ඡායාරූපය හා සිතුවම
- 5opn1
- December 28, 2024
- විශේෂාංග
- ඡායාරූපය හා සිතුවම
- 0 Comments
ශනිදා කෙටි කතාව
හිරු බැසයන සන්ධ්‍යාවේ ආලෝකය හොඳින් පැතිරී තිබුණි. දුම්රිය නැවතුම්පළට ළඟාවන විට වේලාව හයට ආසන්න විය. සියල්ලම දමාගත් එකම ගමන් මල්ල හා හකුළාගත් චිත්‍ර ආධාරකයත් රැගෙන වේදිකාවට බැස ගැනීමට චිත්‍ර ශිල්පියාට හැකිවිය. පොරකමින් ඉදිරියට තල්ලුවන මගීන් පිරිස ඉවත්ව යනතුරු මිනිත්තු කිහිපයක් ඔහු බලා සිටියේ ය.
මිතුරු ඡායාරූප ශිල්පියා දුම්රියපළේ ගේට්ටුව අසල රැඳී සිටියේ ය. දෙදෙනාම එකවර දෑත් විදාහලේ මේසා දීර්ඝ කාලයකට පසුව එකිනෙකා මුණගැසීමේ සතුට හේතුවෙනි. ඔවුහු වයස හතළිස් ගණන්වල පසුවූහ. නගරයේ ජීවත් වන චිත්‍ර ශිල්පියා ඔහුට වඩා වයසින් වැඩි වූවෙකි. ගම්බද මිතුරා හට තරුණ පෙනුමක් තිබුණි. උස හා සිහින් සිරුරකින් හෙබි ඔවුන් දෙදෙනාගේම හිසකෙස් අළු පැහැයට හැරෙමින් තිබුණි.
“එන්න…එන්න… කරත්තයක් තියෙනවා…. ගමට යන්න හැතැප්ම දෙකක් දුරයි.”
චිත්‍ර ශිල්පියා සමගින් දුම්රිය ස්ථානයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ මිතුරා පවසා සිටියේ ය.
“වෙන කවුරුවත් නැහැ… ඒක මගේ… ඒක දක්කන්නේ මගේ පුතා… දැනට ඉල්ල ගත්තා.” සෙවණැලි වැටුණ ෆාම් ගස් වලින් පිරුණු තැනිතලා බිම ඔස්සේ ඔවුහු ගමන් කළහ.
ක්ෂිතිජය කෙළවර අහස දීප්තිමත් තද රතු හා ඊට ඉහළින් නිල් පැහැයක් ගෙන තිබුණි. කරත්තය වේගයෙන් ඉදිරියට ගමන් කරන්නට විය. ආගිය තොරතුරු ගැන කතා කරමින් ඔවුන් දෙදෙනා ගමන් කළෝය. මද වේලාවකින් කරත්තයේ ගමන් වේගය අඩුවිය. එය තද බෑවුමක් නොවූවද කරත්තය සෙමෙන් සෙමෙන් කන්ද නැග්ගේය. කන්ද මුඳුනට පැමිණි පසු නිම්නයේ වූ නිවාස තුළින් කණාමැදිරියන්ගේ මෙන් ආලෝකය විහිදුවන ගමක් ඔහුට දැකගත හැකි වූයේ ය.
කන්දේ අනෙක් පසින් බැස ඒ ගම්මානය පසුකර ගිය ඔවුහු තවත් කන්දක් නැග්ගහ. හුදෙකලා වූ නිවස පිහිටා තිබුණේ විශාල උද්‍යානයක ඉහළ ප්‍රදේශයේය. ඉටිපහන් මගින් ආලෝකමත් වූ එය පැරණි දැවමය දෙමහල් නිවසකි. කඳු මුදුනේ සිට ගලායන කුඩා දිය පහරක හඬ චිත්‍ර ශිල්පියාට ඇසුණි. සමීපව සිටවූ පතොක් ගස් වලින් සැදුන මායිම් වැටෙහි ගේට්ටුවක් නොතිබුණි. ගේට්ටුවක් නොමැතිකම චිත්‍ර ශිල්පියාගේ සතුටට හේතු වුණි.
“ඔයාගේ ගෙදර හිච්කොක්ගේ චිත්‍රපටයක තියෙන එකක් වගේ නේද? ” චිත්‍ර ශිල්පියා විහිළු කළේය.
