එහි මිල නියාමනය කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදු කල යුතුයි.එමෙන්ම කෘෂිකාර්මික යෙදවුම් ආනයනය ඇතුළු කටයුතුවලදී පෞද්ගලික අංශය සතුව පවතින ඒකාධිකාරිය අවසන් කර රාජ්‍ය අංශයේ මැදිහත් වීම පුළුල් කිරීම හා යම් සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍යව ඇති බව ද ඔහු එහිදී සඳහන් කරන ලදී.
ෂිකාර්මික යන්ත්‍ර හිමියන් (සී සෑමේ සිට අස්වනු නෙළීම දක්වා) විසින් අත්තනෝමතික හා අසාධාරණ ලෙස සිය සේවාවන් සඳහා අය කරන බව සඳහන් කළ රාජපක්ෂ මහතා මිල ගණන් පාලනය කිරීම සඳහා සහ තරඟයක් නිර්මාණය කිරීමටට ගොවිජන සේවා මධ්‍යස්ථානවල යන්ත්‍රෝපකරණ සේවා ඒකක යළි ස්ථාපිත කිරීම කළ යුතු බව එහිදී ඔහුගේ අදහස විය. ප්‍රමිතියෙන් යුතු බිත්තර වී ලබා ගැනීමට ගොවීන්ට අවස්ථාව ලබාදීම හා ඒ සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම සහ ගොවිජන සේවා මධ්‍යස්ථා හරහා බිත්තර වී ලබාදීම ද කල යුතුව ඇතැයි එහිදී අවධාරණය කරන ලදි. ඔහු එම සේවාවන් කාර්යක්ෂම කිරීම, බිත්තර වී සහතික කිරීමේ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා නිලධාරී හිඟයට පිළියම් යෙදීම, බිත්තර වී නිෂ්පාදනය කරනු ලබන රජයේ ගොවිපොළවල් යළි සක්‍රීය කිරීම, කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය සහ බෙදා හැරීම සම්බන්ධ පුද්ගලික අංශයේ ඒ්කාධිකාරිය බිඳ දැමීම ආදී කටයුතු සඳහා රාජ්‍ය අංශයේ සහභාගීත්වය ශක්තිමත් කල යුතුව ඇතැයි පෙන්වා දුනි.
එමෙන්ම කෘෂි රසායනික ද්‍රව්‍ය සම්බන්ධ නිසි ප්‍රමිතිකරණයක් සහතික කිරීම සහ ඒවා භාවිතය සම්බන්ධයෙන් ගොවිජනතාව දැනුවත් කිරීමට හා තොරතුරු ලබා ගැනීමට පුළුල් වැඩපිළිවෙළක් දියත් කිරීම, රසායනික පොහොර ප්‍රමිතිගත කිරීමට නිසි වැඩපිළිවෙළක් ඇති කිරීම මෙන්ම සෑම කුඹුරකම පස් සාම්පල් පරීක්ෂා කර එම පසට අදාළ රසායනික පොහොර සංයුක්තිය තීරණය කිරීමට වැඩපිළිවෙළක් දියත් කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු වගකීමක් වී ඇතැයි ද පෙන්වා දුනි. එයට අමතරව කෘෂිකර්ම උපදේශකවරුන්ගේ බල ප්‍රදේශ අඩු කිරීම සහ සේවා පහසුකම් ලබාදීම, කෘෂිකර්ම නිෂ්පාදන සහකාරවරුන්ට නිසි පුහුණුවක් ලබාදීම, ඉහළ අස්වැන්නක් සහ ඔරෝත්තු දීමේ හැකියාව ඇති නව වී වර්ග හඳුන්වාදීම රජයේ වගකීමක් වන බවද රාජපක්ෂ මහතාගේ අදහස විය.