ඔව්, වෙන්න පුළුවන්… ඔහුගේ මිතුරා පිළිතුරු දුන්නේ ය.
“පස්සෙ මං ගෙදර ඉතිහාසය ගැන ඔයාට කියන්නම් … ඔයා පුදුමවෙයි. ඔයාටත් ඒකට දායක වෙන්න පුළුවන්.”
බිත්ති අඳුරු බොරතෙල් පැහැයෙන් යුතු විය. නිවසට ඇතුළු වූ සැණින් ඔහුගේ අවධානය යොමු වූයේ විශාල ඡායාරූපයක් වෙතට ය. එය කළු හා සුදු වර්ණවලින් යුතු වූ කාන්තාවකගේ පින්තූරයකි. එඩිතර පෙනුමකින් යුතු ඇයගේ තියුණු දෑස අභියෝග කරන අයුරින් ඔහු දෙස බලා සිටින සෙයකි. උඩඟු හා විමසිලිමත් පෙනුමක් එම මුහුණෙන් දැකගත හැකි විය. මෘදු කෙටි කෙස් රොදක් ඇයගේ පුළුල් නළල මතට වැටී තිබූ අතර සිහින් ඇහිබැමි ප්‍රශ්නාර්ථයක් පළ කළේ ය. එහි දීප්තිමත් දෑස … තම ආත්මය විනිවිද යන ආකාරයක් ඔහුට හැඟෙන්නට විය.
“මොනතරම් ලස්සන ෆොටෝ එකක්ද?” චිත්‍ර ශිල්පියා පැවසූ විට, ඔහුගේ මිතුරා සිනාසුණේ ය.
මිතුරා තම බිරිඳ සහ පුතුන් දෙදෙනා ඔහුට හඳුන්වාදෙන අතර චිත්‍ර ශිල්පියා නැවතත් ඡායාරූපය දෙස බැලීය. ඒ රුව මිතුරාගේ බිරිඳගේ රුවට වඩා තරුණ පෙනුමක් ඇතැයි ඔහුට සිතුණි. රාමුවේ දාර කහ පැහැයට හැරී තිබුණි. එය වසර ගණනක් පැරණි ඡායාරූපයක් බව ඉන් හැඟවුණි. යෞවනත්වය ඉක්මවූ බවක් එහි දකින්නට නොතිබුණි. එහෙත් බිරිඳගේ දෑස් මෘදු නිහතමානී බවක් පෙන්නුම් කළේය. ඒ ඡායාරූපයේ ඇස්වල තියුණු පෙනුමක් නැත්තේ ඇයි? මිනිස්සු වෙනස් වෙනවා… ඇය තාමත් ලස්සනයි, ඔහු සිතුවේ ය. නමුත් මුහුකුරා ගිය බවක් ඡායාරූපයෙන් දක්නට නොලැබුණි.
“ඔයා කැමති තාක් කල් මෙහෙ ඉන්න. ” ඔහුගේ මිතුරා පවසා සිටියේය.
“පින්තාරු කරන්න හොඳ දර්ශන … අර එහා පැත්තෙ… කඳු බෑවුම අවට තියෙනවා.” මිතුරා පැවසීමත් සමගින් ඔහුගේ සිතුවිල්ල බිඳී ගියේය.
“මං මේ ගෙදර දර්ශනයක් අඳින්නත් කැමතියි.” මිතුරා සිනාසෙමින් එයට අකමැත්ත පළ කළේය. එසැණින් චිත්‍ර ශිල්පියා හිස සැලීය.
රාත්‍රී ආහාරය ගැනීමෙන් අනතුරුව බරාදයට පැමිණි ඔවුහු එකිනෙකාට මුහුණලා වාඩි ගත්හ. රෑ බෝවන තුරු දෙදෙනා කතාබහ කළේ සිතුවම් හා ඡායාරූප කලාව ගැන ය.
“අවුරුදු විස්සකට කලින් මං දැනගෙන හිටියා… ඔයා මේ ගෙදර චිත්‍රයකට අඳින්න කැමති වෙන බව.”
චිත්‍ර ශිල්පියා පුදුමයෙන් තම මිතුරා දෙස බැලීය.
“ඒත්… ඔයා කිව්වේ… ඔයා මෙහෙට ආවේ කසාද බැන්දට පස්සේ කියලා… තාම අවුරුදු විස්සක් ගතවෙලා නෑ… නේද? ”
මිතුරා සිනාසෙමින් ඔහුට ළංවිය.
“අහන්න… මට ඔයාට කියන්න දේවල්… තියෙනවා. ඒත් මෙතන බැහැ පස්සෙ…..”
පසුදින සවස් යාමයේ ඔවුන් දෙදෙනා නිවස පසුකර කුඩා මංතීරුවකට ඇවිද ගොස් තණබිමක් වෙත ගමන් කළහ. එතැන සිට නිවසේ එක් පැත්තක් ඔවුනට දැකගත හැකිවිය. ප්‍රධාන නිදන කාමරය මෙන් පෙනෙන කවුළුවක් විවෘතව පැවතුණි. එහි පැරණි ආරුක්කු හැඩැති කවුළුවක් වූ අතර ලැටිස් සවිකර තිබුණි. ඡායාරූපයේ තමා දුටුවේ එම කවුළුවම බව එකෙනෙහිම චිත්‍ර ශිල්පියාහට වැටහුණි.
“ඔයාගෙ නෝනගේ ඇස්”… චිත්‍ර ශිල්පියා මිතුරා දෙසට හැරී පැවසුවේ, ඡායාරූපයෙහි ඒවා ඉතා දීප්තිමත් බවයි.
“ඒ මගේ නෝනා නෙවෙයි.” මිතුරා කළේ විහිළුවක් නොවන බව ඔහු තේරුම් ගත්තේ ය.
“ඔයාට කියන්න දෙයක් තියෙනවා… මට කළින් ලිපියකින්වත් දන්වන්න බැරිවුණා…. ඒ ෆොටෝ එක, මම ආදරය කළ පළමු කාන්තාවගේ කියලා කියන්න පුළුවනි. එයා මගේ නෝනා කියලා ඔයා හිතුව එක පුදුමයක් නෙවෙයි. ඒ මගේ නෝනගේ අම්මා.”
“ඔහ් …. මොනවා…. ?”
“ඔව්, ඒ මගේ නැන්දම්මා. නමුත් ඒ වෙද්දි එයා මගේ නැන්දම්මා නෙවෙයි… ”
තවදුරටත් පවසන්නට යමක් ඔහුට තිබුණි. ඔවුහු ඉදිරියට ඇවිද ගියහ.
“ඔයා දන්නවනේ…. මං ජීවත් වුණේ මෙහෙ ඉඳලා හැතැප්ම පහළොවක් විතර ඈතක. ඉඳහිට මේ ගමට ආවේ උත්සවයක ෆොටෝ ගන්න විතරයි. දවසක් සහතික බෙදා දෙන උත්සවයක ෆොටෝ ගන්න අවස්ථාවක් ලැබුණා. උත්සවය දවස් දෙකක් නිසා මං රාත්‍රියේ නවාතැන් ඉල්ල ගත්තා. මුල දවසේ හවස්වරුව මට ටිකක් විවේක තිබුණ නිසා මගේ කැමරාවයි, ට්‍රයිපොඩ් එකයි අරං මං ඇවිදින්න ගියා. අන්න අර දොළපාර ළඟට…” මඳ සුළඟේ සැලෙන උණ පඳුරකට ඈතින් පිහිටි අවකාශයක් ඔහු පෙන්වා සිටියේ ය. “මං ඒ ළඟට ගියා…. මේ ගේ දැක්කා ..ඔයාට දෙන්න හොඳ ෆොටෝ ටිකක් ගන්න මට හිතුණා.”
“මගේ චිත්‍ර ගැන ඔයාට තාම මතකයි වගේ… ” චිත්‍ර ශිල්පියා ඔවුන්ගේ අතීතය ආවර්ජනය කළේ ය.
ඔහු වටපිට බලමින් හොඳම දර්ශන කෝණය සොයාබලා පසුව හිටිතැනම ඔහුගේ කැමරාව ඇටවීමට තීරණය කර ඇත.
“මං කැමරා කාචයෙ කවරේ ඇරලා බලන්න ලෑස්ති වුණා. එවෙලේම ජනේල කවුළුව ඇරුණා. මං දැකලා තියෙන ලස්සනම මුහුණ මට පෙනුණා… හරියටම හීනයක් වගෙයි.”