තිරසර ජල කළමනාකරණයක් සහ පාංශු සංරක්ෂණයක් සහිතව කුඹුරු නියර ඇතුළු කුඹුරු ඉඩම් ප්‍රමිතිගතකරණය සහ මේ සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීම, ගොවි සංවිධාන ශක්තිමත් කිරීම සඳහා තාක්ෂණික හා කළමනාකරණ ඇතුළු දැනුම හා පුහුණුව ලබාදීම, ගොවීන්ට ද තම වී අස්වැන්නට අගය එකතු කර සහල් හෝ වෙනත් නිෂ්පාදන ලෙස අලෙවි කළ හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම, කෘෂි නිෂ්පාදන සඳහා සහන පොළියක් යටතේ ගොවි ජනතාවට ණය පහසුකම් ලබාදීම, වී මළුවල මිල පාලනය සහ එහි ප්‍රමිතිය තහවුරු කිරීම, වී ගබඩාකරණය සඳහා අඩු වියදම් සහ ඵලදායී තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම සහ ගොවියගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නිසි අවධානය යොමු කිරීම ආදී සියළු කටයුතු රාජ්‍ය අංශයේ වගකීම වන බව ඔහු එහි දී වැඩිදුරටත් පෙන්වා දුනි.
මෙහිදී තමා ඇතුළු ගොවි නායකයින් දීර්ඝ කාලයක් පුරා කළ ඉල්ලීමක් යළි සහිපත් කළ ආනන්ද රාජපක්ෂ මහතා ගොවීන් මුහුණ දෙන හදිසි සහ අනපේක්ෂිත අවස්ථාවලදී සහාය ලබාදීම සඳහා සහ වි මිලදීගැනීම සඳහා ගොවි අරමුදලක් පිහිටුවීමට ද රජය වහාම පියවර ගත යුතු බව ද සඳහන් කළේය.
නිසි තක්සේරුවක් නැතිව වැඩ කළොත් මිරිඟුවක් පස්සේ දිව්වා වාගේ වෙයි – මහාචාර්ය බුද්ධි මාරඹේ
වී සහ සහල් අතර මෙන් ම වී ගොවියා සහ සහල් පාරිභෝගිකයා අතර පවතින්නේ එකිනෙකින් වෙන් කළ නොහැකි, පෙකණි වැලෙන් බැඳුනා වැනි සම්බන්ධතාවක් බව කියමින් කතිකාව සංවාදයට එක් වූ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා මේ දෙදෙනාට එකිනෙකාගේ සම්බන්ධතාවයෙන් තොර පැවැත්මක් නැති බවත් සඳහන් කළේය.
වී මිල නියම කිරීම සම්බන්ධයෙන් ගොවීන් අතර විවිධ අදහස් පැවතුණ ද රජය විසින් සාධනීය මිලක් නියම කළ බවත් එම අවම මිල නියම කිරීම කිරීම සිදු වූයේ වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගන්නා වූ වී සඳහා බවත් මහාචාර්ය බුද්ධි මාරඹේ මෙහි දී පෙන්වා දුන්නේය.
මෙහිදී කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළ කරුණු කිහිපය අප අමතක නොකළ යුතුයි. නියෝජ්‍ය අමාත්‍යවරයා ඉතාම පැහැදිලිව පෙන්වා දුන්නේ වී කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය කරන නිෂ්පාදන වියදම ගැන පුළුල්ව සලකා බලා, ඒ නිෂ්පාදන පිරිවැයට 30%ක ලාභාංශයක් එකතු කර වී අලෙවි මණ්ඩලය විසින් වියළි වී මිලදී ගන්නා අවම මිල නියම කළ බවයි. මෙහිදී තවත් වැදගත් කරුණක් සිහිපත් කළ යුතුයි. මේ අවම මිල නියම කිරීම ගැසට් එකක් මඟින් සිදුකළ දෙයක් නොවෙයි. එසේම ඒක නෛතික මිලකුත් නොවෙයි. එය වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගන්නා මිලයි. යම් යම් පරාමිතීන් අනුව මේ අවම මිලට යටත්ව වී මිලදී ගැනීම සිදුවෙනවා. එහිදී 14%ක් හෝ ඊට අඩු තෙතමනයක් තිබිය යුතු අතර වී වල ගුණාත්මකභාවය සම්බන්ධ තවත් කරුණු කිහිපයක් සපුරා තිබිය යුතුයි. වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගන්නා ක්‍රමවේදය සහ ඊට අදාළ කරුණු පැහැදිලි කරමින් මහාචාර්ය බුද්ධි මාරඹේ සඳහන් කළේය.