“ෆොටෝ ගන්න බැරි වුණාද? ” චිත්‍ර ශිල්පියා කුතුහලයෙන් විමසා සිටියේ ය.
“ජනේල රාමුවට එයාගේ ඇඟේ උඩ කොටස ගැළපුණා. පිටත බලා ඉන්න දීප්තිමත් ඇස්. මං ඒ බැල්මට අහුවුණා. කැමරාවේ බොත්තම කීසැරයක් එබුවද කියලා මට මතක නැහැ. මං දිගටම ෆොටෝ ගත්තා. එයාගේ නිකට යට පොඩි උපන් ලපයක් තිබුණා. තොල් කෙළවරේ තවත් එකක්. මට කිසිදාක අමතක වෙන්නේ නැහැ. එකපාරටම හදිසියේම එයා අතුරුදන් වුණා. මං ඒ පැත්ත බලාගෙනම හිටියා. දිගටම බලාගෙන හිටියා. දිගටම ලෙන්ස් එකෙන් බලාගෙන, එයා නැවත පෙනී හිටිනකල් බලාහිටියා. ඒත් එයා ආපහු එතැනට ආවෙ නැහැ.”
“කණගාටුදායක අවස්ථාවක්….? ” චිත්‍ර ශිල්පියා පවසා සිටියේ ය.
“ නවාතැනට යනකල් ම මගේ හදවත වේගයෙන් ගැහුණා. මට නිදාගන්න බැරිවුණා. මං එයාව ආයිත් දැකගන්න හුඟාක් ආසාවෙන් හිටියේ. ඊළඟ දවසේ මගේ වැඩ කටයුතු අස්සේ මරණයක් ගැන මට අහන්න ලැබුණා. ඇළ ළඟ විශාල දැව ගෙදර කෙනෙක් කළින් දවසෙ හවස මැරුණ බව. මට එකපාරට ම මහා කම්පනයක් දැනුණා… දෙවියනේ, ඒ එයා නම්… මම බලාපොරොත්තු රහිතව ඇහුවා. කවුද?… ඒ කවුද? …කියලා. එයාලා කීවේ වයසක මිනිහා බවයි. ඔයා අදහස් කළේ එයාගේ තාත්තා ගැනද?” මම ඇහුවා.
එයාලා කිව්වා මම දැනටමත් ලස්සන දුවව දැකලා ඇති, හරිම වැඩකාරයෙක් නේද? කියලා. මට සතුටක් දැනුණා. ඔයා දන්නවනේ… ඒ ගෙදර හිටිය අයට ඡායාරූප ශිල්පියෙකු අවශ්‍යයි කියලා පණිවිඩයක් එව්වා. සත්තකින්ම… ඒ කාලෙ සාමාන්‍යයෙන් අවමංගල්‍ය අවස්ථාවකදී ෆොටෝ ගත්තෙ නැහැ. ඒත් මං ඒ ඉල්ලීම පිළිගත්තා… මට එයාව ආයෙමත් දැකගන්න පුළුවන් නිසා.
අවමංගල්‍ය කටයුතුවලට දවස් දෙකක් තිබුණා. ඒ නිසා මං ගෙදර ගිහින් ආපහු ආවා. හිතන්න, ඒ ලොකු ගෙදරට යද්දි මගේ හදවතේ ගැස්ම කොච්චර ද කියලා! ගෙදර ඉස්සරහ තියෙන තාවකාලික ශාලාවක දේහය තියලා තියෙනවා මං දැක්කා. එතැන සෑහෙන පිරිසක් හිටියා. එයාලගෙන් සමහරෙක් එයා මැරුණු විදිහ ගැන මට කීවා. මාස ගණනාවක් තිස්සේ ඔත්පළව ඇඳේ වැතිර හිටි වයසක මිනිහා මෙහෙම හදිසියේ මැරුණ එක ගැන හැමෝම පුදුමවෙලා හිටියේ.
නමුත් මම ඒ ගැන උනන්දු වුණේ නැහැ. මට වුවමනා කළේ දුව ආපහු දැකගන්නයි. එක මිනිහෙක් මට කෙනෙක්ව පෙන්නුවා. ඒ මැරුණු කෙනාගේ එකම දුව බව ඔහු කිව්වා. ඒක ඇත්ත වෙන්න බැහැ. එයාගෙ වයස අවුරුදු පහළොවකට වැඩිය නැහැ. ඔව්, ඇත්තටම ලස්සනයි. මං කලින් දවසක දැක්ක මුහුණට සමානයි. නමුත් නැහැ, ඒ එකම කෙනා නොවෙන්න ඇති. මා දැක්ක හැටියට ගැහැනු ළමයාට තිබුණේ ඉතා සරල අහිංසක ඇස්. මට යාන්තමට මතකයක් තිබුණා. නමුත් වෙනස මං දැනගෙන සිටියා.
මේ අතර මගේ සේවය අවශ්‍යයි කිව්ව පුද්ගලයා මට මුණගැහුණා. මට පිස්සු වැටෙයි කියලා හිතුණා. ඒ එයයි. එයා වයසක මිනිහගේ බිරියයි. මම දුර ඉඳන් එයාගේ මුහුණ දිහා බැලුවා. මොනතරම් සුන්දරද? මොනතරම් ලස්සනද? මම හිතුවේ එයා විසි ගණන්වල ඉන්න බවයි. නමුත් නැහැ. එයා ළඟට ගිය වෙලාවේ මට තේරුණා එයාට තිස් ගණනක් ඇති කියලා. මම එයාට ආදරේ කළා එයාගේ
කටහඬ… මම හිතපු විදිහටම එය ගොරෝසු, පහත් හඬක්. නමුත් එයා ගැන මට අහන්න ලැබුණු ඕපාදූප මාව අපහසුතාවයට පත් කළා. වයසක මිනිහා අසනීප වුණාම එයා තමන්ගෙ පෙම්වතා එක්ක ගෙදරින් ගිහින් අවුරුදු දෙකකට වැඩි කාලෙකට පස්සෙ එයාගේ මරණය දැනගෙන අද උදේ ආපහු ඇවිත් තියෙන්නෙ.
දැන් ඒ කාන්තාව විශාල බූදලයක හිමිකාරිනියක් බවට පත්වෙලා. එයාගේ පෙම්වතා මොනතරම් වාසනාවන්තද! මේක වෙන්නෙ කොහොමද? ඒ සුන්දර මුහුණේ… තේජාන්විත ඇස් දෙක ඇතුළේ ආදරණීය කැඳවීමක් තිබුණා. ඒ වගේම එඩිතර හා රැවටිලිකාර බවකුත් දැක්කා. නමුත් කෲර බවක් නැහැ. මට ඒක විශ්වාස කරන්න බැරිවුණා. අවමංගල්‍ය උත්සවයේ ෆොටෝ ගන්න අතරේ මං රහසින් එයාගේ මුහුණට කැමරාව එල්ල කළා. එයාගේ ඇස්වල කඳුළු බිංදුවක්වත් මං දැක්කේ නැහැ. මට ඒ ගැන කලකිරීමක් ඇති වුණා. ඒ වෙලාවේ එයාගෙ දුව අඬමින් හිටියේ. දුවගේ හිත හදන්න එයා උත්සාහ කළෙත් නැහැ. එයාට වැඩ ගොඩක් කරන්න තියෙන බවක් පෙන්නුවා.
පෙම්වතා හිටියේ නැහැ. ඒ වගේ අවස්ථාවකට ඒ මිනිහා එයිද?
අවමංගල්‍යයෙන් පස්සේ මට ගෙදර යන්නට ලැබුණත් මම නතරවෙලා හිටියා. මිනිස්සු සතියක කාලයක් අවමංගල්‍ය ගෙදර දොර ජනේල ඇරගෙන ඉන්න අතරේ, කාඩ් සෙල්ලම් කරමින් කාලය ගත කළා. මම කාඩ් සෙල්ලම් කරන්න දන්නේ නැති නිසා බලාගෙන හිටියා. එයා ගමේ පිරිමින් සමග කාඩ් සෙල්ලම් කළා. මම එයා ළඟ වාඩි වුණා. එයා හිස හරවා ඇස් ඔසවලා මා දිහා බලන හැම වෙලාවකම එයා දැනගෙන හිටියා මම එයාට ආදරය කරන බව. එයා මාව දැලේ දාගත්ත බවත් එයා දැනගත්තා.