මෙහිදී මහාචාර්ය මාරඹේ අවධාරණයෙන් යුතුව පෙන්වා දුන්නේ, වීවල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම හා පවත්වාගෙන යාම ගොවීන්ට ද වැදගත් හා වාසිදායක වන බවයි. මේ සම්බන්ධයෙන් ගොවීන් ප්‍රමාණවත් අවධානයක් යොමු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
වී මිල නියම කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මහාචාර්ය බුද්ධි මාරඹේ මෙසේ ද සඳහන් කළේය. ආණ්ඩුව මෙවැනි සාධනීය පියවරක් ගත්තත් ගොවිජනතාව අතර මැසිවිල්ලක් තිබෙනවා. ඔවුන් කියනවා මේ මිල තමන්ගේ නිෂ්පාදන වියදම සමඟ කිසිසේත් ප්‍රමාණවත් නැහැ කියලා. අපි මෙහිදී වී මිල නියම කරන ආකාරය ගැන යම්කිසි අවබෝධයක් ලබාගත යුතුයි. වී මිල නියම කිරීමේදී සමස්තයක් ලෙස ප්‍රධාන නිර්ණායක දෙකක් සලකා බලනවා. ඒ අනුව වී කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය සඳහා වැය වන මිල මෙවර වී මිල නියම කිරීමේදී අක්කරයකට රුපියල් 150,000 සිට 160,000 දක්වා මිලක් නියම කර තිබෙනවා. මෙහිදී සමස්ත අස්වැන්න සහ ඵලදායීතාවය ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඒ අනුව පසුගිය කන්නවල දත්ත දෙස අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම පළාතෙන් පළාතට වී වර්ගයෙන් වී වර්ගයට මේ අස්වැන්න වෙනස් වෙනවා. අදාළ මිල තීරණය කිරීමේ දී මේ දෙසත් අවධානය යොමු කළ යුතුයි. උදාහරණයක් ලෙස පසුගිය මහ කන්නයේ අම්පාර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල වී කිලෝවක නිෂ්පාදන වියදම වාර්තා වුණේ රුපියල් 60ක් ලෙසයි. නමුත් මෙවර වී මිල නියම කිරීමේ දී නාඩු වී කිලෝවක් සඳහා යන නිෂ්පාදන වියදම රුපියල් 76 සිට 91 දක්වා පරාසයක පැවති බව වාර්තා වුණා. සම්බා වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 99කුත්, කීරි සම්බා කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 108කුත් වැය වන බව ගණන් බලා තිබුණා. මේ නිෂ්පාදන වියදමට 30%ක ලාභයක් තබා, එහි ආසන්න වාසිය ගොවියාට ලැබෙන ආකාරයට තමයි මෙවර මිල නියම කිරීම සිදුව තිබෙන්නේ.
මේ ආකාරයෙන් වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගන්නා අවම මිල නියම කළ ද පුද්ගලික අංශයට ඒ හරහා සීමාවක් නොපැනවෙන බව මෙහිදී මහාචාර්ය මාරඹේ පෙන්වා දුන්නේ ය.
වී සඳහා අවම මිල ගැසට් කළ එකක් හෝ නීතියක් නොවෙයි. ඒ නිසා ගොවිජනතාවට මීට වඩා වැඩි මිලකට හෝ වී අලෙවි කරන්න පුළුවන්. පුද්ගලික අංශයටත් ඒ සඳහා කිසිම නෛතික බාධාවක් නැහැ. ඒ නිසා තමා සතුව තබා ගෙන සිටි ප්‍රමිතියෙන් යුතු වී ඉහළ මිලකට අලෙවි කිරීමේ අවස්ථාව ගොවීන්ට තිබෙනවා. ඒ වගේම මේ වන විට අස්වැන්න නෙළමින් පවතින නිසා බොහෝ විට අලෙවි වෙන්නේ තෙත වී. නමුත් මෙවර තෙත වී මිලදී ගැනීමට අවම මිලක් නියම කර නැහැ. ඒකට හේතුව තමයි වී අලෙවි මණ්ඩලය සතුව තෙත වී ගබඩා කිරීමට පහසුකම් නොතිබීම. නමුත් පුද්ගලික අංශය මේ වන විට නෙැපැකිළව තෙත වී මිලදී ගනිමින් සිටින බව අපි දකිනවා. ගොවිජනතවත් තමන් සතු තෙත වී තොග අලෙවි කරනවා. අපි දන්නවා ඇතැම් අවස්ථාවල 17-23% දක්වා පරාසයක තෙත වී තිබෙනවා. ඒ වගේම වී අලෙවි මණ්ඩලය කියන 14%ක වියළි අගය ගැනීමට සැලකිය යුතු කාලයක් ශ්‍රමයක් වැය කළ යුතු නිසා ගොවීනුත් තමන් සතු වී හැකි ඉක්මනින් හා ලබාගත හැකි උපරිම මිලකට පුද්ගලික අංශයට විකුණා දැමීමට පෙළඹෙනවා. ඒ වගේම ඉක්මනින් මුදල් ලබා ගැනීමට ඇති පහසුව, කුඹුරට හෝ කමතටම පැමිණ වී මිලදී ගැනීම, එම අවස්ථාවේදී මුදල් ලැබීම ආදි හේතු කිහිපයක් නිසා ඔවුන් පුද්ගලික අංශයට වී විකිණීමට වැඩි නැඹුරුවක් දක්වනවා. නමුත් මේ වාසිදායක තත්ත්වයක්, වී අලෙවි මණ්ඩලයට නැහැ. මේක තමයි මේ මොහොතේ සිදුවෙමින් තිබෙන්නේ. වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ වී අලෙවි මණ්ඩලය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මහාචාර්ය බුද්ධි මාරඹේ සඳහන් කළේය.
මෙහිදී මහාචාර්ය බුද්ධි මාරඹේ විසින් ද වී නිෂ්පාදනය වෙනුවෙන් දරනු ලබන නිෂ්පාදන වියදම අවම කිරීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කළේය. මහාචාර්යවරයා මෙහිදී පෙන්වා දුන්නේ නිෂ්පාදන පිරිවැය අවම කිරීම අසීරු නම් ඵලදායීතාවය එනම් අස්වැන්න ඉහළ දැමීම සිදුවිය යුතු හා සිදුකළ යුතු දෙයක් බවයි.
මේ කාරණා දෙක ඒ කියන්නේ නිෂ්පාදන වියදම අවම කිරීම සහ ඵලදායීතාවය ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමු නොකළහොත් අපිට හැමදාම වී ගොවීන්ගේ මේ මැසිවිල්ලට සහ සහල් පාරිභෝගිකයින්ගේ මැසිවිල්ලට මුහුණ දෙන්න සිදුවෙනවා. මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
මේ අවස්ථාවේ යම් යම් සීමා කිරීම් හා දුෂ්කරතා තිබුණ ද රජයේ වගකීම හා වගවීම වන්නේ වී ගොවියා සහ සහල් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම බව අවධාරණය කළ මහාචාර්ය මාරඹේ කාලයක් තිස්සේ රට මුහුණ දී තිබෙන අවාසනාවන්ත තත්ත්වයක් ගැන ද සිය කණස්සල්ල පළ කළේය.
මාව පුදුමයට හා කණස්සල්ලට පත්කළ කරුණ වන්නේ කාලයක් තිස්සේ අපි නෙළා ගත් බව කියන වී අස්වැන්න සහ තිබිය යුතු සහල් ප්‍රමාණය සැලකීමේදී මේ අතිරික්තය තිබෙන්නේ කොහෙද? කා ළඟද කියලා සොයා ගන්න බැරි වීමයි. අපි එහෙම රටක්. එය අතීතයටත් සමානයි. අදටත් සමානයි. හෙට කුමක් වෙයිද කියලා කියන්න මම දන්නේ නැහැ. නමුත් එසේ නොවීමට තමයි අපි කටයුතු කළ යුත්තේ. මහාචාර්යවරයා ආණ්ඩුව සහ තවත් බොහෝ දෙනකු තුළ පවතින පොදු විවේචනයක් ගැන සිය ස්ථාවරය පැහැදිලි කරමින් සඳහන් කළේ ය.
මෙහිදී වී ගොවියා මෙන්ම සහල් පාරිභෝගිකයා ද ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම දැඩිව අවධාරණය කළ මහාචාර්ය බුදධි මාරඹේ පෙන්වා දුන්නේ වී ගොවියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සහල් පාරිභෝගිකයෙකු වන තමා දැඩිව පෙනී සිටින බවයි. තම තීරණයට හේතු පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ අඩු මිලට සහල් ලබා ගැනීම පාරිභෝගිකයාගේ අපේක්ෂාව වුණත් සාධාරණ මිලක් නොලැබී වී ගොවියා අසරණ වුවහොත් සාධාරණ මිලකට සහල් ලබා ගැනීම කළ නොහැකි දෙයක් වනු ඇති බවයි.