එයා ගොඩක් දුම්පානය කළා. මම කළේ නැහැ. නමුත් එයා සිගරට් පත්තු කරන හැම වෙලාවෙම මගේ දෑතින් හුළං මුවාකළා. මම සතුටින් ඉපිලුනා. මම ඇසක් ඉඟිමරන කොට එයා යාන්තමින් හිනාවුණා. ඒ අවස්ථාවන් කාටවත් නොපෙනෙන්න මම පරිස්සම් වුණා. අවුරුදු දහඅටක කොල්ලෙක් අවුරුදු තිහක ගැහැනියක් එක්ක ආදරයෙන් බැඳෙන එක ඒතරම් අමුතු දෙයක් නෙවෙයි.”
ඔහුගේ කතාව නොනැවතුණි.
“ඒක කී දවසක් තිබුණ ද කියන එකත් පුදුමයක්. මං තවමත් එයාට ආදරෙයි.” ඔහු පැවසුවේ ය.
නමුත් ඇය මේ වන විට තරමක් වයස්ගත විය යුතු බව ඔහුගේ මිතුරා පැවසීය. ඡායාරූප ශිල්පියා ඔහු දෙසට හැරුණේය.
“නැහැ… නැහැ… එයා කවදාවත් වයසට යන්නෙ නෑ. එයාට වයස තිහකට වැඩි නැහැ.”
ඔහු මඳ සිනාවක් පෑවේ ය.
“ඔයාට එයත් එක්ක ඉන්න ලැබුණද?” අනෙකා අසා සිටියේ ය.
හතළිස් හැවිරිදි දෙදරු පියෙකු වන තම මිතුරාගේ මුහුණ ලජ්ජාවෙන් රතුවී යන ආකාරය දැක ඔහු පුදුමයට පත්විය. ඔහු ලජ්ජාවෙන් සිනාසී නිවස දෙස මහත් ඕනෑකමින් බලා සිටියේ ය. ඔහු අවසාන වරට පවසා සිටියේ අවමංගල්‍යයෙන් සතියකට පමණ පසු ඇයට ඡායාරූප ලබාදීමට ගිය බවයි.
“මං රහසිගතව ගත් ඒවා හැර අවමංගල්‍ය උත්සවයේදී ගත් ඔක්කොම එයාට දුන්නා. ෆොටෝ දිහා බලලා, මට සල්ලි දෙන ගමන් එයා ඇහුවේ ඉතිරි ඒවා කොහේද කියලා? අවමංගල්‍ය උත්සවයේදී එයාව තනිවම ෆොටෝ ගත්බව එයා දැනගෙන හිටියා. ඒවට කීයක් ඕනෑද, කියලා මගෙන් ඇහුවා.
මම හිනා වෙලා, මම ඒවා ඔයාට දෙන්නම්… ඔයා මගේ ස්ටුඩියෝ එකට එනවද, නැත්නම් මං ඒවා ගෙනෙන්නද? කියලා ඇහුවා. ඒවා කාටවත් පෙන්වන්න මට අවශ්‍ය නැහැ. ඒ වගේම, මම කිව්වා මගේ ළඟ කලින් ගත් එකක් තියෙන බව. ඒ වෙලාවේ එයා පුදුම වුණා.
මම එයාට කිව්වේ, එයාගෙ මහත්තයා මැරුණ දා හවස් වරුවේ මම එයාව ජනේලයකින් දැක්ක බව. මගේ ළඟ එයාගේ ෆොටෝ කිහිපයක් තියෙන බවත් කිව්වා. එයා බයවෙලා වගේ මා දිහා බැලුවා. ඒවා කාටහරි පෙන්නුවද කියලා එයා දැඩි විදිහට ඕනෑකමින් ඇහුවා. මම නැහැ කිව්වා… සත්තකින්ම නැහැ. එයා සැහැල්ලුවෙන් හුස්මක් පිටකළ බවක් මට දැනුණා.
දවස් දෙකකට පස්සේ එයා මගේ ස්ටුඩියෝ එකට ඇවිත් ෆොටෝ සහ නෙගටිව් පටි ඉල්ලුවා. මම හොඳම එක තියාගෙන ඉතිරි සියල්ලම මෙච්චරයි කියලා එයාට දුන්නා. එයා ඒවා මගේ ඇස් ඉස්සරහ පිටදීම පිච්චුවා. එදා ඉඳලා එයා මට යාළුවෙකුට වගේ සැලකුවා.