මෙවර මහ කන්නයේ අස්වැන්න ගැන නිසි ගණනය කිරීමක් සිදු වුණා ද කියන සැකය මා තුළත් තිබෙනවා. මේ නිෂ්පාදන වියදම සැලකීමේදී එවැනි සැකයක් ඇති වුණා. නමුත් මේ දක්වා මහ කන්නයේ වී නිෂ්පාදනය ගැන සම්පූර්ණ පුරෝකථනයක් සිදුවෙලා නැහැ. සිදුව තිබෙන්නේ පළමු පුරෝකථනය පමණයි. ඒ වගේම වීවල නිෂ්පාදන වියදම ගණනය කිරීමේ සම්පූර්ණ බලය තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. නමුත් මෙවර ඒකට ආයතන කිහිපයක් සම්බන්ධ වුණා. ඒ වගේම තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිකුත් කළ පළමු පුරෝකථනය තුළ සඳහන් වෙනවා පසුගිය නොවැම්බර් මාසයේ සිදු වුණ ස්වභාවික විපත් සමග වී ඇස්වන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 25,600ක් පමණ දක්වා පහත වැටෙන්න පුළුවන් කියලා. ඒ අනුව 2022 දී හැර ගෙවී ගිය කාලය තුළ අවම පුරෝකථනයක් සිදුවෙන්නේ මේ මහ කන්නයේ දී. මම හිතන විදිහට වී මොල් හිමියන්ට මේ ගැන පැහැදිලි අවබෝධයක් තිබෙන බව පේනවා. මහාචාර් මාරඹේ තවත් පැතිකඩක් හෙළිකරමින් පෙන්වා දුන්නේ ය.
ඔහු මෙහිදී පෙන්වා දුන්නේ 2024/25 මහ කන්නයේ දී ලැබිය යුතුව තිබූ අස්වැන්නෙන් මෙට්‍රීක් ටොන් 360,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමක් අප හමුවේ පවතින බවයි.
මෙන්න මේ තත්ත්වය තුළ වී නිෂ්පාදනය සඳහා ගොවියට යන පිරිවැය මෙවර ගණනය කර ඇති ගණනට වඩා ඉහළ යන්න පුළුවන්. ඒ වගේම සහල් පිළිබඳ ගැටලුව නිර්මාණය වෙලා තිබෙන්නේ දත්ත නිසයි. වී නිෂ්පාදනය සම්බන්ධ නිල දත්ත ප්‍රකාශයට පත්කරන්නේ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවයි. නමුත් සහල් සම්බන්ධ දත්ත ලබා දෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. ඔවුන්ට අනුව වීවල සහල් නිෂ්පාදිතය 68%යි. අපේ නිරීක්ෂණය අනුව මෙය ඉතාම ඉහළ අගයක්. මේ දත්ත අනුව තමයි රජයට තීරණයක් ගන්න වෙන්නේ. නමුත් බොහෝ තැන්වල සහල් නිෂ්පාදිතය මීට වඩා සැලකිය යුතු ලෙස අඩුයි. පසු අස්වනු තාක්ෂණ හා කළමනාකරණ ආයතනයට අනුව මේ වී සහල් අනුපාතය 63%යි. ප්‍රධාන මෝල් හිමියන්ට අනුව 62.5%යි. සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට අනුව එය 52% සිට 62% දක්වා වෙනස් විය හැකියි. ඒ වගේම සහල් වර්ගය අනුවත් මේ අගය වෙනස් වෙනවා. මේක තවයි ඇත්ත තත්ත්වය. ඒ නිසා මේ ගැන නිසි තක්සේරුවක් නොකළහොත් අපි මිරිඟුවක් පස්සේ දුවනවා වාගේ තත්ත්වයකට පත්වෙනවා. ඒ නිසා අපි සියලු දෙනා එකාවන්ව වැඩකළ යුතුයි. නැතහොත් අපි විශාල අර්බුදයකට යනවා යයි මහාචාර්ය බුද්ධි මාරඹේ දැඩිව අවධාරණය කළේය.
සටහන – තුෂාල් විතානගේ