මම එයාව බලන්න ගියා. ඒත් එයා ගෙදර හිටියේ කලාතුරකින්. සාමාන්‍යයෙන් ගෙදර හිටියේ දුවයි එයාගෙ වයසක නැන්දයි විතරයි. මම එයාව දැක්ක දවසක එයා එක්ක පිරිමියෙක් හිටියා. ඒ එයාගේ යාළුවා බවයි කිව්වේ. නමුත් මම දැනගෙන හිටියා තරමක කපටි පෙනුමක් තිබුණු ඒ මිනිහා කවුද කියලා. මට ආරංචි වුණා වයසක මහත්තයා ගොඩක් දේවල් ඉතුරු කරලා ගිය බව. ඒත් එයා ඒ ඔක්කොම වියදම් කරලා. ගෙදර උකස් කරන්නත් සිද්ධ වෙලා. සල්ලි හොයාගන්න වුවමනා නිසා එහෙම කළ බව එයා මට පස්සෙ කිව්වෙ, සල්ලි හොයාගෙන ගේ බේරලා දෙන්න පුළුවන්නම් මාව භාරගන්නවා කියලා ඉඟි කරනවා වගේ.
ඉතින්, මම ටික කාලයක් මගේ කැමරා රස්සාව අතහැර දාලා, ව්‍යාපාරික කටයුතුවලට යොමු වුණා. ඒ අවට ගොවිපළවලින් නිෂ්පාදන මිලදී ගෙන නැවත අලෙවි කරන්න පටන් ගත්තා. හොඳයි, කාලය එහෙමම ගෙවිලා ගියා. මං හොඳ තත්ත්වයකට ආවා. තවමත් එයා ඒ මිනිහා එක්ක ඉන්නවා.
ඉන් පස්සෙ මං තියාගත්ත නෙගටිව් එක ලොකු කරලා මුද්‍රණය කළා. ඒක තමයි ඔයා දැක්කෙ. අපැහැදිලි විදිහට එයාට පිටුපසින් තියෙන ඔරලෝසුවේ පහයි දහය පෙන්වනවා. වයසක මිනිහා මැරුණෙ හවස පහට විතර බවයි දොස්තර කියලා තිබුණේ. ඒ වෙලාවේ ගෙදර කවුරුත් නොහිටි බව නැන්දා කියලා තිබුණා. නමුත් ඒ වෙද්දි එයා එතැන ඉඳලා තියෙනවා. ඒක මට වැදගත් නැහැ.
නමුත් වැඩි කාලයක් යන්න කලින් එයත් මැරිලා. අහම්බයක් වගේ, ඒක වෙලා තියෙන්නෙත් හවස පහට විතර. මරණයට හේතුව ඔයා දන්නවාද? ගබ්සාවක්.
හොඳයි, ඔයාට ඉතිරි කොටස අනුමාන කරන්න පුළුවන් නෙ. මට ගේ බේරගන්න පුළුවන් වුණා. එදා අඬමින් හිටිය කෙල්ල, මා දිහා බැලුවේ පවුලෙ හිතවත් මිත්‍රයෙක් විදිහටයි. මං එයාව කසාද බැන්දා. ඇත්තටම එදා ඉඳන් මම මේ ගෙදර ජීවත් වෙන බව ඔයා දන්නවා. එයාත් අප ළඟ ඉන්න බව මට දැනෙනවා. එයා මෙහෙ ඉන්නවා. හුඟක් වෙලාවට මං එයාව හීනෙන් දකිනවා. එයා මාව බලන්න එන ක්‍රමය ඒ කියලා මට හිතෙනවා.”
ඔහු දිගටම පවසාගෙන ගියේය.
“මට විශ්වාසයි එයා දැනගෙන හිටියා මම එයාගෙ දුවව කසාද බඳිනවා කියලා. මම දන්නවා එයා ඒ ගැන සතුටු ඇති කියලා.” ඔහු කනස්සල්ලෙන් මෙන් තව දුරටත් කතාවට එකතු කළේය.
“ඉතින්, එයා කවමදාකවත් අවුරුදු තිහකට වඩා වයසට යන්නේ නැහැ. එහෙම නේද? ”
(මෙය මියන්මාර ජාතික ආචාර්ය ටින් ටින් වින් Dr. Tin Tin Win මහත්මිය විසින් 1993 වසරේ පළ කරන ලද ‘ Haunting කෙටි කතාවේ පරිවර්තනය යි.)
පරිවර්තනය –
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
මත්තේගොඩ